මේඝිය ස්ථවිරගාථා වර්ණනාව
“අනුසාසි මහාවීරො” යනු ආයුෂ්මත් මේඝිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී කුසල් දහම් රැස්කරගත උන්වහන්සේ; මෙයින් කල්ප අනූ දෙකකට පෙර පහළ වූ විපස්සි බුදුරජාණන් වහන්සේගේ දවස සිටුගෙයක උපන්හ. වියට පැමිණ සිටි සමයේදී විපස්සි භාග්‍යවතුන් වහන්සේ සියලු බුද්ධකෘත්‍යයන් නිමවූසේක් ආයුසංස්කාරය අත්හළ සේක. ඉන් පොළෝ කම්පාවීම් ආදිය ඇතිවූ විට මහජනයා බියට තැතිගැනීමට පත්විය. එවිට වෙසවුණු මහරජතුමා ඊට හේතු පවසා ජනයාගේ සැක බිය දුරු කළේය. එම කාරණය ඇසූ මහජනයා සංවේගයට පත්විය. මේ කුලපුත්‍රයා ද බුද්ධානුභාවය අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපදවාගත් ගෞරව බහුමානයෙන් යුතුව මහත් වූ ප්‍රීති සොම්නසක් වින්දනය කළේය. එම පින්කමෙහි විපාක වශයෙන් දෙව් - මිනිස් ආත්මභාවයන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්‍ය රජ පවුලක උපන්නේය. මේඝිය නමින් ප්රකටව වියට පත්වූ ඒ කුමරු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිවිය. උන්වහන්සේට උපස්ථාන කරමින්, භාග්‍යවතුන් වහන්සේ සමග ඡාලිකාවෙහි වාසය කරන කල්හි; කිපිල්ලිකා නදී තෙර අඹවනයක් දුටු මේඝිය තෙරණුවෝ එහි වසනු කැමති වූහ. දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේ විසින් වැළකූ නමුත් තෙවනවර අවසර දුන් හෙයින් එහි වැඩි මේඝිය තෙරුන්ට මිසදිටු විතර්කවලින්, මැසි මදුරුවන් විසින් කනු ලබන හෙයින් සිත සමාධිගත කර ගැනීම අසීරුවිය. නැවත ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් මේ බව දැනුම් දුන් විට; මේඝිය තෙරුන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, “මේඝිය! චේතෝ විමුක්තිය මුහුකුරා නොයෑම නිසා ධර්ම පසක් සම්පූර්ණ වී පවතියි” යනාදී වශයෙන් අවවාද දුන්සේක. උන්වහන්සේ එම අවවාද පිළිගෙන, එහි පිහිටා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත්ඵලයෙහි පිහිටි සේක. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පවසා ඇත.
“යම් කලෙක විපස්සි බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත්හළසේක්ද, එකල්හි සාගරය වටකරගෙන ඇති පෘථිවිය කම්පා විය.
විසිතුරු මලින් සැරසූ මාගේ දිගු විසල් භවනය ද තථාගතයන්ගේ ආයුසංස්කාරය අත්හැරීමෙන් කම්පාවිය.
මගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැනීම් ද ඇති විය. කුමක් නිසා මහත් ආලෝකයක් වීද” මහා භූත විකාරයක් කුමක් නිසා වූයේද?
එවිට වෛශ්‍රවණ දෙව්රජ මෙහි පැමිණ මහජනයා සන්සිඳවීය. “එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත.
යම් බුදුකෙනෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්යය. ඒ ධර්මය ආශ්චර්යය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය.”
එසේ ගුණ සඳහන් වූ බුදුගුණ ගායනා කළ මම කල්පයක් ස්වර්ගයෙහි සුව වින්දෙමි. සෙසු කල්පයන්හි ද මා විසින් කුසල් කරන ලදි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ සංඥාවක් ඉපිද වූයෙම්ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුද්ධ සඤ්ඤාවෙහි විපාකය මෙබඳුය.
මෙයින් කල්ප දාහතරකට පෙර මම, සමිත නම් මහත් බල ඇති ප්රතාපවත් සක්විති රජෙක් වූයෙමි.
මෙයින් මවිසින් දැන් සියලු කෙලෙසුන් නසන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ; ශාස්තෲන් වහන්සේගෙන් අවවාද ලැබීම නිසා “මවිසින් අර්හත්භාවය සාක්ෂාත් කරන ලදැ”යි සිය ඥානය ප්‍රකාශ කරමින් මේඝිය තෙරණුවෝ,
“අනුසාසි මහාවීරො සබ්බධම්මාන පාරගූ,
තස්සාහං ධම්මං සුත්වාන විහාසිං සන්තිකෙ සතො,
තිස්සොවිජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං” - යන ගාථාව වදාළහ.
තස්සාහං ධම්මං සුත්වාන විහාසිං සන්තිකෙ සතො,
තිස්සොවිජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං” - යන ගාථාව වදාළහ.
එහි අර්ථය - “සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්වඥයන් වහන්සේ, මට අවවාද කළහ. මම උන්වහන්සේගේ අවවාද අසා සිහි ඇතිව, උන්වහන්සේ වෙතම විසුවෙමි. ඒ මම ත්‍රිවිද්‍යා ලැබුවෙමි. බුදුසසුන කරන ලදි.”
එහි “අනුසාසිං” යනු මේඝිය මුහුකුරා නොගිය චේතෝ විමුක්තිය නිසා ධර්ම පසක් සම්පූර්ණ නොවේ” යනාදී වශයෙන් අවවාද දුන්සේක. උපදෙස් දුන්සේක. “මහාවීරො” යනු මහත් වූ වික්‍රමයෙන් විරිය පාරමිතාව සපුරා, චතුරංග සමන්නාගත වීර්යාධිෂ්ඨානයෙන් කිසිවකුට සමනොවූ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූ බැවින් “මහාවීර” නම් බුදුරජාණන් වහන්සේ යන අර්ථයයි. “සබ්බ ධම්මාන පාරගූ” යනු සියලු සංඛත ධර්මයන්ගේ පරතෙරට ගිය, සර්වඥ වූ “තස්සාහං ධම්මං සුත්වාන” යනු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාමුක්කංසික චතුරාර්ය සත්‍යය ධර්මදේශනාව අසා විසුවෙමි. “සන්තිකෙ” යනු අඹ වනයේදී මිසදිටු විතර්කයන්ගෙන් උපද්‍රව වූ බැවින් වාලුකා වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයේම වාසය කළෙමි. “සතො” යනු සිහිඇතිව, සමථ විදර්ශනා දෙකින් අප්රමාදී වූ යන අර්ථයයි. “අහං” යනු මෙලෙස යම්සේ අනුශාසනා කරන ලද මම, මා හට මෙසේ ත්‍රිවිද්‍යාවෝ අවබෝධ වූහ. මවිසින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි. සම්පූර්ණ කළෙමි. “බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.” යන මේ ප්‍රකාශයෙන් ඉහත පැවසූ පරිදිම ත්‍රිවිද්‍යා අවබෝධයම ශාස්තෲන් වහන්සේගේ අවවාදය ඉටුකළ බව දැක්වීමකි. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව ඉටුකරන්නෝ නම් ශීලාදී ශික්ෂා සම්පූර්ණ කරන්නෝම යැයි ප්රකාශිතය.