10. දසක නිපාතය
කාළුදායී ස්ථවිරගාථා වර්ණනාව
දසවන නිපාතයේ “අංගාරිනො” යනු ආයුෂ්මත් කාළුදායි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර කුලගෙයක ඉපිද, ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසමින් සිටියහ. ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් කුල පහදවන භික්‍ෂූන්ගෙන් අග්‍රභාවයට පත් කරනු දුටු හෙතෙම; “අනාගත බුදුසසුනකදී මටත් එම තනතුරම ලැබේවා”යි පැතීය.
දිවි ඇතිතාක් පින් දහම් සිදුකළ ඒ සිටුතුමා ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණ, අපගේ බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගන්නා දිනම කපිල වස්තුවේ ඇමති පවුලක, ඇමති බිරිඳ කුස පිළිසිඳ ගත්තේය. “බෝසතුන් සමඟ එකම දින උපන්නේය”යි පවසා ඒ ඇමතියා තම පුතු එදිනම ඉතා සිනිඳු වස්ත්‍රවලින් සෑදූ කොට්ටයක තබා, බෝසතුන්ගේ උපස්ථානයට ගෙන ගියේය. අප මහ බෝසත් සමග බෝරුක, රාහුල මාතාව, සතර නිධානය, අරොහනිය ඇතු, කන්‍ථක අසු, ඡන්න හා කාළුදායි යන කුමරුන් ඇතුළු සත්දෙන එකම දින උපන් බැවින් “සහජාත” නම් වේ. ඒ කුමරුට නම් තබන දවසේ දී “මුළු නුවර වැසියන් ම සතුටින් ඔදවැඩී ගිය දිනෙක උපන් බැවින් “උදායී” යන නාමය තබන ලදි. මදක් සම කළු පැහැයෙන් යුතු නිසා “කාළුදායී” යන නමින් ප්‍රකට වූ එකුමරු බෝසත් සමගම කුමාර ක්‍රීඩා කරමින් වැඩිවියට පත් විය.
ඊට පසුකලෙක සිදුහත් කුමරු අභිනික්මන් කර, අනුපිළිවෙලින් සම්බුද්ධත්වය ලබා, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා, රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවසන බව සුදොවුන් මහරජුට දැනගැනීමට ලැබුණි. දහසක් පිරිවර ඇති එක් ඇමතියකු කැඳවූ මහරජු, “මගේ පුතා මෙනුවරට කැඳවාගෙන එව”යි පවසා පිටත්කර හැරියේය. ශාස්තෲන් වහන්සේ දහම් දෙසමින් සිටි අවස්ථාවේ වේළුවනාරාමයට පැමිණි ඒ ඇමති තෙම පිරිස් කෙළවර හිඳ දහම් අසා සිය පිරිස සමඟම රහත් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දෙසට ශ්‍රී හස්තය දිගුකර “මහණෙනි, එව”යි වදාළ සේක. එකෙණෙහිම ඒ පිරිස සියවස් පිරි මහතෙරවරුන් මෙන් සෘද්ධිමය පා සිවුරු ලබා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ පෙනී සිටියේය. රහත් වූ තැන් පටන් ආර්යයෝ මැදහත් සිත් ඇත්තෝ වෙති. එනිසා පිය රජුගේ පණිවුඩය බුදුරදුන්ට නොපැවසූහ. සුදොවුන් රජු “ගිය තැනැත්තෝ නොම එති. පණිවුඩය පැවසූ බවක් ද නොපෙනේ” යැයි පවසා තවත් ඇමතියකු දහසක් පිරිවර සමග පෙරසේම යැවීය. ඔහු ද පළමු ඇමතියා මෙන් රහත්ව නිශ්ශබ්දව සිටියේය. මෙසේ නව වරක් ඇමතිවරු නව දෙනෙක් පිරිවර නව දහසක් සමඟ යැවීය. සැමදෙනම රහත්ව මැදහත්ව නිහඬව සිටියහ.
