11. ඒකාදසකනිපාතය
සඞ්කිච්ච ස්ථවිරගාථා වර්ණනාව
එකොළොස්වන නිපාතයේ “කිං තවත්‍ථො වනෙ තාත” යනාදී ගාථාවන් ආයුෂ්මත් සංකිච්ච තෙරුන් වහන්සේගේය. උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී, සැවැත් නුවර බමුණු මහසල් කුලයක පිළිසිඳ ගත්හ. ඒ කුමරු පිළිසිඳ කුසෙහි සිටින සමයේ දී රෝගී වූ මව කළුරිය කළාය. ඇගේ සිරුර සොහොනට ගෙන ගොස් දැවූවත් ගැබ නොපිළිස්සුණි. මිනිස්සු හුල්වලින් කුස පලනුයේ දරුවාගේ ඇස් කෙළවරට ගැසූහ. කුස ප්‍රදේශය ද දැවුනේය. අඟුරු මත රන් පිළිමයක් වැනි දරුවෙක් පියුම් ගැබක සිටින්නාක් මෙන් බබළමින් සිටියේය. පශ්චිම භවිකයා මහමෙරින් වැටුණත් රහත් නොවී ජීවිතක්‍ෂයට පත්වීමක් නම් සිදුනොවේමය.
දෙවන දිනයේ සොහොනට ගිය මිනිස්සු එසේ සිටි දරුවා දැක, ආශ්චර්ය අද්භූත ජනක සිත් ඇතිව දරුවා රැගෙන ගමට ගොස් නිමිති පාඨකයන්ට මේ තොරතුරු පැවසූහ. නිමිති පාඨකයෝ, “මේ දරුවා ගිහිගේ වසන්නේ නම් ඔහුගේ සත් මුතු පරම්පරාවම දුක්පත් වන්නේය. ඉදින් පැවිදි වුවහොත් පන්සීයක් තෙරවරුන් පිරිවරාගෙන වාසය කරන්නේ ය” යැයි පැවසූහ. ඒ දරුවාගේ නෑයෝ, “වේවා, මොහු හැදි වැඩුණු පසු අපගේ ආර්යයන් වහන්සේ වූ සැරියුත් මහ තෙරුන් වෙත පැවිදි කරවන්නෙමි”යි කියා, හුලින් ඇණ තුවාල වූ ඇස් කෙළවර ඇති හෙයින් “සංකිච්ච” යැයි නම් තැබූහ. සත්හැවිරිදි වූ ඒ කුමරු තමා ගැබේ සිටියදීම මව මැරුණු බවත්, තමා පිළිබඳ තොරතුරුත් දැන හටගත් සංවේගයෙන්, “පැවිදිවන්නෙමි”යි පැවසීය. ඤාතීහු “දරුව, මැනවි” යි පවසා ධර්මසේනාපති මහතෙරුන් වහන්සේ සමීපයට පමුණුවා ස්වාමීෟනි මොහු පැවිදි කරන්නැයි පවරා දුන්හ. තෙරුන් වහන්සේ ඔහුට තචපඤ්චක කර්මස්ථානය දී පැවිදි කළසේක. හිසකෙස් බාද්දීම සිවුපිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සංකිච්ච හිමියෝ භික්‍ෂූන් තිස් දෙනෙක් සමග අරණ්‍යයෙහි විසූහ. සොරුන් දමනය කර, පැවිදි කරවා ඒ සෑම දෙනා වහන්සේ සමග ම එක් අරණ්‍යායතනයේ විසූ සංකිච්ච හිමියෝ, ඒ හිමිවරු වාදවිවාදයන්හි යෙදී සිටිනු දැක “අන්තැනකට යමි” යි භික්‍ෂූන්ට දැන්වූහ. මේ කථාව මෙහි දැක්වූයේ සංක්‍ෂිප්ත වශයෙනි. විස්තර වශයෙන් ධම්මපදට්ඨකථාව බලා දතයුත්තේය. ඉක්බිති එක්තරා උපාසකයෙක් උන්වහන්සේට උපස්ථාන කරනු කැමතිව ඊට ආසන්න ස්ථානයක වෙසෙන ලෙස ආයාචනා කරමින් මේ පළමු ගාථාව පැවසීය.
“කිං තවත්‍ථො වනෙතාත උජ්ජුහානොව පාවුසෙ,
වෙරම්බා රමණීයා තෙ, පවිවෙකො හි ඣායිනං” තී.
