පුණ්ණ ස්ථවිරගාථා වර්ණනාව
“සීලමෙව” යනු ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නිවන් පතා ගෙන කුසල් දහම් රැස්කර ගත්සේක්, මීට කල්ප අනූ එකකට පෙර බුදුවරුන්ගෙන් ලොව ශූන්‍ය වූ කාලයක බමුණු කුලයක උපන්හ. වැඩිවියට පත් ව සියලු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් හි නිෂ්පත්තියට හෙවත් කෙළවරට ගොස්, කාමයන් හි ආදීනව දුටු මේ බමුණු තරුණයා; ගිහි ගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි පන්සලක් සාදාගෙන වාසය කළේය. ඔහු වසන තැනට ඉතා නුදුරු තැනෙක එක් පර්වත ගුහාවක පසේ බුදුවරයන් වහන්සේ නමක් ආබාධිතව පිරිනිවන් පෑ සේක. එසේ පිරිනිවෙන මොහොතෙහි මහත් වූ ආලෝකයක් දසදෙස පැතිරුණේය. එය දුටු තවුසා “කෙසේ ද මේ ආලෝකය ඇතිවූයේ? යනුවෙන් විමසනු සඳහා ඔබිනොබ ඇවිද, බලනුයේ ගුහාවෙහි පසේ බුදුන් පිරිනිවි බව දුටුවේය. සුවඳ දර ඒ ඒ තැනින් රැස්කරගත් ඔහු, එම සිරුර දවා සුවඳ දිය ඊට ඉස්සේය. මෙම සිදුවීම දුටු එක් දිව්‍ය පුත්‍රයෙක් අහසෙහි හිඳ “මැනවි, මැනවි සත්පුරුෂය! ඉතා මැනවි. නුඹ විසින් සුගතිගාමී වීම සඳහා බොහෝ පින් රැස්කරගත්තෙහිය. එනිසා නුඹ අනාගතයේ කාම සුගතීන් හි ම උපදින්නේය. ඔබ මතු පුණ්ණ නමින් ප්‍රකට වන්නෙහිය.” යනුවෙන් පැවසීය. ඒ තාපසතුමා එසේ කළ පින් ඇතිව කාමසුගතීන් හි සැපවිඳ අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි, සුණාපරන්ත නම් ජනපදයේ සුප්පාරක පටුනෙහි ගහපත් කුලයක ඉපදුණි. පුණ්ණ නමින් ප්‍රකට වූ මේ සිටු පුත්‍රයා වෙළඳාම පිණිස මහත් වූ ගැල් රැසක් ගෙන සැවැත් නුවරට ගියේ ය. එසමයේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. පුණ්ණ සිටුපුත් සැවැත් නුවර උපාසකයන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. වත් පිළිවෙතින් ආචාර්ය උපාධ්‍යාය සිත් සතුටු කල පුණ්ණ හිමියෝ, එක් දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, “භාග්‍යවතුන් වහන්සේ! ඔබවහන්සේ මා හට ඉතා සංක්ෂිප්ත අවවාදයක් - සුණ්ණාපරන්ත ජනපදයේ වෙසෙන මා හට ඉතා යෝග්‍ය වූ උපදෙසක් දෙන්නේ නම් මැනවි” යනුවෙන් ආරාධනා කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, “පුණ්ණය! නුඹට චක්ඛු විඤ්ඤෙය්‍ය වූ (ඇසින් දතයුතු වූ) රූපයෝ වෙති” යනාදී වශයෙන් අවවාද දී සිංහනාද කරවා පුණ්ණ තෙරුන් පිටත් කර හැරි සේක. භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන සුණාපරන්තයට ගිය පුණ්ණ හිමියෝ, එහි සුප්පාරක පටුනේ වැඩ වසමින් සමථ විදර්ශනා භාවනාවන් වඩා ත්‍රිවිද්‍යාවන් අවබෝධ කරගත් සේක.
උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේ බුදුරජාණන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක්, පර්වතකූට පබ්භාරයක පර්වත අතරෙහි වැඩ වසන සේක.
එකෙණෙහි මගේ අසපුව හාත්පස මහත් වූ නාදයක් විය. බුදුරදුන් පිරිනිවි මොහොතෙහි මහත් ආලෝකයක් පැතිරුණි.
ඒ මොහොතේ වනයේ සිටි වලස්, වෘක, කළු හිස් වලස් ව්යාඝ්ර සිංහා දී සියලු සත්ත්වයෝ නාද කළහ.
මම ඒ භූත විකෘතිය දැක පසේ බුදුන් වැඩ සිටි පර්වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ පසේ බුදුරදුන් දුටුවෙමි.
සුපිපි සල් රුකක් වැනි වූ උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් වන් පිරිනිවි පසේ බුදුන්ට තණ ද දර ද පුරවා චිතකයක් සැදුවෙමි. මැනවින් සෑදු එම සෑයෙහි බුදුසිරුර දැවුයෙමි.
