කප්ප ස්ථවිරගාථා වර්ණනාව
“නානාකුලමල සම්පුණ්ණො” යනු ආයුෂ්මත් කප්ප තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්රාර්ථනා ඇති ව ඒ ඒ භවයේ දී කුසල් දහම් රැස්කරමින් අවුත්, සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී මහත් ධනවත් පවුලක ඉපිද නුවණැති බවට පත්වූහ. ඔහු නානාවිධ වර්ණවත් විසිතුරු වස්ත්රයන්ගෙන් ද නානාප්රකාර ආභරණයන්ගෙන් ද, නානාප්රකාර මැණික් රත්නයන්ගෙන් ද බොහෝ මල්මාලාදියෙන් ද කප්රුකක් අලංකාරව සාදා ඉන් ශාස්තෲන් වහන්සේගේ චෛත්යයට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාදයේ දී මගධ රට මණ්ඩලික රජ පවුලක ඉපිද පියාගේ ඇවෑමෙන් රාජ්යයේ පිහිටා කාමයන් හි අතිශයින් ගිජුව, ඇලී වාසය කළේය. මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව දෙස බැලූ ශාස්තෲන් වහන්සේගේ ඤාණ දැලට ඔහු හසුවිය. “ඔහුට කුමක් සිදුවන්නේ ද? විමසූ තථාගතයන් වහන්සේ, “මෙතෙම මා සමීපයේ දී අසුභ කථාව අසා කාමයන් හි නොඇලුණු සිත් ඇතිව පැවිදි ව, රහත්වන්නේය”යි දැන අහසින් එතැනට වැඩමවා මේ ගාථාවන්ගෙන් කප්ප රජුට දහම් දෙසූහ.
“නානාකුලමල සම්පුණ්ණො මහා උක්කාරසම්භවො,
චන්දනිකංව පරිපක්කං මහාගණ්ඩො මහාවණො.”
චන්දනිකංව පරිපක්කං මහාගණ්ඩො මහාවණො.”
“පුබ්බරුහිර සම්පුණ්ණො ගුථකූපෙන ගාළ්හිතො,
ආපොපග්ඝරණො කායො සදා සන්දති පූතිකං”
ආපොපග්ඝරණො කායො සදා සන්දති පූතිකං”
“සට්ඨි කණ්ඩර සම්බන්ධො මංසලෙපනලෙපිතො,
චම්ම කඤ්චුක සන්නද්ධො පූතිකායො නිරත්ථකො”
චම්ම කඤ්චුක සන්නද්ධො පූතිකායො නිරත්ථකො”
“අට්ඨි සංඝාටඝටිතො නහාරුසුත්ත නිබන්ධනො,
නෙකෙසං සංගතීභාවා කප්පෙති ඉරියාපථං.”
නෙකෙසං සංගතීභාවා කප්පෙති ඉරියාපථං.”
“ධුවප්පයාතො මරණස්ස මච්චුරාජස්ස සන්තිකෙ,
ඉධෙව ඡඩ්ඩයිත්වාන යෙනකාමං ගමො නරො.”
ඉධෙව ඡඩ්ඩයිත්වාන යෙනකාමං ගමො නරො.”
“අවිජ්ජාය නිවුතො කායො, චතුගන්ථෙන ගන්ථිතො,
ඔඝ සංසීදනො කායො, අනුසයජාලමොත්ථතො.”
ඔඝ සංසීදනො කායො, අනුසයජාලමොත්ථතො.”
“පඤ්චනීවරණෙ යුත්තො, විතක්කෙන සමප්පිතො,
තණ්හාමූලෙනානුගතො මොහච්ඡදනඡාදිතො.”
තණ්හාමූලෙනානුගතො මොහච්ඡදනඡාදිතො.”
“එවායං වත්තතී කායො කම්මයන්තෙන යන්තිතො,
සම්පත්ති ච විපත්යන්තා, නානාභාවො විපජ්ජති.”
සම්පත්ති ච විපත්යන්තා, නානාභාවො විපජ්ජති.”
“යෙමං කායං මමායන්ති අන්ධබාලා පුථුජ්ජනා,
වඩ්ඪෙන්ති කටසිං ඝොරං, ආදියන්ති පුනබ්බවං.”
වඩ්ඪෙන්ති කටසිං ඝොරං, ආදියන්ති පුනබ්බවං.”
“යෙමං කායං විවජ්ජෙන්ති ගුථලිත්තංව පන්නගං,
භවමූලං වමිත්වාන පරිනිබ්බායිස්සන්ත්යනාසවා.” තී.
භවමූලං වමිත්වාන පරිනිබ්බායිස්සන්ත්යනාසවා.” තී.
