සාමිදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා” යනු ආයුෂ්මත් සාමිදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව, අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ පහළ වූ කාලයෙහි සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් ඒ සිටු කුමරු ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේගේ සෑයට මලින් ඡත්රයක් මත ඡත්රයක් කරවා පූජා පැවැත්වීය. ඔහු ඒ පිනින් දෙව්ලොව ඉපිද, තව තවත් පින් රැස් කර දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ රජගහ නුවර එක් බමුණු පුතෙක්ව උපන්නේය. ඔහු සාමිදත්ත නමින් ප්රකට විය. වැඩිවියට පත් ඒ සාමිදත්ත බමුණා, බුද්ධානුභාවය අසා උපාසකයන් සමග විහාරයට ගොස්, ශාස්තෲන් වහන්සේ ධර්ම දේශනා කරනු දැක පැහැදුණු සිතින් එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිත දැන ඒ අනුව දහම් දෙසූ සේක. ඉන් ඔහු සසර කළකිරී සසුනෙහි උපන් ශ්රද්ධා ඇති විය. ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි වූ සාමිදත්ත තෙරුන් ඤාණය මුහුකුරා නොගිය බැවින් දින කිහිපයක් ආශාවට වසඟව විසීය. නැවත ශාස්තෲන් වහන්සේ විසින් ධර්ම දේශනාවෙන් උත්සාහවත් කරන ලද උන්වහන්සේ විදසුන් කමටහන ගෙන එහි ම යෙදී වාසය කළ සේක්, නොබෝ දිනකින් ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේගේ චරිතය මෙසේ දක්වන ලදි.
“භාග්යවත් වූ අත්ථදස්සි බුදුරදුන් පිරිනිවි කල්හි, උන්වහන්සේගේ ධාතු සෑම මතුයෙහි ඡත්රයක් මත ඡත්රයක් කරවා පූජා කළෙමි.
කලින් කල අවුත් එම සෑයට වන්දනාමාන කළෙමි. මල් වියනක් ද කරවා ඒ මත ඡත්රයක් නැංවූයෙමි.
මෙහි විපාක වශයෙන් කල්ප එක් දහස් හත් සීයක් ම දිව්ය රාජව සැප වින්දෙමි. මිනිස් බව ද ලැබුයෙමි. මේ ථූප පූජාවේ විපාකයයි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. සියලු භව නැසුයෙමි. බැඳුම් සිඳ දැමූ ඇත් රජෙකු මෙන් කෙලෙස් සිඳ දමා ආශ්රව රහිතව වෙසෙමි.
බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීමෙන් යහපතක් ම විය. ත්රිවිද්යාවන් ලබා ගත් මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
පසු කාලයේ දී උන්වහන්සේගෙන් සෙසු භික්ෂූහු, “ඇවැත්නි! කිම නුඹ වහන්සේ විසින් උතුරු මිනිස් දම් අවබෝධ කරගත්තෙහිද?” යි විමසූහ. එවිට සාමිදත්ත තෙරුන් වහන්සේ බුදු සසුනේ නෛර්ය්යාණිකභාවයත්, තමාගේ ධර්මානුධර්ම ප්රතිපත්තියත් ඔවුන්ට විදහා දක්වමින් සිය රහත් බව ප්රකාශ කරන සේක්; මේ ගාථාව වදාළහ.
“පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා,
වික්ඛීණො ජාති සංසාරො නත්ථි දානි පුනබ්භවො”
වික්ඛීණො ජාති සංසාරො නත්ථි දානි පුනබ්භවො”
මෙම ගාථාවෙහි “පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා” යනු මැනවින් මේ පංච උපාදානස්කන්ධ පිළිබඳ “මෙය දුකය, මෙපමණ දුක පවතී, මින් ඔබ්බට දුක නැත” යි යන ත්රිවිධ පිරිසිදු දැනීම් වලින් පිරිසිඳ දැන ගන්නා ලදි. දන්නා ලදි. අවබෝධ කරගන්නා ලදි. “තිට්ඨන්ති ඡින්න මූලකා” යනු එසේ පිරිසිඳ දත් බැවින් ඒ දුකට මූලය, හේතුව වූ තණ්හාව - ඇලීම සියලුම ආකාරයෙන් ප්රහීණ කරන ලදි. එම මූලයෝ අවසන් චිත්ත නිරෝධය දක්වා සිඳුණු මුල් ඇතිව සිටිති. අවසන් චිත්ත නිරෝධයත් සමග නැවත පිළිසිඳ ගැනීමක් නොමැතිව එම මූලයෝ නිරුද්ධ වෙති. එනිසා “ඉපදීම (ජාති) නම් වූ සංසාරය විශේෂයෙන් ක්ෂය කරන ලදි. දැන් පුනර්භවයක් නැත”යි කියන ලදි. මෙහි විස්තරාර්ථ ඉහත දැක්වූ පරිදි දත යුතුයි.
සාමිදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නව වන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
දස වැනි වග
පරිපුණ්ණක ස්ථවිරගාථා වර්ණනාව
“න තථාමතං සතරසං” ආයුෂ්මත් පරිපුණ්ණක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ධම්ම දස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියහ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි සෑදවූ බුදුසෑයට මල් ආදියෙන් මහත් වූ පූජාවක් ඔහු විසින් සිදු කරන ලදි. ඒ පින්කම හේතුවෙන් ඔහු දෙව් ලොව ඉපිද, තව තවත් පින් රැස් කරමින් කාම සුගතීන්හිම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්ය රාජ කුලයෙහි ඉපිද, වියට පැමිණ, පිරිපුන් විභව සම්පත් ඇති බැවින් පරිපුණ්ණක නාමයෙන් ප්රකට විය. මහත් සම්පත් ඇති ඔහු සැම කල්හිම සතරස නම් ආහාරය අනුභව කළේය. තම කුලයෙන් පැවිදි වූ ශාස්තෲන් වහන්සේ මිශ්ර ආහාර වළඳන බව ඇසූ ඒ ශාක්ය කුමරු “ඉතාම සියුමැලි වුවත් භාග්යවතුන් වහන්සේ නිවන් සුව අපේක්ෂාවෙන් යම් සේ යැපෙන සේක් ද, මම කවර හෙයින් ආහාරයට ගිජුව පිරිසිදු ආහාර සොයන්නෙම් ද, අප විසින් නිවන් සුවය ම සෙවිය යුතුයි” යනුවෙන් සසර පිළිබඳව හටගත් සංවේගයෙන්, ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි විය. භාග්යවතුන් වහන්සේ විසින් කායගතාසති කමටහනෙහි යොදවන ලද පරිපුණ්ණක තෙරුන්, එතැන් පටන් තමා ලැබූ ධ්යානය පාදක කරගෙන, විදසුනට සිත යොමා විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පවසති.
“ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සෑයෙහි කොඩි ගසක් නැංවූයෙමි.
ඉණිමඟක් සාදවා උතුම් සෑයට නැගුණෙමි. දෑ සමන් මල් ගෙන එම උතුම් සෑයට පිදුවෙමි.
“බුදුහු ආශ්චර්යය, ධර්මය ආශ්චර්යය, අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය.” මේ පූජාව නිසා මම දුගතියක නූපන්නෙමි. ථූප පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප අනූ හතරකට පෙර ථූපසිඛර නමින් මහ බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් උපන් ප්රීති වේගයෙන් එම ප්රීතිය දසත පතුරුවමින් උදන් අනන සේක්; “න තථාමතං සතරසං” යනාදී ගාථාව වදාළ සේක.
