පක්ඛ ස්ථවිරගාථා වර්ණනාව
“චුතා පතන්ති” යනු ආයුෂ්මත් පක්ඛ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන්හි දී පින් කරමින් කුසලතා සපුරා ගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර යක්‍ෂ සෙන්පතියකුව ඉපිද විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදුණු සිතින් දිව්‍යමය වස්ත්‍රයන්ගෙන් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ හෙතෙම, අපගේ බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ශාක්‍ය ජනපදයේ දේවදහ නියම්ගම වූ ශාක්‍ය රජ පවුලක උපන්නේ ය. සම්මෝද කුමාරයා නමින් ඔහු ප්‍රසිද්ධ විය. ඔහු කුඩා කාලයේ වාත රෝගයක් නිසා පාද අක්‍රිය විය. එනිසා සුළු කාලයක් කොරෙකු මෙන් එහි මෙහි (ඔබිනොබ) ගියේ ය. මෙනිසා “පක්ඛ” (කොරා) නාමයෙන් ද ඔහු ප්‍රසිද්ධ විය. පසුව එම රෝගය සුව වුවත් එම නාමය ම ව්‍යවහාර විය. එකුමරු භාග්‍යවතුන් වහන්සේ කපිල වත්‍ථුවට වැඩි පළමු අවස්ථාවේ වූ පෙළහර දැක උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති පක්ඛ තෙරුන් සුදුසු කමටහන් ගෙන අරණ්‍යයෙහි වාසය කළේය. එක් දිනක් ගමේ පිඬු පිණිස හැසිරීමට එන අතරමග වූ රුක්මුලක උන්වහන්සේ විවේක සුවයෙන් වැඩහුන්හ. එවිට එක්තරා උකුස්සෙකු මස් වැදැල්ලක් රැගෙන අහසින් යනු දුටුවහ. බොහෝ උකුස්සෝ වහා එතැනට අවුත් ඒ මස් වැදැල්ල උදුරා ගත්හ. පළමු උකුස්සාගේ මුවින් ගිලිහුණු එය තව උකුස්සෙකු ඩැහැ ගත්තේය. තව උකුස්සෙකු නැවත එය පැහැර ගත්තේය. මෙම සිදුවීම දුටු තෙරුන් වහන්සේ, “මෙ මස් වැදැල්ල මෙන් කාමයෝ ද සැමට සාධාරණ ද බොහෝ දුක් ගෙනදෙන, බොහෝ උවදුරු ඇතිකරන්නේ ද වෙති.” යනුවෙන් කාමයේ ආදීනව ද නෙක්ඛම්මයේ ආනිසංස ද සිහිපත් කළහ. විදර්ශනාවෙහි සිත පිහිටුවා ගත් උන්වහන්සේ අනිත්‍යාදී වශයෙන් සෑම දෙයක් පිළිබඳව ම මෙනෙහි කරමින් පිඬු පිණිස හැසිර, දානය වළඳා දවල් වසන තැන හිඳ විදසුන් භාවනාව වඩා රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේගේ චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වේ.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ එදා සැට දහසක් භික්‍ෂූන් සමග බන්‍ධුමතී නගරයට පිවිසි සේක.
නුවරින් නික්ම දීප චෛත්‍ය ස්ථානයට ගිය මම කෙලෙස් දූවිලි බැහැර ලූ, ලෝකයාගේ පූජාවන්ට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
අසූ දහසක් යක්‍ෂයෝ මා පිරිවරාගෙන තව්තිසා වැසි දෙවියෝ ශක්‍රයාට කරන්නාක් මෙන් මට උපස්ථාන කරති.
එදා මම බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, භවනයෙන් නික්ම වස්ත්‍රයක් පුදා උන්වහන්සේට වැන්දෙමි.
අහෝ! බුදුරජාණෝ අසිරිමත් වෙති. ධර්‍ම රත්නය ද අසිරිමත්ය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද අසිරිමත් ය. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවිය ද කම්පා විය.
ආශ්චර්ය ජනක ලොමු දැහැ ගන්නා වූ එම විස්මය දුටු මම තාදී ගුණ ඇති ද්විපදෝත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීමි.
එසේ සිත් පහදවා වස්ත්‍රය පූජා කළ මම ඇමති සහිත පිරිවර සමග ම උන්වහන්සේ සරණ ගියෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පින්කමක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුදු පුදෙහි විපාකය එබඳුය.
මීට කල්ප පසළොසකට පෙර සත් රුවනින් හෙබි මහත් බල ඇති සුවාහන නම් සක්විති රජවරු දාසය දෙනෙක් වූ මම දැන් සියලු කෙලෙස් නැසූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වීමට උපකාර වූ ඒ සංවේග වස්තුව ම අංකුසයක් කරගෙන විදසුන් වඩා සත්‍යාවබෝධ කරගත් උන්වහන්සේ එම සිදුවීම ම ප්‍රකට කිරීම් වශයෙන් ද සිය රහත්බව ප්‍රකාශ කිරීම සඳහා ද “චුතා පතන්ති” යන ගාථාව වදාළහ.