දැවු සිරුරෙහි සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්ෂයෙක් මා හට නමක් තැබීය.
“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ බුදුරදුන්ගේ ආදාහනය නුඹ සම්පූර්ණ කළෙහිය. මුනිවරය! නුඹ සැම කල්හි නමින් පුණ්ණ වේවා.”
මම ඒ තාපස වෙස් හැර දෙව්ලොව උපන්නෙමි. අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
එහි දී ද මාගේ නම පුණ්ණ විය. දෙවි වූ සේක් මිනිස් වූ සේක් මාගේ අදහස් සම්පූර්ණ වූයේය.
මේ මාගේ අවසන් ආත්ම භාවයයි. මෙහි දී ද මම පුණ්ණ නාමය ලැබුවෙමි.
ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් සතුටු කොට සියලු ආශ්‍රව දැන, ඒ ආශ්‍රව සුවසේ වෙසෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් කර්මයක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ශරීරාදාහන පින්කමේ විපාක මෙයයි.
සියලු කෙලෙස් දවන ලද මාගේ සියලු භව උප්පත්ති නැසුවෙමි. අනාශ්‍රව වූයේ සුවෙන් වෙසෙමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මාගේ යහපත් පැමිණීමකි. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ තෙරුන් වහන්සේ බොහෝ මිනිසුන් සසුනෙහි බෙහෙවින් පැහැද වූහ. පන්සීයක් පමණ පුරුෂයෝ ද එපමණ ම ස්ත්‍රීහු ද උන්වහන්සේගේ උපාසක උපාසිකා බවට පත්වූහ. එහි දී රත්සඳුන් දැවයෙන් “චන්දන සාලා” නම් ගඳකිලියක් කරවු පුණ්ණ තෙරණුවෝ, “ශාස්තෲන් වහන්සේ පන්සීයක් සමග අවුත් මේ ශාලාව පිළිගනිත්වා” යි භාග්‍යවතුන් වහන්සේට මල් දූතයෙකු මගින් ආරාධනා කළහ. භාග්‍යවතුන් වහන්සේ සෘද්ධි ආනුභාවයෙන් පන්සීයක් භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන, එහි ගොස් චන්දන ශාලාව පිළිගෙන, අරුණ නැගීමට පළමුව ම නැවත ජේතවනයට ම වැඩම කළ සේක. ඊට පසු කාලයක පිරිනිවෙන මොහොතේ දී පුණ්ණ තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කරමින් මෙම ගාථාව වදාළසේක.
“සීලමෙව ඉධ අග්ගං - පඤ්ඤවා පන උත්තමො,
මනුස්සෙසු ච දෙවෙසු - සීල පඤ්ඤාණතො ජයං”
මනුස්සෙසු ච දෙවෙසු - සීල පඤ්ඤාණතො ජයං”
එහි “සීලං” යනු හික්මීම් අර්ථයෙන් සීලයයි. පිහිටන, සමාදන් වන අර්ථවලින් ද “සීල” නම් වේ. සීලය යනු සියලු ගුණයන්ගේ පිහිටීම යි. එනිසා “ඉතා නුවණැති මිනිසා සීලයෙහි පිහිටා සිට” යනුවෙන් කියන ලදි. සමාදන් වේ, කය වචන යන ද්වාර දෙක සංවර කරයි යන අර්ථ ගෙන දේ. එම සීලය ම සියලු ගුණයන් ට මූලික වූ බැවින් ද ප්රමුඛ වූ බැවින් ද අග්‍රවේ. “එනිසා මහණ! නුඹ වහන්සේ මුලදීම පිරිසිදු විය යුත්තේහිය. කුසල ධර්මයන්ට කුමක් මුල් වන්නේ ද? සුවිසුද්ධ වූ ශීලය ම මුල්වේ.” මුඛ්‍ය වූ ප්රමුඛ වූ මෙය ප්රාතිමෝක්ෂයැයි වදාළ පරිද්දෙනි. “ඉධ” යනු නිපාතයක් පමණි. “පඤ්ඤවා” යනු ඤාණයෙන් යුක්ත වූ ඒ උතුම්, ශ්‍රේෂ්ඨ, ප්‍රවර පුද්ගලයා පුද්ගල අධිෂ්ඨානය පිණිස වදහළ ගාථාවෙන් ප්‍රඥාවෙන් ම ශ්‍රේෂ්ඨ බව දක්වයි. කුසල දහම් සඳහා ද ප්‍රඥාව උතුම් වේ. දැන් ඒ සීලයේ ද ප්‍රඥාවේ ද අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවෙන් යුත් පුද්ගලයා ජය ගනියි.” යනුවෙන් සීල, ප්‍රඥා දෙක නිසා විරුද්ධ වූවන් ජය ගැනීම ද කාම කෙලෙස් ජය ගැනීම ද වේයැයි දක්වයි.