වජ්ජිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“එකකා මයා අරඤ්ඤෙ” යන ගාථාව ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? මොහුද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කළේය. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පැමිණ, එක් දිනක් බුදුරජාණන් වහන්සේ දැකීමෙන් උපන් ශ්රද්ධාව නිසා පැවිදිවිය. කරන ලද පූර්ව කටයුතු ඇති වජ්ජිපුත්ත තෙරණුවෝ කමටහන් ගෙන විශාලා මහනුවරට නුදුරුව එක්තරා වන ලැහැබක වාසය කරති. එකල්හි විශාලා මහනුවර මහත් වූ උත්සවය්ක විය. ඒ ඒ තැන නෘත්ය ගීත වාදනයන් පැවැත්විණි. මහජනයා තුටු පහටු වූ සිතින් උත්සව සිරි නරඹති. උත්සව සම්පත් විඳිති. එය ඇසූ වජ්ජිපුත්ත තෙරණුවෝ අනුවණින් පැවිද්ද ගැන කළකිරී, විවේක සුවය නොසලකා හරිමින් කමටහන ඉවත දමා තම නො ඇල්ම මෙසේ ගාථාවකින් පැවසූහ.
“එකකා මයං අරඤ්ඤෙ විහරාම, අපවිද්ධංච වනස්මිං දාරුකං,
එතාදිසිකාය රත්තියා, කොසුනාම අම්හෙහි පාපියො”
එතාදිසිකාය රත්තියා, කොසුනාම අම්හෙහි පාපියො”
“වනයේ හැර දැමූ දරකඩක් මෙන් අපි හුදකලාව මේ වනයේ වසමු. මෙවැනි සුන්දර වූ රාත්රියෙහි ප්රීතිවීමට නොහැකිව සිටින කවරෙක් නම් අප වැනි පවුකාරයෝ වෙත් ද?”
එය ඇසූ වන ලැහැබට අධිගෘහිත දේවතාවා ඒ භික්ෂුව කෙරෙහි අනුකම්පා උපදවා, “මහණ! නුඹ ඉදින් අරණ්ය වාසය අප්රිය කරමින් සිටින්නෙහිය. විවේක සුව කැමති නුවණැත්තෝ නුඹට ගෞරව කරත් ම ය” යන අර්ථය දක්වමින් මේ ගාථාව පැවසීය.
“එකකො ත්වං අරඤ්ඤෙ විහරසි - අපවිද්ධං ව වනස්මිං දාරුකං,
තස්ස තෙ බහුකා පිහයන්ති - නෙරයිකා විය සග්ගගාමිනං”
තස්ස තෙ බහුකා පිහයන්ති - නෙරයිකා විය සග්ගගාමිනං”
“වනයේ හැර දැමූ දරකඩක් මෙන් නුඹ වනයේ හුදකලාව වෙසෙන්නෙහිය. නුඹට බොහෝ දෙනා ප්රියකරති. ස්වර්ගයට යනු කැමති නිරිසතුන් මෙනි”
“මහණ! නුඹ කෙසේ නම් මේ නෛර්ය්යාණික වූ සම්බුදු සසුනෙහි පැවිදි වී, නිවනට අයත් නොවූ විතර්ක මෙනෙහි කරන්නෙහි ද?” යි එම තෙරුන් සංත්රාසයටත් සංවේගයටත් පත් කළේය. මෙසේ ඒ වජ්ජිපුත්ත තෙරුන් ඒ දෙවියා විසින් සංවේගයට පත් කරන ලදුයේ, කසපහර ලැබූ ආජානීය අශ්වයකු මෙන් විදසුන් භාවනාවට සිත යොදවා නොබෝ වේලාවකින් ම විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේ උන්වහන්සේ තම චරිතාපදානය මෙසේ දක්වා ඇත.
“රන්වන් වූ සිරුරක් සහිත හිරු මෙන් බබළන රැස් ඇති, සියලු දිශා බබුලුවන පුන් සඳවැනි වූ සාගරවලින් පිරිවරාගත් පොළව මෙන්, සවුවන් විසින් පිරිවරාගත් විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුයෙමි.
