මහාකප්පින ස්ථවිරගාථා වර්ණනාව
“අනාගතං සො පටිගච්ච පස්සතී” යනු ආයුෂ්මත් මහා කප්පින තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ හංසවතී නුවර කුල ගෙයක ඉපිද වැඩිවියට පත්ව ශාස්තෲන් වහන්සේ සමීපයේ හිඳ ධර්ම ශ්‍රවණය කළහ. එකල බුදුරජාණන් වහන්සේ එක් භික්‍ෂුවක් භික්‍ෂූන්ට අවවාද කරන්නන්ගෙන් අග්‍රභාවයට පත් කරනු දුටු හෙතෙම, ඒ තනතුර පතා බුදුරදුන්ගෙන් විවරණ ලබාගත්තේය.
දිවි ඇතිතාක් එම භවයේ පින් දහම් සිදුකර, ඉන් චුතවූ ඔහු දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී බරණැස සිටු ගෙයක ඉපිද නුවණැති බවට පැමිණියේය. මිනිසුන් දාහකට ප්‍රධාන නායක වූ හෙතෙම කුටි දහයකින් අලංකාර වූ මහත් පිරිවෙණක් කරවා පූජා කළේය. ඒ සැමදෙන ම ඒ උපාසකතුමාගේ නායකත්‍වයෙන් බොහෝ කුසල් රැස්කර, දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් සැපවින්දහ. ඔවුන්ගේ නායක පුරුෂයා අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේ ම ප්‍රත්‍යන්තයක වූ කුක්කුට නම් නුවර රජගෙදර ඉපිද කප්පින නාමයෙන් ප්‍රකට විය. සෙසු පුරුෂයෝ එනුවරම ඇමතිගෙවල් දාහක උපන්හ. ඔවුන්ගෙන් කප්පින කුමරු පියාගේ ඇවෑමෙන් රජවී මහාකප්පින රජතුමා නමින් ප්‍රකට විය. හේ අසනු කැමති සිත් ඇති බැවින් උදෑසන ම සතර දොරින් වහා දූතයෝ සතර දෙනෙක් පිටත් කර යැවීය. “යම් තැනක බහුශ්‍රැතයෙක් හමුවේ නම් ඔහු මා වෙත වහා එවන්න” යි ඔවුන්ට අණකළේය.
මේ කාලයේ දී අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ සේක සැවැත් නුවර වෙසෙති. සැවැත්නුවර වෙළෙන්දෝ වටිනා බඩු රැගෙන ඒ කුක්කුට නුවරට ඒ බඩු විකුණා, “රජු දැකගනිමු” යි තෑගි පඬුරු ගත් අතැතිව රජුවෙත ගියහ. රජුගේ අවසර ලැබ. රජුවෙත පැමිණි ඔවුහු පුද පඬුරු පිරිනමා වැඳ පසෙක සිටි කල්හි., රජතුමා “නුඹලා කොහි සිට ආවාහු ද?”යි ඇසීය. වෙළෙන්දෝ “රජතුමනි! සැවැත්නුවර සිට” යි පැවසූහ. “කිම නුඹලාගේ රට ආහාරපාන සුලබ ද? රජු ධාර්මික ද?”යි ඇසූ රජුට “එසේය, දේවයන් වහන්ස”යි වෙළෙන්දෝ පිළිතුරු දුන්හ. “නුඹලාගේ දැන් කවරාකාර දහමක් පවතී ද?” යි ඇසූවිට වෙළෙන්දෝ “රජතුමනි! ඒ පිළිබඳව මේ කිළිටි මුවින් කිව නොහැකි යි පැවසූහ. රජු රන් කෙන්ඩියෙන් පැන් දුන්නේය. වෙළෙන්දෝ මුව සෝදාගෙන, දසබලයන් වහන්සේ දෙසට හැරී ඇඳිලි බැඳගෙන “දේවයන් වහන්ස, අපගේ රටේ බුද්ධරත්නය පහළවූ සේක”යි පැවසූහ. ඒ “බුද්ධ” යන වචනය ඇසූ පමණින් ම රජුගේ මුළු ශරීරයම විනිවිද යන සතුටක් පහළ විය. ඉක්බිති රජු “දරුවනි! නුඹලා බුද්ධ යැයි කීවෙහි ද?”යි ඇසීය. එවිට වෙළෙන්දෝ “මහරජ, බුද්ධය බුද්ධ” යැයි තෙවරක් පැවසූහ. “බුද්ධ යන පද පමණ කළ නොහැක”යි පැවසූ රජු ඒ වචන කෙරෙහි පැහැදී වෙළෙන්දන්ට කහවනු ලක්‍ෂයක් දී “අනිකක් කියව”යි පැවසීය. වෙළෙන්දෝ “මහරජ, ලෝකයේ ධර්මරත්නය පහළවීය”යි පැවසූහ. එය ද අසා සතුටුව ලක්‍ෂයක් දී “අනිකක් කියව” යි පැවසූ විට වෙළෙන්දෝ “දේවයන් වහන්ස, ලොව සංඝරත්නය පහළවිය”යි පැවසූහ. ඒ වචන අසා සතුටුව නැවත ලක්‍ෂයක් දී, “මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවන්නෙමි”යි රාජ්‍යයෙන් නික්මුණි. ඇමතියෝ ද රජු අනුව ම නුවරින් නික්මුණහ. ඇමතියන් දහස සමග ගංගාතීරයට පැමිණ, “ඉදින් ශාස්තෲන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක් නම් මේ අසුන්ගේ කුර පමණකුදු නොතෙමේවා” යි සත්‍යක්‍රියා කොට, ජලය මතින් ම පිරී යන ගඟ තරණය කළ රජතුමා තවත් අඩ යොදුනක් පළල නදියක් ද පෙරසේම තරණය කළේය. තුන්වැනිව චන්දභාග නම් මහා ගංගාව ද එසේම සත්‍යක්‍රියාවෙන් තරණය කොට ඉදිරියට ම ගියේය.
ශාස්තෲන් වහන්සේ ද එදින අළුයම මහාකරුණා සමවතින් නැගී සිටිසේක්, ලෝකය දෙස බලා, “අද මහා කප්පින තුන්සිය යොදුනක් පැතිරුණු රාජ්‍ය හැර දමා ඇමතිවරුන් දාහක් පිරිවරා ගෙන මා සමීපයේ පැවිදිවීමට එන්නේය. මවිසින් ඔවුන්ට පෙරගමන් කළයුතුය”යි සිතා උදෑසනම සිරුර පිළිදැගුම් කොට, භික්‍ෂු මහා සංඝයා පිරිවරා සැවැත් නුවර පිඬුපිණිස හැසිර, පසුබත් කල පිණ්ඩපාතයෙන් වැළකී තමන්වහන්සේ තනිව ම අහසින් වැඩමවා චන්‍දාභාග නදී තීරයේ ඒ රජ පිරිස එතෙරවන තොටුපලෙහි ඉදිරියෙන් වූ මහා නුගරුකක් මුල සවණක් ගණ බුදුරැස් විහිදුවමින් පළක් බැඳ වැඩහුන් සේක. එම තොටුපලින් එතෙර වූ මහාකප්පින රජු, දසදෙස ඒකාලෝක කරමින් විහිදෙන බුදුරැස් දෙස බලා සිටිනුයේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. “යම් ශාස්තෲවරයෙක් උදෙසා රාජ්‍ය හැර මා පැමිණියේ ද, ඒකාන්තයෙන් මේ ඒ ශාස්තෲහුම වේ” යැයි නිශ්චයට ගොස්, උන්වහන්සේ දුටු ස්ථානයේ සිටම නැමී අතිශය ගෞරවාදර දක්වමින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි රජතුමා; උන්වහන්සේගේ ගොප්මස, වළලු කර අල්ලාගෙන වැඳ එකත්පසෙක සිටියේය. ඇමතියෝ ද එසේම කළහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට දහම් දෙසූහ. දේශනාවසානයේදී පිරිස සමඟම රජතුමා රහත් ඵලයෙහි පිහිටියේය. මහාකප්පින තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.