“ජීවිතඤ්ච අධම්මෙන” අධාර්මිකව ජීවිතය ගෙනයාම, ජීවත්වීමට අධාර්මික කටයුතු කිරීම. “ධම්මෙන මරණං”, දැහැමින් මැරීම නම් මෙවැනි පව්කම් කරමින් ජීවත්වීමට වඩා මැරෙන්නෙමි. දැහැමින් මැරීමයි. කිසිවකු ගේ නියමයෙන් තමා මරණයට පත්වුවත් පව්කම් නොකර, ධර්මය විකෘති නොකර, දහම් නොනසා, ධර්ම හේතුවෙන් මරණයට පත්වීම ශ්‍රේෂ්ඨ වේ. එබඳු මරණය ධර්මයෙන් තොර නොවූ බැවින්, ධර්මයෙන් දිව්‍ය ලෝකයට පමුණුවන බැවින්, නිවණ උපකාරීවන බැවින් නුවණැත්තෝ අතිශයින් පසසති. ඒ සඳහා කියන ලදි.
“ධනංඤ්චජෙ යො පන අංගහේතු, අංගං චජෙ ජීවිතං රක්ඛමානො,
අංගං ධනං ජීවිතං චාපි සබ්බං, චජෙ නරො ධම්මමනුස්සරන්තො”
යමෙක් ශරීරයේ අංග ප්‍රත්‍යංග රැකගැනීමට ධනය අත්හරින්නේය. ශරීරාංග හැරදමා ජීවිතය රැකගන්නේ ය. ධර්මය සිහිකරන පුද්ගලයා ඒ ධර්ම නිසා සිය ධනය, අංග, ජීවිතය යන සියල්ලම අත්හරින්නේය.
“යඤ්චෙ ජීවෙ අධම්මියං”, යම් පුරුෂයෙක් ධර්මයෙන් වෙන්ව ජීවිතය ගෙනයන්නේ නම් ඔහු ඇසුරු නොකරන්න. නුවණැත්තන්ගේ ගැරහීම ද අපායට පැමිණීම ද සිදුවන බැවිනි.
දැන් ඉහත දැක්වූ පරිදි රහතන් වහන්සේලාගේ නො ඇල්මට හේතු දක්වමින් “කාමකොපපහීණා” යන ගාථාව වදාළහ.
එහි “කාමකොප පහීණා” යනු ආර්ය මාර්ගයෙන් සර්වප්‍රකාරයෙන් ම ප්‍රහීණ කළ ඇලීම්, ගැටීම් ඇති, ශාන්ත වූ සිත් ඇති “භවාභවෙ” ඉතා කුඩා වූ ද ඉතා මහත් වූ ද භව ප්‍රහීණ කරන ලද, කෙලෙස් පිරිනැවීමේ දාහයන් නොමැති හෙයින් සන්සුන් සිතැති “ලොකෙ” ස්කන්‍ධා දී ලෝකයෙහි “අසිතා” තණ්හා, දෘෂ්ටි ආශ්‍රය නොකරන හෙයින් අනිශ්‍රිත වූ. “නත්‍ථි තෙසං පියා ප්පියං” ඒ රහතන් වහන්සේලාගේ සිත්වල කිසිදු ලාභා දී දහමක හෝ රූපාදී අරමුණක හෝ ප්‍රිය, අප්‍රියභාවයට හේතුව කෙලෙස් ධර්ම සර්වප්‍රකාරයෙන් ම මුලිනුපුටා දැමූ බැවිනි.
මෙසේ “යම් භාවනාවකින්, යමක් වැඩීමෙන් ඒ ආර්යයෝ මෙබඳු ස්වරූප ඇත්තෝ වූහ”යි දක්වා, අනතුරුව දේශනාවේ කූට ප්‍රාප්තිය ගනිමින් අනුපාදිසේස නිර්වාණ ධාතුව විදහා දක්වමින් “භාවයිත්‍වාන” යන අවසන් ගාථාව වදාළහ. එහි “පප්පුය්‍ය” පැමිණ සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් විස්තර කළ පරිදිම දත යුතුයි. මෙම ගාථාවෙන් ම ගෝදත්ත තෙරුන් වහන්සේගේ රහත්බව ප්‍රකාශ කරන ගාථා ද විය.
ගෝදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දහ හතරවෙනි නිපාතයේ ගාථා අර්ථ වර්ණනාව සමාප්තයි.