එහි “චුතා” යනු ගිලිහුනා හු, “පතන්ති” යනු අනුක්‍රමයෙන් වැටෙති. “පතිතා” යනු වචන වශයෙන් භූමියට වැටෙන, අහසෙහි ගිලිහී වැටුණු, බිමට වැටෙන “ගිද්ධා” යනු ගිජුබවට පැමිණි. “පුනරාගතා” යනු නැවත වරක් අල්ලාගනියි. “ච” ශබ්දය සැමතැනම යොදා අර්ථ ගත යුතුයි. මෙම ගාථාවේ අදහස මෙසේය. - මුවින් ගිලිහී අනුක්‍රමයෙන් වැටෙන මාංශ පේශිය (මස් වැදැල්ල) බිම පතිත වුවත්, අනික් උකුස්සකුගේ මුවින් ගිලිහුනත් ගිජු වූ සියලුම උකුස්සෝ නැවත අවුත් එය ඩැහැගනිති. මේ දිගුසසර හැසිරෙන සත්ත්‍වයෝ ද මෙම උකුස්සන් බඳු වෙති. යමෙක් කුසල් දහම්වලින් වැටුණේ ද ඔවුහු නිරයාදියේ උපදිති. මෙසේ දුකට වැටුණු සම්පත්හි භවයේ සිටි ඔවුහු; එහි කම් සුව විඳීම් වශයෙන් කාම, රූප, අරූප භවාදියෙහි පවතින දැඩි ආශාව නිසා නැවත නැවත උපදිති. භව උපතින් නොමිදුණු බැවින් ඒ ඒ භවගාමී කර්ම හේතුවෙන් ඒ ඒ භවයන්හි ඉපිද දුක් විඳිති. මේ සත්ත්‍වයෝ මෙසේ සසර දිගටම පවතිති. මම වනාහි කළයුතුදේ කළෙමි. පරිඤ්ඤාදී (පිරිසිඳ දැනී) භේද සහිත සොළොසක් (දාසයක්) වූ කටයුතු නිමකළෙමි. නැවත මා හට කළ යුත්තක් නොමැත. ඇලිය යුතු, රමණය කළයුතු, උතුමන් විසින් ආශ්‍රිත වූ රම්‍ය වූ නිවණෙහි - සංඛත ධාතුවෙහි ඇලුණෙමි. විශේෂයෙන් ඇලුණෙමි. රම්‍ය වූ ඒ සුවයෙන් සුවපත් වූයෙමි. ඵල සමවත් සුවයෙන් අත්‍යන්ත සුවදායක නිවණට අනුපිළිවෙලින් පැමිණියෙමි. සුවයෙන් හෝ සුවදායී පිළිවෙලින් හෝ විදසුන් සුවයෙන් ද මාර්ග සුවයෙන් ද මම ඵල සුවයට ද නිර්වාණ සුවයට ද අනුපිළිවෙලින් පැමිණියෙහි.” මෙලෙස ගාථාවේ අර්ථ දැනගත යුතුයි.
පක්ඛ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා වර්ණනාව
“දුමව්හයාය උප්පන්නො” යනු විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර තෙරවරු මෙන්ම විමල කොණ්ඩඤ්ඤ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහිදී කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා කුසල් රැස්කරගත් අයෙකි. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළවූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ, මහත් ධනවත් කුලයක ඉපිද වියට පත්වූ හෙතෙම; මහ පිරිස් පිරිවරා දම් දෙසන භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු සිතින් රන්මල් සතරකින් පූජා පැවැත්වීය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමට ඊට සුදුසු ප්‍රාතිහාර්යයක් දැක්වූ සේක. ඒ මල් වැනි වූම රන්මය ප්‍රභාවක් ඒ සියලු ප්‍රදේශයේම පැතිරුණිා. එම අසිරිය දුටු ඔහු බොහෝ සෙයින් පැහැදී, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එම උතුම් පෙළහරම සිහිකරමින් නිවසට ගියේය. බුද්ධාරම්මණ ප්‍රීතියෙන් ම කිසියම් රෝගයක් වැළඳී මරණයට පත්ව තුසිත දෙව්ලොව ඉපිද සැප වින්දේය. සසර තව තවත් කුසල් රැස්කරමින් කාම සුගතීන්හි ම සැරි සැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙහි බිම්බිසාර රජුට දාව අම්බපාලිගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. බිම්සර රජු තරුණ කාලයේ දී අම්බපාලියගේ රූපසම්පත්තිය අසා හටගත් කැමැත්ත ඇතිව, මිනිසුන් කිහිප දෙනෙකු සමග වෙස් වලාගෙන විශාලාවට ගොස් එක් රැයක් ඇය සමග සංවාසයෙහි යෙදුණේය. එවිට මොහු ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අම්බපාලිය ද ගැබ පිහිටි බව රජුට දැනුම් දුන්නාය. රජුද තමා කවුදැයි පවසා ඇයට දිවයුතු ද්‍රව්‍ය පරිත්‍යාග කර ගියේය. ගැබ මුහුකුරා ගිය ඇය පුතෙකු වැදුවාය. ඔහුට විමල යන නම තැබුවාය. පසුව විමල කොණ්ඩඤ්ඤ නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් ව භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ මොහොතේ බුදුසිරි දැක පැහැදුණු සිතින් පැවිදි වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන් පුර්ව කටයුතු නිමවා දිනකින්ම සියලු කෙලෙස් නසා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියෙහි උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -