ඡන්න ස්ථවිරගාථා වර්ණනාව
“සුත්‍වාන ධම්මං මහතො මහාරසං” යනු ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනාවන් ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින් රැස්කළහ. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුකුමරෙක්ව ඉපිද වැඩිවියට පත්ව; දිනක් එම සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ එක්තරා රුක්මුලක වැඩහිඳුණු දැක; පැහැදුණු සිතින් මුදු වූ පහස් ඇති තණ ඇතිරිල්ලක් අතුරා පූජා කළේය. හාත්පස මල් ද විසුරුවා පූජා පැවැත්වීය. ඒ මහා පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් පින් කොට කාම සුගතීන්හිම සැරිසරා, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සුදොවුන් මහ රජුගේ දාසියකගේ කුස උපන්නේය. “ඡන්න” නාමයෙන් බෝධිසත්ත්‍වයන් උපන් දිනම උපන්නා වූ ඔහු; පසුව ශාස්තෲන් වහන්සේ කිඹුල්වතට වැඩම වූ අවස්ථාවෙහි ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වූයේය. භාග්‍යවතුන් වෙත අප්‍රමාණ ප්‍රේමයෙන් “බුදුහු අපගේය. ධර්‍මය අපගේය” යනුවෙන් මමත්‍වය උපදවා ගෙන, ඒ දැඩි වූ සෙනෙහස සිඳ ගැනීමට නොහැකිව මහණදම් නිසිපරිදි නොපිරීය. ශාස්තෲන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගෙන් අණ ලැබූ ලෙසම බ්‍රහ්ම දණ්ඩනය දීමෙන් සන්ත්‍රාසයට, සංවේගයට පත් කරන ලද ඡන්න හිමියෝ එම දැඩි සෙනෙහස සිඳ දමා විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙලෙස පැවසූහ -
“මම සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට පන් ඇතිරිල්ලක් දුන්නෙමි. හාත්පස අසෙනිය මල් අතුරා පිදුවෙමි.
මෙබඳු ගුණ ඇති සිත් කලු මහාර්ඝ වූ ප්‍රාසාදයක් ලැබූ මාගේ ඇඳෙහි අනගි පුෂ්පයෝ නිති වැගිරෙති.
දිව සැප ලැබු මම විසිතුරු මල් අතුළ සයනයෙහි සැතපුනෙමි. එකෙණෙහි සයනයෙහි මල් වැසි වසින්නේය.
මීට කල්ප අනූ හතරකට පෙර පන් ඇතිරිල්ලක් පූජා කිරීමේ පිනින් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඇතිරිලි දානයේ විපාකය මෙබඳුය.
මෙයින් පස් වන කල්පයකට පෙර සත් රුවනින් හෙබි මහ බලවත් තිණ සන්‍ථාරක නම් සක්විති රජවරු සත් දෙනෙක් ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙසුන් නැසුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ ඡන්න තෙරණුවෝ විමුත්ති සුවයෙන් සන්තර්පිත වූ ප්‍රීතිය නිසා උදන් අනමින් මේ ගාථාව වදාළහ.
“සුත්‍වාන ධම්මං මහතො මහාරසං,
සබ්බඤ්ඤුතඤ්ඤාණවරෙන දෙසිතං,
මග්ගං පපජ්ජිං අමතස්ස පත්තියා,
සො යොගක්ඛෙමස්ස පථස්ස කොවිදො”
එහි “සුත්‍වාන” යනු අසා, කණින් ගෙන, යොමුකළ කන් ඇතිව සිතට ගෙන “ධම්මං” යනු චතුරාර්ය සත්‍යය ධර්‍මයයි. “මහතො” යනු භාග්‍යවතුන් වහන්සේගෙන්, උන්වහන්සේ මහත් වූ උළාර වූ සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ බැවින් දෙවියන් සහිත ලෝවැස්සා විසින් විශේෂිත වූ පිදියයුතු වූ බැවින් “මහා” යනුවෙන් නම් වෙති. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ යන “මහාසමණ” නාමය ද උන්වහන්සේට යෙදේ. මෙය පංචමී විභක්ති වචනයකි. “භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්‍මය අසා” “මහාරසං” යනු විමුක්ති රසයට දායක වූ බැවින් මහත් රසැති “සබ්බඤ්ඤුතඤ්ඤාණවරෙනදෙසිතං” යනු සියල්ල දැන සර්‍වඥ වූ බව “සබ්බඤ්ඤුතා” නම් වේ. ඒ උතුම් වූ ඥානය ම ඥානයන් අතර ශ්‍රේෂ්ඨ වූ උතුම් ඥානය. එම උතුම් වූ සර්වඥ ඥානය ඇති පුද්ගලයා “සබ්බඤ්ඤුතඤ්ඤාණවර” නම් වේ. එනම් භාග්‍යවතුන් වහන්සේය. “උන්වහන්සේ විසින් සර්‍වඥතා ඤාණය නම් වූ අග්‍ර ඤාණයෙන් හෝ ඊට උපකාරවන සේ දෙසු, කියූ දහම් අසා යනුවෙන් අර්ථය දත යුතුයි. මෙහිදී විස්තර කළ යුතු සියල්ල පරමත්‍ථදීපනී නම් වූ ඉතිවුත්තක අටුවාවෙහි පැවසූ පරිදි දතයුතුයි. “මග්ගං” යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. “පපජ්ජිං” යනු පිළිපැද්දෙමි. “අමතස්ස පත්තියා” යනු නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතුවන ප්‍රතිපදාව පිළිපැද්දෙමි. “සො” යනු ඒ භාග්‍යවතුන් වහන්සේ “යොගක්ඛෙමස්ස පථස්ස කොවිදො” යනු සතර යෝගයන්ගෙන් උපද්‍රව නොවූ නිවණට යන යම් මාර්ගයක් වේ නම් ඒ මාර්ගයේ යෙදීමට දක්‍ෂ වූ, කුසල සම්පන්න වූ, මේ ගාථාවේ අර්ථ මෙසේය. - භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය දේශනවා අසා නිවන අවබෝධ කර ගැනීමට හේතුවන මාර්ගයට මම පිළිපන්නෙමි. පිළිපැදීමට අවශ්‍ය මාර්ගය මවිසින් සිදුකරන ලදි. ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍රකාරයෙන් ම යෝගක්‍ෂේම වූ නිර්‍වාණ මාර්ගයෙහි නිපුණයහ. අනුන්ගේ සන්තානයේ හෝ අනුන්ගේ සිත්වල ඇති දේ දැකීමෙහි කුසලයහ, දක්‍ෂයහ. “යම් මාර්ගයක උන්වහන්සේ ගමන් කළසේක් ද මම ද එහි ගමන් කළෙමි” යන මේ අර්ථවත් ගාථාවෙන් ම ඡන්න තෙරණුවෝ සිය රහත්බව ප්‍රකාශ කළහ.
ඡන්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.