ඒකධම්මසවනීය ස්ථවිරගාථා වර්ණනාව
“කිලෙසා ඣාපිතා මය්හං” යනු ආයුෂ්මත් ඒක ධම්මසවණිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? එම තෙරුන් පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේදී රුක් දෙවියෙක්ව උපන්නේ ය. භික්ෂූන් කීප නමක් මංමුලාව මහකැළයේ වාසය කරනු දුටු එම දෙවියා, උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් තම භවනයෙන් බැස, උන්වහන්සේලා සනසවා, වළඳවා කැමති තැනටම වැඩම කරවීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිසුන් අතරෙහි සැරිසරා අවුත් කාශ්යප භාග්යවතුන් වහන්සේ බුදුකිස නිමවා පිරිනිවි කාලයේ දී රජ කුලයේ උපන්නේ ය. බුදුපිරිනිවණ සිදුවූ කාලයේ බරණැස කිකී නම් රජු රජකළේය. ඔහු කළුරිය කල කල්හි ප්රථ්රවින්දර නමින් ඔහුගේ පුතු රජවිය. ඔහුගේ පුතා සුයාම රජුය. සුයාම රජුගේ පුත්රයා වූ කිකී බ්රහ්මදත්ත නාමයෙන් උපන් ඉහත කී පින්වත් කුමරුගේ රාජ්ය සමයේ බුදුසසුන පිරිහී තිබුණි. ධර්මශ්රවණයන් පවා නොවිණි. “යමෙක් දහම් පදයක් දෙසන්නේ නම් ඔහුට රන් ලක්ෂයක් දෙමි”යි අණබෙර ගැසුවත් කිසිදු ධර්මදේශකයෙක් හමුනොවිණි. රජු “මගේ පිය මුතුන් මිත්තන්ගේ කාලයේ ධර්මය පැවතුණි. ධර්ම කථාවන් සුලභ විය. දැන් සිවුපස ගාථාවක්වත් පවසන්නෙකු පවා දුර්ලභය. මේ “ධර්මය” නම් සංඥාව අතුරුදන්වීමට පළමුව පැවිදිවෙමි”යි සිතා රජකම හැරදමා හිමවත බලා ගියේය. මෙය දුටු ශක්රයා වහාම අවුත් “අනිච්චා වත සංඛාරා” යන (සියළු සංඛත ධර්ම අනිත්ය වේ) සිවුපස ගාථාව කියා රජුගේ ආශාව සන්සිඳුවා නැවත රාජ්යයෙහි පිහිටුවීය. ඒ රජු නැවතී බොහෝ පින්දහම් කොට කාම සුගතීන් හිම සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සේතව්ය නුවර සිටුකුලයක ඉපදුණේය. වියට පත් වූ සිටුකුමරු භාග්යවතුන් වහන්සේ සේතව්ය නුවර සිංසපා වනයේ වැඩ වසන සමයේදී උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියේය. ඔහුගේ සිත වටහා ගත් බුදුරජාණන් වහන්සේ “අනිච්චා වත සංඛාරා” යන ගාථාවෙන් ම ධර්ම දේශනා කළසේක. ඒ ගාථාව සංසාරික වශයෙන් කළ පුහුණුවීම් ඇති බැවින් ඔහුට අනිත්ය සංඥාව ඉතා ප්රකටව අවබෝධ විය. ඉන් ලබන ලද ශ්රද්ධාව ඇතිව සංවේග උපදවා සසුනේ පැවිදි වූ සිටු කුමරු ධර්ම දේශනාවෙහිම සිත පිහිටුවා ගත්තේය. දුක්ඛ - අනිත්ය සංඥාවන් ම මෙනෙහි කරමින් විදසුන් භාවනාවට සිත යොමුකළ එම තෙරණුවෝ රහත්බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයෝ වනයේ හැසිරෙන්නාහු මහවනයේ මංමුලාවූවාහු අන්ධයන් මෙන් ඒ මේ අත හැසිරෙති.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේද එම මහවනයේ මං මුළාවූ ශ්රාවකයන් ද සිහිපත් කළ මම භවනයෙන් බැස ඒ භික්ෂූන් වහන්සේලා වෙත පැමිණියෙමි. උන්වහන්සේලාට නිවැරදි මග පෙන්වා දී ආහාර පානද පිළිගැන්වූයෙමි.
ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා කළ ඒ මහා පුණ්යකර්මය හේතුවෙන් මම දැන් සත් හැවිරිදි වූයේ ම රහත් ඵලය සාක්ෂාත් කළෙමි.
මෙයින් කල්ප පන්සීයකට පෙර සත්රුවනින් හෙබි සචක්ඛු නම් වූ සක්විති රජවරු දොළොසක් වූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
උන්වහන්සේ එකම ධර්මශ්රවණයකින් කළයුතු කටයුතු නිමවා රහත් වූ හෙයින් ඒකධම්ම සවණීය නාමයෙන් ප්රකට වූහ. රහත් බවට පත්වූ උන්වහන්සේ මෙසේ සිය අර්හත්වය ප්රකාශ කළසේක.
“කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමුහතා,
වික්ඛිණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවො” - යන ගාථාව පැවසූහ.
වික්ඛිණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවො” - යන ගාථාව පැවසූහ.
එහි අර්ථය - “මා විසින් සියලු කෙලෙස් නසන ලදි. සියලු කාමාදී භව නසන ලදි. ජාති සංසාරය විශේෂයෙන්ම ක්ෂය විය. දැන් පුනර්භවයක් නැත.”
එහි “කිලෙසා” යනු යමෙකුගේ සන්තානයේ ඉපිද එය කෙලෙසන, හානිකරන තවන, පීඩාවට ලක් කරන රාගාදි ධර්ම ක්ලේශයෝ කෙලෙස් නම් වේ. “ඣාපිතා” ගස් - පැල ආදිය වන ගින්නෙන් පිළිස්සෙන්නාක් මෙන් ආර්ය මාර්ග ඤාණ නම් ගින්නෙන් මුල් සහිතව ම කෙලෙස් දවන ලදි. “මය්හං” යනු මවිසින්, මගේ සන්තානයේ, “භවො සබ්බෙ සමුහතා” යනු කාම, කර්ම භවාදී සියලු භව නසන ලද බැවින්, කෙලෙසුන් දවන ලද කල්හි කෙලෙස් නිසා සසර පැවැත්මත්, කර්ම නිසා පැවැත්මත් නසන ලදි. කර්ම භවයන්ගේ උපත නසන ලදි. උප්පත්තිභව ද නසන ලද්දේමය. නූපදනා ධර්ම ස්වභාව කරගත් බැවින් නැවත මෙලොවට පැමිණීම විශේෂයෙන් ක්ෂය කරන ලදි. සංසාරික උපත, ජාතිය නැති කරන ලදි.
“ස්කන්ධයන්ගේ අඛණ්ඩ පැවැත්මත් ධාතු, ආයතනාදියේ නොනවත්වා පැවැත්මත්, නැවත නැවත පැවතීමත් “සංසාරය” යැයි කියනු ලැබේ.
මෙසේ වූ ලක්ෂණ ඇති සංසාරය විශේෂයෙන් ක්ෂය (නැති) කරන ලදි. එහි - සා “නත්ථිදානි පුනබ්භවො” යනුවෙන් නැවත උපතක් නොමැතිව, ජාති සංසාරික පැවැත්ම විශේෂයෙන් ක්ෂය කළ බැවින් පුනර්භවයක් (නැවත වීමක්) නැත්තේමය. “සියලු ම භව නසන ලද” බැවින් නැවත පෙරළී පැවතිය යුතු වූ ස්වභාව ඇති ජාති සංසාරය වෙසෙසින් නසන ලදි. එනිසාම දැන් මින් මතු පුනර්භවයක් නැතැයි යෙදිය යුතුයි.
ඒක ධම්ම සවණිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ඒකූදානිය ස්ථවිරගාථා වර්ණනාව
“අධිචෙතසො අප්පමජ්ජතො” යනු ආයුෂ්මත් එකුදානිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්රාර්ථනා ඇති ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින්දහම් රැස් කරගත්හ. අත්ථදස්සි නම් භාග්යවතුන් වහන්සේ දවස යක් සෙන්පතියෙක් ව ඉපිද, උන්වහන්සේ පිරිනිවි හෙයින් “මට වූයේ අලාභයකි. මට වූයේ නොලැබීමකි. ශාස්තෲන් වහන්සේ දිවමන්ව සිටිය දී දානාදී කිසිදු පින්කමක් සිදුකරගත නොහැකි වූයෙමි” යනුවෙන් ශෝක පරිදේවයන්ට පැමිණියේය. එය දුටු සාගර නම් බුද්ධශ්රාවකයාණෝ මෙම යක්ෂ සෙන්පතියාගේ දුක්ශෝක දුරුකරවා, ශාස්තෲන් වහන්සේගේ ථූපය වන්දනා කිරීමට යෙදවූහ. එම යක්සෙනෙවි පස් වසරක්ම ථූප පූජාවේ නියැලී ඉන් චුතව, එපින් බලෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා කාශ්යප භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු වරින් වර බුද්ධෝපස්ථාන යට ගියේය. එසමයේ ශාස්තෲන් වහන්සේ දිනපතා “අධිචෙතසො” යන ගාථාවෙන් තම ශ්රාවකයන්ට අවවාද දෙනු ඇසුවේය. එම ගාථාව අසා උපන් ශ්රද්ධාවෙන් පැවිදි වූ සිටුකුමරු නැවත නැවත එම ගාථාවම සිහි කරමින් මහණදම් පිරුවේය. උන්වහන්සේ නුවණ මුහුකුරා නොගිය බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් වූහ. ඉන් චුතව දෙව්ලොව ඉපිද කාමසුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ සැවැත්නුවර මහත් ධනවත් බමුණු පවුලක ඉපිද විය පැමිණියේය. ජේතවනාරාමය පිළිගත් සමයෙහි බුද්ධානුභාවය දැකීමෙන් උපන් ශ්රද්ධා ඇති මේ බමුණු තරුණයා සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති උන්වහන්සේ අරණ්යයෙහි වෙසෙමින් සිට දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණියහ. එදින ශාස්තෲන් වහන්සේ, තම සමීපයේ උසස් සමාධියෙහි සිත පිහිටුවාගෙන වැඩසිටි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දැක, “අධිචෙතසො” යන මේ ගාථාව වදාරමින් උදන් ඇනූසේක. එය ඇසූ මෙම තෙරණුවෝ තමා පෙර බොහෝ කාලයක් මෙම ගාථාව පුරුදුකළ බැවින් අරණ්යයෙහි වෙසෙමින් එම ගාථාව නිතර පැවසූහ. මෙනිසා උන්වහන්සේ “එකුදානියේ” යන නමින් ප්රකටවූහ. මෙසේ කාලය ගෙවූ උන්වහන්සේ එක දිනක් සිත එකඟ කරගෙන විදසුන් වඩා රහත්ඵලය ලබාගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -