චූළපන්ථක ස්ථවිරගාථා වර්ණනාව
“දන්ධා මය්හං ගතී” යනාදී ගාථා ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරුන් විසින් දේශනා කරන ලදි. ඒවායේ උපත කෙසේ ද? මෙහි කිවයුතු විස්තර අටවන නිපාතයේ මහාපන්ථක තෙරුන්ගේ කථාවස්තුවේ දී පැවසූ පරිදිම දතයුතුයි. මෙහි ඇති විශේෂත්වය නම් මහාපන්ථක තෙරණුවෝ රහත්ව අග්රඵල සුවයෙන් කල්යවමින් සිටිසේක්, “චුල්ලපන්ථක ද මේ සුවයෙහි පිහිටුවීමට කෙසේ නම් හැකි වේ ද?යි යනුවෙන් සිතූහ. උන්වහන්සේ තම මුත්තණුවන් වූ සිටුවරයා වෙත ගොස් “ඉදින් මහසිටුතුමා අනුදන්නේ නම් මම චුල්ලපන්ථක පැවිදිවන්නෙමි” පැවසූහ. “ස්වාමීනි, ඔහු පැවිදි කරනු මැනවි”යි සිටුවරයාගෙන් අවසර ලැබුණි. තෙරුන් වහන්සේ තම මළනුවන් පැවිදි කළහ. දස සාමණේර ශීලය සමාදන්ව පැවිදිවූ චුල්ලපන්ථක තෙරණුවෝ, තම සෝයුරු හිමියන් සමීපයේ සිට
“පදුමං යථා කොකන දං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං,
අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්තළික්ඛෙ” තී
අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්තළික්ඛෙ” තී
යන ගාථාව පාඩම් කිරීමට මාස හතරක් ගතවුවත් නොහැකිවිය. පාඩම් කරන, කරන පදය හදවතේ නො පිහිටයි. ඉක්බිති මහාපන්ථක තෙරණුවෝ “චුල්ලපන්ථකය, නුඹ මේ බුද්ධශාසනයෙහි අන්ධයෙකි. සතර මාසයක් ගියත් එක ගාථාවකුදු පාඩම් කිරීමට නොහැකි වූවෙහිය. පැවිදි කිස, මහණකම කෙසේ මස්තකප්රාප්ත කර ගන්නෙහි ද? මෙතැනින් නික්මෙව”යි පැවසූහ. සිය සහෝදර තෙරුන් විසින් බැහැර කළ චුල්ලපන්ථක හිමියෝ දොරටුවේ වූ ගෙය සමීපයේ අඬමින් සිටියහ.
එසමයේ ශාස්තෲන් වහන්සේ ජීවක අඹ උයනෙහි වැඩ වෙසෙති. ජීවක වෙදතුමා තම සේවක පුරුෂයකු “දහවල් බතට ශාස්තෲන් වහන්සේ සමග පන්සියක් භික්ෂූන්ට ආරාධනා කරව”යි අඹ උයනට යැවීය. එසමයේ මහා පන්ථක හිමියෝ “භත්තුද්දේසක” තනතුර දැරූහ. පුරුෂයා “ස්වාමීනි, පන්සීයක් භික්ෂූන්ට දහවල් දානයට ආරාධනා කරමි. එය පිළිගන්න”යි තෙරුන් හමුවේ පැවසීය. මහාපන්ථක තෙරණුවෝ, “චුල්ලපන්ථක හැර සෙසු භික්ෂූන් සඳහා ආරාධනාව පිළිගනිමි”යි පැවසූහ. ඒ ප්රකාශය ඇසුණු චුල්ලපන්ථක හිමියෝ අතිශයින් ම අසතුටට, දොම්නසට පත්වූහ. ඒ ශෝකී සිත දුටු ශාස්තෲන් වහන්සේ, “මවිසින් කළ උපායෙන් චුල්ලපන්ථක සත්යාවබෝධ කරලන්නේය”යි දැන, චුල්ලපන්ථක හිමියෝ, “ස්වාමීනි, මගේ සොහොයුරා මා එළවා දැමීය”යි පැවසූහ. එවිට බුදුහු “පන්ථක, ඒ පිළිබඳව නො සිතන්න. නුඹ පැවිදිවූයේ මගේ සසුනෙහිය. එන්න, මේ රෙදි කඩ ගෙන, මෙතැන හිඳිමින් “රජොහරණං”, “රජොහරණං” යනුවෙන් කියමින් සිටින්න”යි වදාරා, සෘද්ධියෙන් පිරිසිදු සුදු රෙදිකඩක් මවා දුන්නේය. චුල්ලපන්ථක හිමියෝ, ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද සුදුරෙදිකඩ ගෙන “රජොහරණං” යැයි කියමින් එය අතින් පිරිමදිමින් එතැන හුන්හ. ඒ රෙදිකඩ පිරිමදින තෙරුන්ගේ අතින් එම රෙදි කඩ කිළිටි විය. තව තවත් පිරිමදින විට එය වළං පිසදමන රෙද්දක් මෙන් කිළිටි විය. ඒ මොහොතෙහි නුවණ මුහුකුරා ගොස් සිටි චුල්ලපන්ථක හිමියෝ, “මේ රෙදි කඩ ස්වභාවයෙන් ම ඉතා පිරිසිදු වූවක් විය. මේ මගේ යැයි තණ්හාවෙන් බැඳගත් ශරීරය නිසා එය කිළිටි විය. රෙදිකඩ වෙනස් වූවක් විය. සිත ද මෙසේය, සියලු සංස්කාර ධර්ම අනිත්ය වේ” යනුවෙන් ක්ෂයවීම, ව්යයවීමෙහි සිත පිහිටුවා ගෙන, ඒ අනිත්ය සංඥාව ම පාදක කරගෙන ධ්යාන උපදවා, ඒ ධ්යාන පාදක කරගෙන විදසුනෙහි සිත පිහිටුවා සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වූහ. අපදාන පාළියේ දී චුල්ලපන්ථක තෙරණුවෝ මෙසේ වදාළහ.
“එකල් හි පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගණයා කෙරෙන් ඉවත් වූ සේක් හිමවතෙහි විසූ සේක.
එකල මම ද හිමවතේ අසපුවක විසුවෙමි. අලුත පැමිණියා වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මම, මල් කූඩයක් රැගෙන, එය උන්වහන්සේට දරාගෙන සිටියෙමි. සමවතට සමවැදි උන්වහන්සේගේ සමාධියට අනතුරක් නොකළෙමි.