විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා වර්ණනාව
“දුමව්හයාය උප්පන්නො” යනු විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර තෙරවරු මෙන්ම විමල කොණ්ඩඤ්ඤ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහිදී කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා කුසල් රැස්කරගත් අයෙකි. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළවූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ, මහත් ධනවත් කුලයක ඉපිද වියට පත්වූ හෙතෙම; මහ පිරිස් පිරිවරා දම් දෙසන භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු සිතින් රන්මල් සතරකින් පූජා පැවැත්වීය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමට ඊට සුදුසු ප්රාතිහාර්යයක් දැක්වූ සේක. ඒ මල් වැනි වූම රන්මය ප්රභාවක් ඒ සියලු ප්‍රදේශයේම පැතිරුණිා. එම අසිරිය දුටු ඔහු බොහෝ සෙයින් පැහැදී, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එම උතුම් පෙළහරම සිහිකරමින් නිවසට ගියේය. බුද්ධාරම්මණ ප්‍රීතියෙන් ම කිසියම් රෝගයක් වැළඳී මරණයට පත්ව තුසිත දෙව්ලොව ඉපිද සැප වින්දේය. සසර තව තවත් කුසල් රැස්කරමින් කාම සුගතීන්හි ම සැරි සැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙහි බිම්බිසාර රජුට දාව අම්බපාලිගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. බිම්සර රජු තරුණ කාලයේ දී අම්බපාලියගේ රූපසම්පත්තිය අසා හටගත් කැමැත්ත ඇතිව, මිනිසුන් කිහිප දෙනෙකු සමග වෙස් වලාගෙන විශාලාවට ගොස් එක් රැයක් ඇය සමග සංවාසයෙහි යෙදුණේය. එවිට මොහු ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අම්බපාලිය ද ගැබ පිහිටි බව රජුට දැනුම් දුන්නාය. රජුද තමා කවුදැයි පවසා ඇයට දිවයුතු ද්‍රව්‍ය පරිත්‍යාග කර ගියේය. ගැබ මුහුකුරා ගිය ඇය පුතෙකු වැදුවාය. ඔහුට විමල යන නම තැබුවාය. පසුව විමල කොණ්ඩඤ්ඤ නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් ව භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ මොහොතේ බුදුසිරි දැක පැහැදුණු සිතින් පැවිදි වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන් පුර්ව කටයුතු නිමවා දිනකින්ම සියලු කෙලෙස් නසා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියෙහි උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ මහත් ජනකායට නිර්වාණය පිළිබඳව ධර්ම දේශනා කරන සේක.
තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්මය ඇසූ මම රන්මල් සතරක් පූජා කළෙමි.
එකල්හි යම්තාක් දුර පිරිස පැතිර සිටියේද ඒතාක් දුර පැතිරි රන් පියස්සක් මැවුණි. බුදු රැස් ද රන් රැස් ද මිශ්‍රව ආලෝකය මහත් විය.
ඔද වැඩි සිතින් සතුටට පත්වූ මම; ජනයාට මෙලොව සැපගෙන දෙන, ප්‍රීතිය උපදවන බුදුරජාණන් වහන්සේට ආයාචනා කොට, මනාව්‍රත ඇති උන්වහන්සේ වැඳ අවසර ගෙන මගේ ගෙදර ගියෙමි.
නිවසේ සිටි මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිකළෙමි. එසේ සිත් පැහැදවීම නිසා මම තුසිත භවනයෙහි උපන්නෙමි.
මෙයින් කල්ප අනූඑකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි.
මෙයින් කල්ප සතලිස් තුනකට පෙර දී මහත් බල ඇති නේමි සම්මත නම් සක්විති රජවරු දාසය දෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ විමල කොණ්ඩඤ්ඤ තෙරහු සිය රහත් බව ප්‍රකාශ කරන සේක්; “දුමව්හයාය” යනාදී ගාථාව වදාළහ.
එහි “දුමව්හයාය” යනු අඹගස් සමූහයෙන් තැබූ නම් ඇති අම්බපාලියට යන අර්ථයයි. ආධාරාර්ථයේ මෙහි සත්තමී විභක්තිය යෙදී ඇත. “උපපන්නො” යනු ඇගේ කුසේ උපන්. ඉපදුණාවූ “ජාතො පණ්ඩර කෙතුනා” යනු සේසත් (සුදුකුඩය) දැරු බැවින් “පණ්ඩර” සුදු කොඩි දරන්නා නම් වූ බිම්සර රජුට දාව උපන් ඔහු නිසා උපන් පළමුවු උපත දැක්වීම සඳහා මේ දෙදෙනාගෙන් උපන්නේයැයි මේ ජාතියේ (ආත්මභාවයේ) පහළවීම දැක්විණි. වැදුවා වූ කාලයේ පටන් “උපන්නේ ය” යන වහර ලොව පවතී. මෙහි දී “අම්බපාලියට පුත්ව උපන්නෙමි” යන්නෙමි තමා උසස්කර දැක්වීම දුරු කරයි. නොයෙක් ස්වාමි, පුත්‍රයන්ගේ ද විශේෂාධිගම ලාභය ද මෙයින් දක්වයි. “සේසත දරන රජුට දාව උපන්නෙමි” යන මේ ප්‍රකාශයෙන් දැනගත් විශිෂ්ට පියා දැක්වීම් වශයෙන් අනුන් විසින් හෙළා දැකීම දුරුකරයි. “කෙතුහා” යන්නෙන් “මානය දුරුකළෙමි” යි කියයි. මානය කැමති සේ අවබෝධ කරගත්තමෙි යි කියයි. තත් වූ පරිදි දැනගත්තෙමි. “කෙතුනායෙව” ප්‍රඥාවෙන් ම ප්‍රඥාව වනාහී නිවැරදි ධර්මයන් හි අවබෝධ කිරීම් වශයෙන් ඉතා උස්ව නැගි අරුතින් ද මරසෙනග මැඩලීමෙහි පූර්වංගම වූ අර්ථයෙන් ද “ආර්‍ය්‍යයන්ගේ ධජය” නම් වේ. සෘෂිවරුන්ගේ ද ධජය වූ ඒ ප්‍රඥාව නම් ධර්මයෙන් “මහාකෙතුං පධංසයී” මහත් වූ විෂය ඇති බැවින් ද මහත් වූ සෙය්‍යමාන, ජාති මානාදී ප්‍රභේද සහිත බොහෝ මානයන්ගෙන් යුක්ත වූ බැවින් ද සෙසු දහම් මනාව ඔසවාගත් බැවින් ද එම පාපී ධර්ම ධජයක් වූ මේ පාපී මාරයාම “මහාකේතු” නම් වේ. ඒ මාර බලය විද්වංසනය, අතික්‍රමණය කිරීම් වශයෙන් අභිභවනය කළෙමි. නිර්වාණය සේවනය කළෙමි. “මහා ධජය හෙවත් මාරයා පැරදුවෙහිය” යනුවෙන් තමා වෙනත් අයෙකු මෙන් දැක්වීම් වශයෙන් (ආත්ම සංකල්පයෙන් බැහැර ව) සිය රහත්ඵලය ප්‍රකාශ කරන ලදි.