ඒකූදානිය ස්ථවිරගාථා වර්ණනාව
“අධිචෙතසො අප්පමජ්ජතො” යනු ආයුෂ්මත් එකුදානිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින්දහම් රැස් කරගත්හ. අත්‍ථදස්සි නම් භාග්‍යවතුන් වහන්සේ දවස යක් සෙන්පතියෙක් ව ඉපිද, උන්වහන්සේ පිරිනිවි හෙයින් “මට වූයේ අලාභයකි. මට වූයේ නොලැබීමකි. ශාස්තෲන් වහන්සේ දිවමන්ව සිටිය දී දානාදී කිසිදු පින්කමක් සිදුකරගත නොහැකි වූයෙමි” යනුවෙන් ශෝක පරිදේවයන්ට පැමිණියේය. එය දුටු සාගර නම් බුද්ධශ්‍රාවකයාණෝ මෙම යක්‍ෂ සෙන්පතියාගේ දුක්ශෝක දුරුකරවා, ශාස්තෲන් වහන්සේගේ ථූපය වන්දනා කිරීමට යෙදවූහ. එම යක්සෙනෙවි පස් වසරක්ම ථූප පූජාවේ නියැලී ඉන් චුතව, එපින් බලෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු වරින් වර බුද්ධෝපස්ථාන යට ගියේය. එසමයේ ශාස්තෲන් වහන්සේ දිනපතා “අධිචෙතසො” යන ගාථාවෙන් තම ශ්‍රාවකයන්ට අවවාද දෙනු ඇසුවේය. එම ගාථාව අසා උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ සිටුකුමරු නැවත නැවත එම ගාථාවම සිහි කරමින් මහණදම් පිරුවේය. උන්වහන්සේ නුවණ මුහුකුරා නොගිය බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් වූහ. ඉන් චුතව දෙව්ලොව ඉපිද කාමසුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ සැවැත්නුවර මහත් ධනවත් බමුණු පවුලක ඉපිද විය පැමිණියේය. ජේතවනාරාමය පිළිගත් සමයෙහි බුද්ධානුභාවය දැකීමෙන් උපන් ශ්‍රද්ධා ඇති මේ බමුණු තරුණයා සසුනේ පැවිදි විය. කරන ලද පූර්‍ව කටයුතු ඇති උන්වහන්සේ අරණ්‍යයෙහි වෙසෙමින් සිට දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණියහ. එදින ශාස්තෲන් වහන්සේ, තම සමීපයේ උසස් සමාධියෙහි සිත පිහිටුවාගෙන වැඩසිටි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දැක, “අධිචෙතසො” යන මේ ගාථාව වදාරමින් උදන් ඇනූසේක. එය ඇසූ මෙම තෙරණුවෝ තමා පෙර බොහෝ කාලයක් මෙම ගාථාව පුරුදුකළ බැවින් අරණ්‍යයෙහි වෙසෙමින් එම ගාථාව නිතර පැවසූහ. මෙනිසා උන්වහන්සේ “එකුදානියේ” යන නමින් ප්‍රකටවූහ. මෙසේ කාලය ගෙවූ උන්වහන්සේ එක දිනක් සිත එකඟ කරගෙන විදසුන් වඩා රහත්ඵලය ලබාගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“යසසට පත් වූ මම අත්‍ථදස්සි බුදුරදුන් පිරිනිවීමට අනතුරුව යක්‍ෂයෝනියෙහි උපන්නෙමි.
එකල්හි මම මෙසේ සිතුවෙමි. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවිසේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු හිරු නැගීමකි.
මෙසේ සිතන මාගේ අදහස දැනගත් සාගර නම් ශ්‍රාවකයෙක් දැනගෙන, මා ගොඩගනු කැමතිව මා සමීපයට මෙසේ පැවසීය.
“නුවණැති පින්වත! කවර හේතුවකින් ශෝක කරන්නේ ද? බිය නොවනු මැනවි. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරදුන් විසින් සෑම දෙනාටම කුශල බීජ සම්පත්තිය නැවත නැවත දෙන ලදි.
යමෙක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවි බුදුරදුන්ගේ අබෑටක් පමණ වූ ධාතූන් වහන්සේ නමක් හෝ පුදන්නේ නම්, ඒ සෑම විටකම චිත්ත ප්‍රසාදය සමව පවතින්නේ නම් ලැබෙන පින එක හා සමානය.”
මෙසේ පැවසූ සාගර තෙරණුවන්ගේ වදන් ඇසූ මම සර්‍වඥ සෑයක් සෑදුවෙමි. බුදුරදුන්ගේ ඒ උතුම් සෑය මම වසර පහක් ම පිදුවෙමි.
ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කල එම මහා පින්කම හේතුවෙන් සම්පත් අනුභව කොට රහත් වූයෙමි.
මෙයින් සත් සිය වන කල්පයේ සත් රුවන් සහිත මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සක්විති රජෙක්ව සිවුවරක් උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් නැසූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්ව විමුක්ති සුවයෙන් කල් යැවූ; ආයුෂ්මත් ධර්‍මභාණ්ඩාගාරික තෙරුන් විසින් ප්‍රතිභානය විමසීම සඳහා “ඇවැත්නි! මා හට ධර්‍මය කියන්න”යි ආරාධිත වූ; ඒකුදානිය තෙරණුවෝ බොහෝ කාලයක් පුරුදු කරන ලද බැවින්
“අධිචෙතසො අප්පමජ්ජතො මුනිනො මොන පථෙසු සික්ඛතො,
සොකා න භවන්ති තාදිනො උපසන්තස්ස සදා සතීමතො”
යන මේ ගාථාවම වදාළහ.
එහි “අධිචෙතසො” යනු උසස් සිත් ඇති, සියලුම චිත්තයන්ට වඩා ඉහළ වූ අර්හත්ඵල චිත්තයෙන් යුක්ත වූ යන අර්ථයයි. “අප්පමජ්ජතො” යනු ප්‍රමාද නොවන, අප්‍රමාදීව නිවරද ධර්‍මයන්හි පසුබට නොවීමෙන් යුක්ත වූයේ යැයි කියන ලදි. “මුනිනො” යනු “යමෙක් දෙලොව මනාව අවබෝධ කරගනියි ද හේ “මුනි” නම්වේ. යන පරිදි මෙලොව පරලොව යන දෙලොව මනාව අවබෝධ කරගන්නා “මෝන” නම් ඥානයෙන් යුතු ඒ අර්හත් ඵල ප්‍රඥාව නම්වූ මෝන ධර්‍මතාවයෙන් සමන්විත වූ හෙයින් රහතන් වහන්සේ ද “මුනි” නම් වේ. ඒ මුනිවරයාට, “මොනපථෙසු සික්ඛතො” යනු අරහත් ඤාණ සංඛ්‍යාත වූ මොන් පථයෙහි, උපාය මාර්ගයෙහි, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන් හි, ඒ ශික්‍ෂා පදයන්ගෙන් හික්මුණු මෙහිදී පූර්වභාග ප්‍රතිපදාව ගෙන දක්වයි. – “රහත් බව නම් ශික්‍ෂාවන්ගේ පරම නිෂ්ඨාවයි.” එනිසා මෙසේ හික්මුණු, මේ ශික්‍ෂා මාර්ගයෙන් මුනිභාවයට පත්වූ මුනිවරයාට යනුවෙන් අර්ථ දතයුතුයි. සිත දියුණු කිරීම් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵල සිත් ලැබීම් වශයෙන්, “උසස් වූ ආර්ය සිත්වල චතුරාර්ය සත්‍යය ධර්‍මය අවබෝධ කරගැනීමේ පිළිවෙතෙහි අප්‍රමාදීව යෙදුණු, ආර්ය, අග්‍ර මාර්ග ඤාණයන්ගෙන් යුක්ත වූ මුනිවරයාට” යනුවෙන් සම්ප්‍රදාන අර්ථය මෙහිදී ගැලපේ. නැතහොත් ශික්‍ෂාවන්හි අප්‍රමාදීවීමෙන් ප්‍රමුඛ හේතුව (කාරණ) වූ රහත්ඵලය ලැබීම කියනලදැයි දතයුතුයි. එනිසා අප්‍රමාදී හේතුව ද හික්මීම් - හේතුවද උසස් සිත්, “අධිචිත්ත” යැයි අර්ථවත් වේ.