උක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“උක්ඛෙපකටවච්ඡස්ස” යනු ආයුෂ්මත් උක්ඛේපකට වච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කරගත් සසරින් මිදීම කැමති පින්වතෙකි. මෙයින් කල්ප අනූහතරකට පෙර පහළ වූ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී කුලවත් ගෙයක ඉපිද, වැඩිවියට පැමිණි මොහු ශාස්තෲන් වහන්සේ උදෙසා (සඳහා) ශාලාවක් සාදන්නා වූ කම්කරු පිරිසකට එක් ටැඹක් අවශ්ය බව දැන එම ටැඹ පූජා කොට එම උතුම් පින්කමට සහාය විය. ඒ පින්කමෙන් දෙව් සැප විඳි හෙතෙම තව තවත් පින්දහම් සිදුකර කාම සුගතීන් හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර එක් බමුණු පවුලක උපන්නේය. වච්ඡ යනු ඔහුට ගෝත්රයෙන් තැබූ නාමයයි. වච්ඡ බමුණා භාග්යවතුන් වහන්සේගෙන් ධර්මය අසා උපන් ශ්රද්ධාව නිසා පැවිදි විය. කොසොල් රට ගම් ආවාසයක වසනුයේ තමා වෙත පැමිණි භික්ෂූන් වහන්සේගෙන් ධර්මය උගන්නා වච්ඡ තෙරණුවෝ “මේ විනය ශික්ෂාය, මේ සූත්ර පිටකයයි, මේ අභිධර්මය යි” යනුවෙන් වෙන් වෙන් ව වටහා ගැනීමට අසමත් වූහ. එක් දිනක් ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන්ගෙන් විමසා වෙන් වෙන් වශයෙන් මනාව වටහාගත්හ. පළමු ධර්ම සංගීතියට පෙරත් පිටක ආදී පැනවීම් පර්යාප්ති සද්ධර්මයෙහි ව්යවස්ථාපිත වූයේ මය. භික්ෂූන්ට “විනයධර ආදී ව්යවහාරයන් පැවතුණේ එහෙයිනි. වච්ඡ තෙරණුවෝ ද ත්රිපිටක බුදුවදන ඉගෙන නැවත නැවත විමසනුයේ එහි කියැවෙන රූපාරූප ධර්ම පිළිබඳව සිත මෙහෙයවා, විදසුනෙහි පිහිටා සිහිකරනුයේ නොබෝ කලකින්ම රහත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේට මහත් වූ උපාසක පිරිසක් විය. ඔවුහු බුදුසරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහති.
ඔවුහු සියලු දෙන එකතුව සාකච්ඡා කොට භාග්යවතුන් වහන්සේට උපස්ථාන ශාලාවක් සෑදූහ. ඊට එක් ටැඹක් මදි වූ හෙයින් ඔවුහු මහවනයෙහි එය සෙවූහ.
මම ඒ උපාසක සමූහයා වනයේ සිටිනු දැක, ඔවුන් වෙත පැමිණ ඇඳිලි බැඳගෙන ඔවුන්ගෙන් “කුමක් සොයම් ද?” යි විචාළෙමි.
මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ “අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු. ඊට එක් ටැඹක් නොමැතිව එය සොයමු.”
එවිට ඔවුන්ට මම, “ඒ ටැඹ මම දෙන්නෙමි. මම එය ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පුදන්නෙමි. එනිසා එය සෙවීමට නුඹලා වෙහෙස නොවෙත් වා” යි පැවසීමි.
ඊට පැහැදුණු ඔවුහු සතුටු සිතින් ඒ ටැඹ මා හට පැවරූහ. එම වචන කී ඔවුහු පෙරළා තම තමන්ගේ නිවෙස් බලා ගියහ.
ඒ උපාසක පිරිස ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දුටුවෙමි. තුටු සිතින් එය ඔසවා ගත් මම බුදුරදුන්ට පූජා කළෙමි.
එසේ සිත් පැහැදවීම නිසා මා හට මහල් සීයකින් හෙබි දිව්ය විමානයක් පහළවිය. එකල බෙර වයන විට දෙව් පිරිස් මා පිරිවරා ගත්හ.
මෙයින් කල්ප පනස් පහකට පෙර යසෝධර නම් රජෙක් වූයෙමි. එහිදී ද මට මහල් සීයක් ඇති උඩට නැගුණු උතුම් කළු ගෙවලින් හෙබි එක් ටැම් ඇති මනහර වූ භවනක් පහළ විය.
මෙයින් විසි එක් වන කල්පයේ උදේන නම් ක්ෂත්රියෙක් වූයෙමි. එ කල ද මට මහල් සීයක් සහිත උස් වූ මාලිගයක් පහළ විය.
මා උපනුපන් දිව්ය මනුෂ්ය ආත්මයන් හි සැම සැප සම්පතක් ම වින්දෙමි. එක් ටැඹක් පිදීමේ පුණ්ය විපාක මෙබඳුය.
මීට කල්ප අනූ හතරකට පෙර ටැඹක් පිදුවෙම් ද එදා සිට මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. එක් ටැඹක් පිදීමේ පුණ්ය ඵලය මෙබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් ව, කොට නිමවූ කටයුතු ඇති ව නොපසුබට උත්සාහයෙන් තමන් වහන්සේ වෙත පැමිණියා වූ ගිහි - පැවිදි සැමට අනුකම්පා උපදවා ත්රිපිටක බුද්ධ වචන විමසා ධර්ම දේශනා කළ සේක. එසේ දම් දෙසූ එක් දිනෙක තමා අනිකකු මෙන් දක්වමින්
“උක්ඛෙපකටවච්ඡස්ස සඞ්කලිතං බහූහි වස්සෙහි,
තංභාසති ගහට්ඨානං සුනිසින්නො උළාරපාමොජ්ජො”
තංභාසති ගහට්ඨානං සුනිසින්නො උළාරපාමොජ්ජො”
යන ගාථාව වදාළහ.