ඉක්බිති රජතුමා “මෙපමණ දෙනෙක් යවාත් ඔවුහු මා කෙරෙහි ආදරයක් නොමැති බැවින් දසබලයන් වහන්සේ මෙනුවරට වැඩමවා ගැනීමට ආරාධනා නොකළහ. මේ උදායි ඇමති දසබලයන් වහන්සේ හා සමවයස් ඇත. වැලිකෙළියේ පටන් එකට වැඩුණේය. මා කෙරෙහි ද අපමණ සෙනෙහස් දක්වයි. මොහු යවා බලන්නෙමි”යි සිතා උදායී කැඳවීය. කැඳවා “දරුව, නුඹ පුරුෂයන් දාහක් පිරිවරාගෙන රජගහ නුවරට ගොස් දස බලයන් වහන්සේ වැඩමවාගෙන එව”යි පැවසීය. උදායී ඇමති “ඉදින් ඔබවහන්සේ මා හට පැවිදිවීමට අවසර දෙන්නේ නම් මම බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමවා ගෙන එන්නෙමි”යි රජුට පැවසීය. රජු “ඕනෑම දෙයක් කොට මාගේ දරුවා මාහට දක්වන්න”යි පැවසීය. රාජ නියෝගයෙන් රජගහ නුවර ගිය උදායී ඇමති, පිරිසත් සමඟම, පිරිස් කෙළවර හිඳ ධර්ම ශ්‍රවණය කර, රහත් බව ලැබ ඒහි භික්‍ෂු මහණෝපසම්පදාව ලැබීය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“එකල මම ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදී ගුණ ඇති, මහමඟට පිළිපන්, චාරිකාවේ හැසිරෙන ශාස්තෲ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මැනවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද රැගෙන ගියෙමි.
මහාවීර වූ බුදුරජාණෝ ඒ භෝජනය වැළඳූහ. මල් රැගෙන මහජනයාට දක්වමින් මෙසේ වදාළහ.
“ලොව ඉෂ්ට වූ මනවඩන ප්‍රිය වූ උතුම් ජලජ පුෂ්පයෝ වෙති. ඒ මලින් මා පිදූ මෙතෙමේ ඉතා අමාරු කටයුත්තක් කළේය.
මාහට මල් පිදූ, උතුම් ආහාර පිදූ මොහු අනාගතයේ කවරෙකු වන්නේ දැයි පවසමි. ඒ මාගේ වචනය සාවධානව අසවු.
මෙතෙම දහඅට වරක් දෙව්රජව උපදින්නේ ය. ඔහුගේ පුණ්‍ය විපාකයෙන් දිවමය සුවඳින් යුතු උපුල්, පියුම්, බෝලිද්ද ආදී මල් අහසේ වියනක් මෙන් සිටින්නේය.
සක්විති රජව විසිපස්වරක් උපදින මෙතෙම පෘථිවි රාජ්‍යය පන්සිය වරක් දරන්නේය.
මීට කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ ගෞතම නම් ශාස්තෲහු ලොව පහළ වෙති.
කුශල මූලයෙන් මෙහෙයූ සතුටු සිතැති මෙතෙම ශාක්‍යයන්ගේ සතුට ඇති කරන ඥාතියෙක් වන්නේය.
පසුව පැවිදිව ආශ්‍රව ප්‍රහීණ කරන මෙතෙමේ පිරිනිවන් පාන්නේය.
ලෝකබන්‍ධු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සිවුපිළිසිඹියා පත් වූ, කොටැ නිමැවූ කටයුතු ඇතිවූ, ආශ්‍රව රහිත වූ මෙතෙම අගතනතුරේ පිහිටුවන සේක.
වීර්ය වැඩූ, නිවණට මෙහෙයූ සිතැති, උපශාන්ත වූ උපධි රහිත වූ මෙතෙම නමින් උදායී බුද්ධ ශ්‍රාවකයා වේ.”
“රාගය ද ද්වේෂය ද මෝහය ද ගුණමකු බව ද විනාශ කරන ලද්දෙමි. සියලු ආශ්‍රව ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, අනාශ්‍රවව වෙසෙමි.
[missing trans]