එය ඇසූ තෙරණුවෝ මේ ඉතිරි ගාථා වදාළහ.
“යථා අබ්භානි වෙරම්බො වාතො නුදති පාවුසෙ,
සඤ්ඤා මෙ අභිකීරන්ති විවෙකපටිසඤ්ඤුතා”
“අපණ්ඩරො අණ්ඩ සම්භවො සීවථිකාය නිකෙතචාරිකො,
උපපාදයතෙව මෙ සතිං සන්‍දෙහස්මිං විරාගනිස්සිතං”
“යඤ්ච අඤ්ඤෙ න රක්ඛන්ති, යො ච අඤ්ඤෙ න රක්ඛති,
සවෙ භික්ඛු සුඛං සෙති කාමෙසු අනපෙක්ඛවා”
“අච්ඡොදිකා පුථුසිලා ගොණංගුල මිගා යුතා,
අම්බු සෙවාල සඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං.”
“වසිතම්මෙ අරඤ්ඤෙසු කන්‍දරාසු ගුහාසු ච,
සෙනා සනෙසු පන්තෙසු වාළමිග නිවෙසිතෙ”
“ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො,
සංකප්පං නාභිජානාමි අනරියං දොසසංහිතං.”
“පරිචිණ්ණො මයා සත්‍ථා, කතම්බුද්ධස්ස සාසනං,
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.”
“යස්ස චත්‍ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං,
සො මෙ අත්‍ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.”
“නාභිජානාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං,
කාලඤ්ච පටිකංඛාමි නිබ්බිසං භතකො යථා”
“නාභිනන්‍දාමි මරණං, නාභිනන්‍දාමි ජීවිතං,
කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො.” තී.
මෙහි “කි තවත්‍ථො වනෙ,” “කිං” යනු ලිංග විපර්යාස වශයෙන් කියන ලදි. “වන වාසයෙන් නුඹට කවර ප්‍රයෝජනයක් ද? යන අර්ථය යි. “තාත” ළදරු සාමණේරයෙක් බැවින් තම පුත්‍රස්ථානයේ තබා ආමන්ත්‍රණය කරයි. “උජ්ජුහානොව පාවුසෙ” උජ්ජුහාන නම් පර්වතය ගස් වැල් පිරීගිය ගණ කැලෑවකි. බොහෝ දියකඳුරු නිසා ඒ ඒ තැන දියගලා යයි. වර්ෂාකාලයේ දී මේ ගණ වනය වාසයට නුසුදුසු වේ. “වේ වැසි කාලයේ දී වාසයට අපහසු මේ පර්වතයේ විසීමෙන් නුඹට කවර ප්‍රයෝජනයක් ද? ඇතැමෙක් මෙහි උජ්ජුහාන නම් එක් කුරුල්ලෙක් සීතල ඉවසමින් වර්ෂාකාලයේ වන ගොමුවල සැඟවී වාසය කරන්නේ යයි කියති. ඔවුන්ගේ අදහස අනුව “උජ්ජුහාන පක්‍ෂියා මෙන් වැසිකාලයේ මේ වනයේ විසීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක් ද? “වෙරම්බා රමණීයා තෙ”, වේරම්බ වාතය හමයි. එය නුඹට සිත්කලු ද? යන අර්ථයයි. ඇතැමෙක් වේරම්බ යනු එක් පර්වත ගුහාවකැයි කියති. ඒ ස්ථානය ගමනාගමනයට පහසු, ජනයාගෙන් තොරවූවකි. සෙවණ හා ජලය සහිතය. එනිසා වේරම්බය රමණීය වේ. ඒ වනයේ විසීමට සුදුසුය. කුමක් නිසා ද? “පවිවෙකො හි ඣායිනං” නුඹවැනි ධ්‍යාන වඩන්නන්ට කිසියම් තැනක විශේෂ විවේකයම කැමති විය යුතුයි. එනිසා ඉතා දුර වූ අරණ්‍යායතනයට නොගොස් වේරම්බාවේ වසන්න. දරුව, යි කියයි. මෙහි අර්ථ මෙසේ දතයුතුයි. – “යම්හෙයකින් ධ්‍යානවඩන්නන්ට ප්‍රකර්ෂ විවේකය ඇති වාසයට පහසු සෙනසුනක් ලැබීමෙන් ම ධ්‍යාන වැඩීම සාර්ථක වෙත් ද එනිසා ම මෙබඳු සීත කාලයක කිසිම වනයක විසීමට නොහැක.