එහි “උක්ඛෙපකටවච්ඡස්ස” යනු කරන ලද පුහුණුවීම් ඇති භික්ෂූන් සමීපයෙන් වෙන වෙන ම උගත් විනය, සූත්ර හා අභිධර්ම වෙන් වෙන් ව දැක්වෙන විනය, සූතාභිධර්මයන් ම මෙනෙහි කර සජ්ඣායනා කිරීම් වශයෙන්, ඒ ඒ තැන් මනාව පිරිසිඳ දැන සිටි උක්ඛේපකටවච්ඡ තෙරුන් විසින් තෘතියා විභක්ති අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු වචනයකි. “සඞ්කලිතං බහුහි වස්සෙහි” යනු බොහෝ වසර ගණනක් සම්පිණ්ඩනය කිරීම් වශයෙන් හදවතේ තබා රැස්කරන ලද, “සඞ්ඛලිත” යන පාඨය ද සුදුසුය. සැකිල්ලක් මෙන් කරන ලද, ඒකාබද්ධ වශයෙන් වාචොද්ගත කරන ලද යම් බුද්ධවචනයක් වේ ද එය “තං” යනු ඒ පර්යාප්ති ධර්මය කියයි, පවසයි. “ගහට්ඨානං” යනු ගිහියෝ බොහෝ බැවින් කියන ලදි. “සුනිසින්නො” යනු ඒ ධර්මයෙහි යහපත් ව නිශ්චලව හුන්. “ලාභ සත්කාරාදියේ ඇලීමක් නොමැතිව හුදෙක් විමුක්තියෙහි ම පිහිටා දම් දෙසමි” යන අර්ථයයි. එනිසා “උළාරපාමොජ්ජො” යනුවෙන් “ඵල සමවත් සුවයන් වශයෙන් දම්දෙසුම අවසන උපදින්නා වූ මහත් වූ ප්රමෝදය ඇතිව” යන්න කියන ලදි. මේ ගාථාවේ අදහසය නම්
“ඇවැත්නි යම්සේ භික්ෂුවක් ඇසූ පරිදි, පර්ය්යාප්ති වශයෙන් හදාළ පරිදි ධර්මය සවිස්තර ව අන්යයන්ට දේශනා කරන්නේ ද එලෙසින් ම මේ සම්බුදු දහමෙහි අර්ථාවබෝධය ඔහු ලබයි. ධර්මාවබෝධය ද ලබයි. ධර්මානුකූල ප්රමෝදය - ප්රීතිය ද ලබයි.”
උක්ඛේපකටවච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
මේඝිය ස්ථවිරගාථා වර්ණනාව
“අනුසාසි මහාවීරො” යනු ආයුෂ්මත් මේඝිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී කුසල් දහම් රැස්කරගත උන්වහන්සේ; මෙයින් කල්ප අනූ දෙකකට පෙර පහළ වූ විපස්සි බුදුරජාණන් වහන්සේගේ දවස සිටුගෙයක උපන්හ. වියට පැමිණ සිටි සමයේදී විපස්සි භාග්යවතුන් වහන්සේ සියලු බුද්ධකෘත්යයන් නිමවූසේක් ආයුසංස්කාරය අත්හළ සේක. ඉන් පොළෝ කම්පාවීම් ආදිය ඇතිවූ විට මහජනයා බියට තැතිගැනීමට පත්විය. එවිට වෙසවුණු මහරජතුමා ඊට හේතු පවසා ජනයාගේ සැක බිය දුරු කළේය. එම කාරණය ඇසූ මහජනයා සංවේගයට පත්විය. මේ කුලපුත්රයා ද බුද්ධානුභාවය අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපදවාගත් ගෞරව බහුමානයෙන් යුතුව මහත් වූ ප්රීති සොම්නසක් වින්දනය කළේය. එම පින්කමෙහි විපාක වශයෙන් දෙව් - මිනිස් ආත්මභාවයන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්ය රජ පවුලක උපන්නේය. මේඝිය නමින් ප්රකටව වියට පත්වූ ඒ කුමරු භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිවිය. උන්වහන්සේට උපස්ථාන කරමින්, භාග්යවතුන් වහන්සේ සමග ඡාලිකාවෙහි වාසය කරන කල්හි; කිපිල්ලිකා නදී තෙර අඹවනයක් දුටු මේඝිය තෙරණුවෝ එහි වසනු කැමති වූහ. දෙවරක්ම භාග්යවතුන් වහන්සේ විසින් වැළකූ නමුත් තෙවනවර අවසර දුන් හෙයින් එහි වැඩි මේඝිය තෙරුන්ට මිසදිටු විතර්කවලින්, මැසි මදුරුවන් විසින් කනු ලබන හෙයින් සිත සමාධිගත කර ගැනීම අසීරුවිය. නැවත ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් මේ බව දැනුම් දුන් විට; මේඝිය තෙරුන් ඇමතූ භාග්යවතුන් වහන්සේ, “මේඝිය! චේතෝ විමුක්තිය මුහුකුරා නොයෑම නිසා ධර්ම පසක් සම්පූර්ණ වී පවතියි” යනාදී වශයෙන් අවවාද දුන්සේක. උන්වහන්සේ එම අවවාද පිළිගෙන, එහි පිහිටා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත්ඵලයෙහි පිහිටි සේක. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පවසා ඇත.