මේ ගාථාවන්ගෙන් අනේක ප්රකාර ව තත්ත්වාකාරයෙන් ම ශරීරස්වභාවය දැක්වෙන අසුභ කථාව ඇසූ එරජු, තම කය පිළිකුල් කරමින්, අප්රියකරමින් හටගත් සංවේගයට පත් සිතින් යුක්තව ශාස්තෲන් වහන්සේට වැන්දේය. වැඳ “ස්වාමීනි, මට භාග්යවතුන් වහන්සේ සමීපයෙන් පැවිද්ද ලැබේ නම් මැනවි. උපසම්පදාව ලැබේ නම් මැනවි.”යි පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටි භික්ෂුවක් කැඳවා, “මහණ, යව මොහු පැවිදි උපසම්පදා කර රැගෙන එව” යි අණකළ සේක. ඒ භික්ෂුව තම පඤ්චක කර්මස්ථානය දී පැවිදි කරන අවස්ථාවේ ඒ රජතුමා හිසකෙස් බාද්දීම සිවුපිළිසිඹියාපත් මහ රහත් ඵලයට පත්විය. අපදාන පාළියේ දී කප්ප හිමියෝ මෙසේ වදාළහ.
“මම සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ ශ්රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්ලා කප්රුකක් පිදුවෙමි.
දිව්ය වූ මනුෂ්ය වූ ආත්මභාවයන් හි දී මාගේ දොරටුව හොබවමින් කප් රුකක් පිහිටියේය.
මම ද මා ඇසුරු කළ සැම ද ඒ කප්රුකින් දුහුල් ගෙන හැන්දෙමු.
මෙයින් කල්ප අනූහතරකට පෙර යම් කප්රුක් පූජාවක් කළෙම් ද එදා සිට මම දුගතියක නූපන්නෙමි. කප්රුක් දානයේ විපාක මෙබඳුය.
මෙයින් සත්වන කල්පයේ සත්රුවනින් හෙබි මහත් බලැති සුචෙල නම් සක්විති රජුව අට වරක් සැප වින්දෙමි.
දැන් මම කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ උපසම්පදාව ලබා, ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක හිඳ, තමා රහත් වූ බව ප්රකාශ කරනු සඳහා බුදුරදුන් මුලදී වදාළ ගාථා දහය ම නැවතත් දේශනා කළහ. එනිසා ම එම ගාථාවන්ට “කප්ප ථෙරගාථා” නාමය විය.
එම ගාථාවන් හි “නානාකුලමල සම්පුණ්ණො” නානාප්රකාර අශුචියෙන් මලයෙන් පිරුණු, කෙස්, ලොම් ආදී නානාවිධ අශුචි කොටස්වලින් පිරුණු, “මහා උක්කාරසම්භවො” උක්කාර යනු වැසිකිළිය යි. මවගේ කුසේ හුමාලයෙන් තැම්බූ වැසිකිළියක මෙන් සිට උපදින බැවින් “මහා උක්කාර” යනු මවුකුස යි. ඒ මවු කුසින් මේ ශරීරය උපන්නේය යන අරුතින් “මහා උක්කාර සම්භව” නම් වේ. “චන්දිකං” ඉඳුල් දිය, ගැබ්මල් ආදිය දමන ස්ථානයක් බඳු, යමක දණක් පමණ අසුභයන්ගෙන් පිරී පවතී ද එබඳු ගවරවලක් බඳු, “පරිපක්කං” පරණ වූ, පැරණි සැඬොල් ගම් දොරටුවක ග්රීෂ්ම කාලයේ කැපූ වලකට විශාල වැසි බිනු ඇති මහා වැස්සක් වැටී මෙන් මුළු ගමේම වූ මළමුත්ර, ඇට, සම්, නහර, කෙළ, සෙම්, සොටු ආදී නානාප්රකාර කුණප දිය පහරින් ගසා ගෙන ගොස්, මඩ මිශ්ර වතුර සමඟ දින කිහිපයක් පැසීමෙන්, මී මැසි මදුරු පණු ආදීන්ගෙන් පිරීගිය, සූර්යතාපයෙන් තැවී පැසී ගිය, මතුපිට පෙන බුබුළු පිරි, ඉතා තද කළු පාටින් යුතු, අතිශය දුගඳ හමන, පිළිකුල් වූ ගවරවළක් බඳුය.” යන අදහසයි. එසේම දුක්ගෙනදෙන හුලක් බඳුවූ, අශුචි වැගිරෙන බැවින් ද ජරාමරණ උපදවන බැවින් ද ඉදිමෙන, පැසෙන, බිඳීයන ස්වභාව ඇති බැවින් ද මහත් ගඬුවක් වැනි වූ මේ කය “මහාගණ්ඩො” මහා තුවාලයකි. සෑම තැනකම දුක් වේදනා ගෙනදෙන ගඬුවලින් පිරි, අශුචි වැගිරෙන මහත් වණයක් බඳුය. “මහාවණෙ” වර්චස්වලින් යුතු “ගුථකූපෙන ගාළ්හිතො” නැතහොත් අශුචි වැගිරෙන, “ගුථ කූපෙ නිබාහිතො” යන පාඨය ද යෙදේ. “අශුචිවලින් නික්මෙන” යන අර්ථය එහි ඇත. “ආපො පග්ඝරණො කායො සදා සන්දති පූතිකං” මේ කය ආපොධාතුව නිසා සැමදාම වැගිරෙයි. කිසි දිනෙක පවිත්ර දේ නොවැගිරෙයි.