අපරගෝතම ස්ථවිරගාථා වර්ණනාව
“විජානෙය්‍ය සකං අත්‍ථං” යනු ආයුෂ්මත් අපර ගෝතම තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙර දී ම සැවැත් නුවර උසස් බමුණු කුලයක ඉපිද නිසිවියට පත් හෙතෙම ත්‍රිවේද පාරගතව, වාද මාර්ගයක් මනාව ඉගෙන එහි කෙළවරට ම ගියේය. තමා හා වාද කිරීමට සමත් කිසිවෙක් නො ලබමින් ඒ ඒ තැන වාද විවාද කථාවෙහි යෙදී වාසය කරන සමයෙහි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, දම්සක් දෙසුම් පවත්වා අනුපිළිවෙලින් යස ආදීන් හික්මවූසේක්, අනේපිඬු සිටුහුගේ ඇරයුමෙන් සැවැත් නුවරට වැඩම කළසේක. එදා ජේතවනාරාමය පිළිගන්නා උත්සවයට සම්බන්‍ධ වූ මේ බමුණා බුදුසිරි දැක පැහැදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවක් අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වීමට අවසර ඉල්ලීය. ශාස්තෲන් වහන්සේ එක් පිණ්ඩපාතික භික්‍ෂුවක් කැඳවා, “මහණ, මොහු පැවිදි කරවන්නැයි වදාළ සේක. පිණ්ඩපාතික භික්‍ෂුව විසින් පැවිදි කරනු ලැබූ ඒ බමුණා, හිස කෙස් බාද්දීම රහත් විය. පැවිදි ව කෝසල ජනපදයට වැඩම කළහ. උන්වහන්සේගේ බොහෝ ඤාතීහු සමීපයට පැමිණ, “මේ ලෝකයේ සංසාරික ශුද්ධිය පෙන්වන ඉගැන්වීම් දක්වන බ්‍රාහ්මණයෝ බොහෝ වෙති. ඔවුන් අතුරින් නෛර්යාණික වූයේත් පිළිපැදීමෙන් සංසාරික ශුද්ධිය ලැබෙන්නෙත් කාගේ වාදයෙන් ද? යි විමසූහ. තෙරණුවෝ ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ ගාථාවන් වදාළහ.
“විජානෙය්‍ය සකං අත්‍ථං, අවලොකෙය්‍යාථ පාවචනං,
යඤ්චෙත්‍ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣුපගතස්ස.”
“මිත්තං ඉධ කල්‍යාණං සික්ඛා විපුලං සමාදානං,
සුස්සූසා ච ගරූනං, එතං සමණස්ස පතිරූපං.”
“බුද්ධෙසු ච සගාරවතා ධම්මෙ අපචිති යථාභූතං,
සංඝෙ ච චිත්තීකාරො එතං සමණස්ස පතිරූපං.”
“ආචාරගොචරෙ යුත්තො ආජීවො සොධිතො අගාරය්හො,
චිත්තස්ස සණ්ඨපනං, එතං සමණස්ස පතිරූපං.”
“චාරිත්තං අථ වාරිත්තං ඉරියාපථියං පසාදනීයං,
අධිචිත්තෙ ච ආයොගො, එතං සමණස්ස පතිරූපං.”
“ආරඤ්ඤකානි සෙනාසනානි පන්තානි අප්පසද්දානි,
භජිතබ්බානි මුනිනා, එතං සමණස්ස පතිරූපං.”
“සීලඤ්ච බාහුසච්චඤ්ච ධම්මානං පවිචයො යථාභූතං,
සව්වානං අභිසමයො, එතං සමණස්ස පතිරූපං”
“භාවයෙ අනිච්චන්ති අනත්තසඤ්ඤං අසුභ සඤ්ඤඤ්ච,
ලොකස්මිඤ්ච අනභිරතිං, එතං සමණස්ස පතිරූපං”
“භාවෙය්‍ය ච බොජ්ඣංගෙ ඉද්ධිපාදානි ඉන්‍ද්‍රිය බලානි,
අට්ඨංගමග්ගචරියං, එතං සමණස්ස පතිරූපං.”
“තණ්හං පජහෙය්‍ය මුනි සමූලකෙ ආසවෙ පදාළෙය්‍ය,
විහරෙය්‍ය විප්පමුත්තො, එතං සමණස්ස පතිරූපං.”
එහි “විජානෙය්‍ය සකං අත්‍ථං” නුවණැති පුරුෂයා තමාගේ යහපත යථා ස්වභාවයෙන් විමසා දැනගන්නේ ය. විමසා දැන “අවලොකෙය්‍යාථ පාවචනං” මේ ලෝකයේ බොහෝ වූ ශ්‍රමණ බ්‍රාහ්මණය්න විසින් කියන ලද ඉගැන්වීම් දර්ශනවාද අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය “පාවචන” නම් වේ. එහි නෛර්යාණික වූ යමක් වේද එය ප්‍රඥා ඇසින් බලන්නේ ය, දකින්නේ ය, සෙසු නානාතීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අනිත්‍ය වූ වෙහි නිත්‍ය සංඥාව ද අනාත්ම වු වෙහි ආත්ම සංඥාව ද අශුද්ධි මාර්ගයක් ම ශුද්ධි මාර්ගයක් ම ශුද්ධි මාර්ගයැයි ගෙන මිසදිටු බව නිසා ඔවුනොවුන්ට විරුද්ධව ක්‍රියාකරති. එනිසා ඔවුන්ගේ වාද නෛර්යාණික නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහී “සියලු සංස්කාර අනිත්‍යය, සියලු ධර්ම අනාත්මය, නිර්වාණය ශාන්තය” යනුවෙන් තමන්වහන්සේ ම සිය නුවණින් තත්ත්‍වාකාරයෙන් දැන දේශනා කරති. එනිසා උන්වහන්සේගේ ඉගැන්වීම, “නිවණම අවබෝධ කරවන්නකි” යි ශාස්තෲ අනුශාසනාවම ගෞරවයෙන් පිළිගත යුත්තේය යන අදහසයි. “යං චෙත්‍ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣුපගතස්ස” ශ්‍රමණබව, පැවිද්ද, මහණකම සඳහා එළඹි කුලපුත්‍රයාට මේ බුද්ධශාසනයේ දී කළයුතු සුදුසු වූ යෝග්‍ය වූ සාරුප්‍ය වූ කැප වූ දෙය බලන්නේ ය. “ඒ කැපසරුප් කටයුතු මොනවා ද? යන්න ඉන්පසු ගාථාවන් හි විස්තර වේ.
“මිත්තං ඉධ කල්‍යාණං” මේ ශාසනයේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ශ්‍රමණයාට ඉතා සුදුසුවූවකි. මේ න්‍යාය අන්‍ය පදවලට යෙදේ. කලණ මිතුරා නිසා අකුසල් දුරුවේ. කුසල් වඩයි. තමා ඉතා පිරිසිදු වූවෙකු ලෙස හැසිරෙයි. “සික්ඛා විපුලං සමාදානං” මහත් වූ ශික්‍ෂා සමාදානය, නිර්වාණාවබෝධය ගෙන දෙන අධිශීල ශික්‍ෂාවෙහි පිහිටීම යන අර්ථයයි. “සුස්සුසා ච ගරූනං” ගුරුවරුන්ගේ, ආචාර්ය උපාධ්‍යායවරුන්ගේ, කළණමිතුරන්ගේ අවවාද අසනු කැමති බව හා සේවාකිරීම, “එතං” මේ කළණමිතුරන් ඇසුර ආදී කාරණා,
“බුද්ධෙසු සගාරවතා” සර්වඥයන් වහන්සේ කෙරෙහි සම්මා සම්බුද්ධය, භාග්‍යවත්ය ආදී වශයෙන් ගරු කිරීම, ගෞරවයෙන් හැසිරීම, “චිත්තීකාරො අපචිති යථාභූතං” ආර්යධර්මයට තත්ත්‍වාකාරයෙන් පිදීම, ආදරයෙන් පිදීම, “සංඝෙ” ආර්ය සංඝරත්නය කෙරෙහි සත්කාර සම්මාන කිරීම “එතං” මේ තුණුරුවනට ගරු සත්කාර කිරීම, ගෞරව හැසිරීම,