එම ගාථාවේ “න තථාමතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං” යන පාඨයේ “තථා” යනු එසේ, ඒ ආකාරයෙන්, “අමතං” යනු අභිමත වූ, කැමති වූ “සතරසං” යනු සතරස නම් භෝජනයයි. එය සියවරක් පිසූ ගිතෙල් ආදියෙන් සැකසූ රසවත් ආහාරයකැයි කියැවේ. නැතිනම් “සත” ශබ්දය අනේකාර්ථයෙහි යෙදේ. සතසො සිය ආකාරයකින්, සහස්සො - දහස් ආකාරයකින් ආදිය මෙනි. එනිසා යම් ආහාරයක් නොයෙක් සිය ගණන් සූප ව්යංජන එක්කර නානාවිධ රසයෙන් යුතුව සාදනු ලැබේද එය “සතරස” නාමයෙන් හැඳින්වේ යැයි ද කියති. “නානාවිධ රස ඇති ආහාරය” යන අර්ථයයි. දෙවියන්ගේ ම ආහාරය සුධා භෝජනයයි. දෙවියන් වළඳනුයේ එයයි. “සුධන්නං” යනු එයයට. “යං මයං අජ්ජ පරිභුත්තං” යම් ආහාරයක් මවිසින් අද පරිභෝජනය කරන ලද ද ඒ මේ සතරස භෝජනයයි. සුධා ආහාරය ද මෙතැනට යෙදිය යුතුයි. මෙම ගාථාවේ අර්ථය මෙසේය. “මවිසින් දැන් නිරෝධ සමාපත්තියට සමවැදීම් වශයෙන් ද ඵල සමවතට සමවැදීම් වශයෙන් ද අතිශයින් ශාන්ත - ප්රණීත වූ නිවන් සුව කැමති සේ, අභිමත සේ, නුවණැත්තන් විසින් අගය කරන සේ අද විඳිනු ලැබෙත් නම් ද එබඳු වූ සුවයක්; පෙර රජව සිටියදී මා අනුභව කළ සතරස භෝජනයෙන් හෝ දේවාත්මභාවය ලබා සිටියදී අනුභව කළ සුධා භෝජනයෙන් හෝ නොලැබුණි. කුමක් නිසාද? මේ නිවන් සුවය ආර්යයන් විසින් සේවනය කරන ලද්දකි. නිරාමිෂ වූවකි. කෙලෙසුන් නොපවතින තැනකි. සතරස ආදී භෝජන පුහුදුන් පුද්ගලයන් විසින් සේවනය කරන ලදි. ආමිෂ සහිතය. කෙලෙසුන්ගෙන් ගහනය. ඒ ආහාර වළඳන සුවය, මේ නිවන් සුවයෙන් අඩක්වත්, දාසයෙන් කොටසක්වත්, සොළොස් කලාවෙන් කලාවක් වත් නො වටී. සම නොවේ. “දැන් අද මවිසින් යමක් වළඳන ලද ද” යනුවෙන් පැවසූ දහම අප්රමාණ වූ ඥාන සාගරයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ දහමකැයි පවසයි. අප්රමාණ වූ, පිරිසිඳ වෙන් කර නොදැක්විය හැකි, ඉපදීම් - නැසීම් දෙකින් දුරු වූ, අනන්ත වූ, අසංඛත නම් නිර්වාණ ධාතුව සිය නුවණින් තමන් වහන්සේම දැක, අප්රමාණ අනන්ත ඥාන සාගරය අවබෝධ කරගත් බැවින් උන්වහන්සේ “අපරිමිත දස්සිනා ගොතමෙන” නම් වේ. ගෞතම ග්රෝතයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “ඛයං විරාගං අමතං පණීතං” යනාකාරයෙන් මද - ප්රමාද දුරු කරන, පිපාස දුරු කරන, සියලු සංස්කාර ධර්ම සන්සිඳුන ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ මනාව දෙසන ලද ධර්මය අනුව විස්තර කෙරෙන නුවණ අද මවිසින් අවබෝධ කර ගන්නා ලදි.” යනුවෙන් අර්ථ දත යුතුයි.