උන්වහන්සේට නාමල් රේණු වලින් පූජා කළෙමි. මෙයින් කල්ප අනූ එකකට පෙර මේ රේණු පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුදු පුදෙහි විපාකය මෙබඳුය.
මෙයින් කල්ප සතලිස් පහකට පෙර මහ බල ඇති සත්රුවනින් හෙබියා වූ රේණු නම් සක්විති රජුව සුව වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් ඵලය ලබාගත් වජ්ජිපුත්ත තෙරණුවෝ එම රහත් ඵල ප්රාප්තියට අංකුසයක් වැනි වූ තමාගේ ද දේවතාවාගේ ද ගාථා දෙක සිහිපත් කර
“එකකා මයං අරඤ්ඤෙ විහාරාම, අපවිද්ධං’ ව වනස්මිං දාරුකං,
තස්ස මෙ බහුකා පිහයන්ති, නෙරයිකා විය සග්ගගාමිනං”
තස්ස මෙ බහුකා පිහයන්ති, නෙරයිකා විය සග්ගගාමිනං”
යන ගාථාව වදාළහ.
එහි අර්ථ මෙසේ ය. “අපේක්ෂාවක් නොමැතිව වනයේ විසි කර දැමූ දරකඩක් මෙන් ඉදින් අපි හුදකලාව, තනිවම, කිසිදු හවුහරණක් නොමැති ව මේ වනයේ වෙසෙමු. මෙසේ වසන මා හට බොහෝ දෙනා ප්රිය කරති. මා පිළිබඳව සිහිකරන තමාට වැඩ කැමති කුල පුත්රයෝ මා වැන්නන් වීමට ප්රාර්ථනා කරති. “අහෝ! ඒකාන්තයෙන් අපිත් මේ වජ්ජිපුත්ත තෙරුන් මෙන් ගිහිගේ අත්හැර දමා අරණ්යයෙහි වාසය කරමු නම් යෙහෙකි” යනුවෙන් සිතති. ඒ කෙසේ ද? ස්වර්ගයට (දෙව් ලොව) යනු කැමති නිරයේ වසන්නෝ මෙනි. යම් සේ නිරයේ වූ වෝ තමා ම කළ පාපකර්මයෙන් නිරයේ ඉපදුනාහු, දෙව් ලොව යෑමට හා දෙව් ලොව සැප විඳින්නෙමු නම් මැනවි” යි සිතති, පතති, එවැනි වූ සම්පත්තියකි මේ පැවිද්ද” යන අර්ථයයි. මෙහි දී තමා කෙරෙහි ගෞරවාර්ථ බහුවචන ප්රයෝගය කමැති බැවින් “අපි හුදකලාව වසමු” (එකකං මයං විහරාම) යනුවෙන් පැවසීය. නැවත එහි අර්ථය ඒකවචන බව දක්වනු සඳහා “ඒ මට” (තස්සමෙ) යනුවෙන් ඒකවචන ප්රයෝගය යෙදුණි. ඒ තෙරුන්ටද ස්වර්ගගාමී වනු කැමති වීමට ද යන දෙකටම ප්රියකරති (පිහයන්ති) යන පදය යෙදිය යුතුයි. එහි දුතියා විභක්තියෙහි සම්ප්රදාන විභක්ති අර්ථය දැකිය යුතුයි. එලෙස ප්රාර්ථනා කිරීම ද තමන් වහන්සේ බඳු වූ අරණ්යයෙහි විසීම් ආදී ගුණ පතන්නවුන්ගේ වශයෙන් ද “සැම දෙන එසේ පතත්වා”යි පවසමින් මේ ගාථාව දේශනා කරන ලදි. “තස්ස මෙ” යනු “ඒ මා සමීපයේ ඇති, මා ළඟ ඇති ගුණයන් හි” යන අර්ථයයි.