ඒකවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
“පුරතො පච්ඡතො වාපී” යනු ආයුෂ්මත් ඒක විහාරික තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ තැබූ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරගෙන අවුත් කාශ්යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත් ඒ සිටුකුමරු ශාස්තෲන් වහන්සේගෙන් දහම් අසා ලැබූ ශ්රද්ධාවෙන් පැවිදිව, අරණ්යගතව විවේක වාසයේ ඇලී මහණදම් පිරීය.
ඒ පින්කම්වල බලයෙන් එක් බුද්ධාන්තරයක් කාමසුගතීන්හි සැපවිඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ අප භාග්යවතුන් වහන්සේ පිරිනිවි සමයේ ධර්මාශෝක රජතුමාගේ බාල සොහොයුරාව උපන්නේය. අශෝක මහ රජතුමා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය දහ අටවන වර්ෂයේදී මුළු දඹදිවම එක්සේසත් කොට, තම බාල සෝයුරු වූ තිස්ස කුමරු උපරාජ තනතුරේ තබා රට පාලනය කළේය. ඒ තිස්ස කුමරු කවර උපායකින් සසුනේ අතිශයින් පැහැදුණේද? එක් දිනක් මුව දඩයමට ගිය තිස්ස කුමරු කැළයේදී යෝනක මහ ධම්මරක්ඛිත තෙරුන් වහන්සේට මහ ඇත්රජෙකු සල් අත්තකින් පවන් ගසමින් සිටිනු දැකීමෙන් හටගත් ප්රසාද ඇතිව “අහෝ මමත් ඒකාන්තයෙන් මේ මහතෙරුන් මෙන් පැවිදි වී ආරණ්යයේ වාසය කරන්නෙම් මැනවි”යි සිතීය. තෙරණුවෝ කුමරුගේ එම සිත දැන, ඔහු බලා සිටියදීම අහසට පැන නැඟී අශෝකාරාමයේ පොකුණේ දියෙහි නොගෑවෙමින් වැඩ හිඳ, සිවුරත් උතුරු සළුවත් අහසේ එල්වා නෑමට පටන් ගත්හ. කුමරු ඒ තෙරුන්ගේ මහානුභාව බව දැකීමෙන් අතිශයින් පැහැදී අරණ්යයෙන් නික්ම රජගෙට ගොස් “මම පැවිදි වන්නෙමි”යි මහරජුට පැවසීය. අශෝක රජු නානාප්රකාරයෙන් කරුණු දැක්වූවත් පැවිදිවනු කැමති සිත වළකාලන්නට නොහැකි විය. උපාසක බවට පත් තිස්ස කුමරු පැවිදි සුව පතමින් මේ ගාථා සය ප්රකාශ කළේය.
“පුරතො පච්ඡතොවාපි අපරො චෙන විජ්ජති,
අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”
අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”
“හන්ද එකො ගමිස්සාමි අරඤ්ඤං බුද්ධවණ්ණිතං,
ඵාසු එකවිහාරිස්ස පහිතත්තස්ස භික්ඛුනො”
ඵාසු එකවිහාරිස්ස පහිතත්තස්ස භික්ඛුනො”
“යොගී පීතිකරං රම්මං මත්ත කුංජරසෙවිතං,
එකො අත්ථවසී ඛිප්පං පවිසිස්සාමි කානනං”
එකො අත්ථවසී ඛිප්පං පවිසිස්සාමි කානනං”
“සුපුප්ඵිතෙ සීතවනෙ සීතලෙ ගිරිකන්දරෙ,
ගත්තානි පරිසිඤ්චිත්වා චංකමිස්සාමි එකකො”
ගත්තානි පරිසිඤ්චිත්වා චංකමිස්සාමි එකකො”
“එකාකියො අදුතියො රමණීයෙ මහාවනෙ,
කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො”
කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො”
“එවමෙව කත්තුකාමස්ස අධිප්පායො සමිජ්ඣතු,
සාධයිස්සාම්යහං යෙව, නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො” තී.
සාධයිස්සාම්යහං යෙව, නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො” තී.
එහි “පුරතො පච්ඡතො වා” තමාගේ ඉදිරියෙන් හෝ පසුපසින් වෙසෙන්නකු නැති, දක්නට නොමැතිව, වෙනත් කිසිදු පුද්ගලයෙක් තමා සමීපයේ නොමැති නම් එයින් තම සිතට ඒකාන්තයෙන් ම සුඛ විහරණයක්, සැපයක් ගෙනදෙයි. එසේ තනිව, හුදකලා වූවහුට “වනෙ වසතො” බොහෝ කාලයක් පුරුදු කළ විවේකයේ ඇලුණු, විවේක වාසයට ඇදගත් සිතැති, රෑ දාවල් මහජනයාගෙන් තොරවූයේ සමූහ සාකච්ඡාවල නොයෙදී, විවේක සුවයට බුහුමන් කරයි.
“හන්ද” වවස්සග්ගාර්ථයේ නිපාතයකි. ඉන් දැන් සිදුකරන ආරණ්යයට පිවිසීමේ ක්රියාවේ නිශ්චිත බව පවසයි. “එකො ගමිස්සාමි”, “ගහපතිය, ශූන්යාගාරය තථාගතයන්ගේ සිත වෙසෙසින් අලවයි” යනාදී ලෙස බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ, පැසසූ අරණ්යවාසයට තනිවම, හුදකලාව පහසු විහරණයෙහි, තනිව විසීමෙහි යෙදී නිවණටම මෙහෙයූ සිත් ඇති බැවින්, අධිශීල ශික්ෂා දී ත්රිවිධ ශික්ෂාවන්ගෙන් හික්මුණු භික්ෂුවට අරණයයේ සුව පහසු විහරණය ඒකාන්තයෙන් සැප ගෙන දෙයි” යන අර්ථයයි.
“යොගී පීතිකරං” යෝගී, ධ්යාන භාවනාවෙහි යෙදුණු සිත් ඇත්තන්ට, එහි අල්පවූ ශබ්ද ඇති බැවින් ධ්යාන විදර්ශනාදී ප්රීතිය ගෙනදෙයි. භාවනාවට බාධාකරන අරමුණුවලින් දුරුව, විවේකයට යෝග්යභාවයෙන් රම්ය වූ “මත්තකුඤ්ජර සෙවිතං” උතුම් මතැතු විසින් හැසිරෙන ලද, මේ වදනින් මහ කැළයේ ජන ශූන්ය බවම, විවේකයම දක්වයි. “අත්ථවසී” අර්ථය නම් මහණකමයි, ශ්රමණධර්මයයි. කෙසේ නම් මම ශ්රමණධර්මයේ වසඟයට යන්නෙම් නම් මැනවි.
“සුපුප්ඵිතෙ” මනාව පිපුණු, “සීතවනෙ” සෙවණැලි, දිය පහර ඇදී සම්පත්තියෙන් ශීතල වූ වනයේ, මේ වදන් දෙකින් ම වනයේ සුන්දරත්වය දක්වයි. “ගිරිකන්දරෙ” ගිරි කඳුරෙහි, පර්වත අතුරෙහි ජල පහර සහිත නිම්නස්ථාන කඳුරු නම් වේ. ඒ සොඳුරු නිම්නයන් හි ග්රීෂ්මය, වෙහෙස, සන්සිඳුවාගෙන, තම අතපය සෝදා දිය නා. “චංකමිස්සාමි එකකො” කිසිවකුට අයත් නොවූ පැවැත්මෙන්, හුදකලාවම,
“එකාකියො” හුදකලාව, තනිවම, “දුතියො” තණ්හාව නම් දෙවැන්නෙකු නැති බැවින් අදුතිය වූ, දෙවැන්නකු නැති, සැමදාම පුද්ගලයා සමඟම පවතින, සිටින බැවින් තණ්හාව “දුතිය” නම් වේ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “තණ්හාව නම් දෙවැන්නෙකු නැති බැවින් අදුතිය වූ, දෙවැන්නකු නැති, සැමදාම පුද්ගලයා සමඟ ම පවතින, සිටින බැවින් තණ්හාව “දුතිය” නම් වේ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “තණ්හාව දෙවැන්නා කරගත් පුද්ගලයා මේ දිගු සසර සැරිසරයි.”
“එවමෙව කත්තුකාමස්ස”, “ඒකාන්තයෙන් ම හුදකලාව වනයට යන්නෙමි” යි ආදී වශයෙන් පැවසූ අයුරින් ම අරණ්යයෙහි භාවනා කරනු කැමති මාගේ, “අධිප්පායො සමිජ්ඣතු” අදහස සමෘද්ධ වේවා, “කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො” මෙසේ පවතින අදහස, මනෝරථය ඉටුවේවා, සමෘද්ධ වේවා, මා විසින් ම ආශාවෙන්, කැමැත්තෙන් මෙය කළයුතුය. අනිකකු විසින් මේ කටයුත්ත නොකරන්නේය. එනිසා “සාධයිස්සාමහං යෙව නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො” යි කියන ලදි. සසර ගමන නිමකිරීම මවිසින් ම කළ යුතුය. අනිකකු එය මට සිදුකර නොදේ.