වප්ප ස්ථවිරගාථා වර්ණනාව
“පස්සති පස්සො” යනු ආයුෂ්මත් වප්ප තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? ඔහු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව, “අසුවල් අසුවල් තෙරවරු ශාස්තෲන් වහන්සේගේ පළමු ධර්‍මදේශනාව පිළිගත්හ” යි යන්න අසා ඉතා සතුටට පැමිණියේ ය. පසුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ තමා තෙරුවන් සරණ යන බව පවසා, “ස්වාමීනි! මම ද අනාගතයේ දී නුඹ වහන්සේ වැනි සම්බුදුවරයකුගේ ප්‍රථම ධර්‍මදේශනාව අසන්නවුන් අතුරින් එක් අයෙකුවෙම් වා” යි ප්‍රාර්ථනා කළේය. ඔහු දිවි ඇති තාක් එලෙසින් පින්දහම් සිදුකොට ඉන් චුතව දෙව් - මිනිස්සු දෙගතියේ සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ වාසෙට්ඨ නම් බමුණාගේ පුතෙකු වී උපන්නේය. දෙමාපියෝ ඔහුට වප්ප යන නම තැබූහ. “අසිත සෘෂිවරයා විසින් සිදුහත් කුමරු සර්‍වඥ වන්නේය” (බුදුවන්නේය) යනුවෙන් පවසන ලද බැවින් කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ බ්‍රාහ්මණ පුතුන් සමග ගෘහවාසය හැරදමා තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වී එකුමරු බුද්ධත්වයට පත් වූ පසුව, උන්වහන්සේ සමීපයට ගොස් බණ අසා නිවන් අවබෝධ කරගන්නෙමි” යි සිතා උරුවේලාවෙහි වාසය කළේය. මහ බෝසතාණෝ සයවසරක් දුෂ්කර ක්‍රියා කොට, ඉන් වෙන්ව දළ ආහාර ගැනීමට පටන් ගත්කල්හි උන්වහන්සේ හැර දමා ඉසිපතනයට ගිය වප්ප තවුසා, සම්බුද්ධත්‍වයට පත් වූ ශාස්තෲන් වහන්සේ සත් සති ගෙවා ඉසිපතනයට වැඩ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙන් පසුදින සෝවාන් ඵලයෙහි පිහිටියේය. පස්වන දින අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී තවුසන් සමග ම මහරහත් ඵලයෙහි පිහිටි වප්ප තෙරණුවෝ, සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“දෙව් රජුන් දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක් එළඹුණි. බොහෝ දෙවියෝ රැස්වූවාහු මහා ඝෝෂාවක් හටගත්තේය.
ලෝකයාගේ පූජාවන් පිළිගත්තා වූ තුන් ලෝ මැනවින් දත් ශාස්තෲ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අහසෙහි වැඩ හිඳිමින් මහජනයා සංවේගයට පත්කළ සේක.
එකෙණෙහි සියලු දෙවියෝ තුටුව බැහැර ලු ආයුධ හා යුධ ඇඳුම් සහිතව බුදුරජාණන් වහන්සේට වැඳ එකඟ සිතින් පසෙක සිටියහ.
අපගේ සිත් දැනගත් බුදුරජාණෝ මේ ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළසේක. හටගත් අනුකම්පාවෙන් යුධ ගිනි නිවුසේක.
“එක් ප්‍රාණියෙකු හෝ නසන දූෂිත සිත් ඇති මනුෂ්‍යයා එම නපුරු සිත නිසා අපායෙහි ම උපදින්නේ ය.
යුධ පෙරමුණෙහි බොහෝ ප්‍රාණීන් නසන්නා වූ ඇතකුමෙන් සිය සිත නිවවු, නැවත නැවත නො නසවු.”
මෙය ඇසු යක්‍ෂ සේනාවෝ විශ්මයට පත් වූහ. තාදී ගුණ ඇති ලෝක නායකයන් වහන්සේගේ සරණ ගිය ඔවුහු යුද්ධය නැවැත්වූහ.
පසැස් ඇති බුදුපියාණෝ ජනසමූහයාට කරුණු අවබෝධ කරවා පවින් ගොඩ ගත්හ. දෙවියන් විසින් බලාසිටිය දීම උන්වහන්සේ උතුරු දෙසට වැඩිසේක.
ඒ අසිරිය දුටු මම පළමු කොට බුදුන් සරණ ගියෙමි. එහි ආනුභාවයෙන් කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.
මෙයින් තිස් දහස් නව කල්පයේ දී රජවරු අතර ශ්‍රේෂ්ඨ වූ මහා දුන්දුභි නාමයෙන් සක්විති රජවරු දාසයක් ව සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් නැසුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ තමා ලැබූ සම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් නුවණින් විමසා, ශාස්තෲන් වහන්සේගේ ගුණ අසීමිත බව දැන, “මෙවැනි බුදුවරයෙකුට බාහුලිකාවදයෙන් කථා කළෙමු. අනේ පුහුදුන් බව නම් අන්‍ධ අවස්ථාවකි. ඇස් නැති බවකි. ඇස් ඇති බව නම් ආර්යභාවයමයැ”යි දක්වන සේක්, “පස්සති පස්සො” යන ගාථාව වදාළසේක.
එහි “පස්සති පස්සො” යනු සම්‍යක් දෘෂ්ටියෙන් ධර්‍මයන් දකියි. විපරීත නොවී දනියි. අවබෝධ කරගනියි යන අරුතින් “පස්සති” - දකියි යන වචනය යෙදේ. දර්ශන සම්පන්න වූ ආර්ය පුද්ගලයා වනාහී අවිපරීත කොට දකින්නා “මෙතෙම විපරීත නොවූ දර්ශන ඇත්තෙකි” යි අවබෝධ කරගනියි. ප්‍රඥාව නම් ඇසින් ධර්‍මය හා අධර්‍මය තත්ත්වාකාරයෙන් ම අවබෝධ කරගනියි. හුදෙක් ඇසට පෙනෙන දෙය පමණක් නොව ඇසට නොපෙනෙන දෙය ද වටහා ගනියි. යමෙක් ප්‍රඥා ඇස නොමැතිව ධර්‍මයෙහි යථා ස්වභාවය නොදනී ද ඔහු, “ධර්‍මය නොදන්නා පුහුදුන් වූ අඳබාල ඇස් නැත්තෙකු”යි තමාගේ ප්‍රඥා නම් ඇසින් අවබෝධ කරගනියි. “අපස්සන්තො අපස්සන්තං පස්සන්තං ච න පස්සතී” යනු ප්‍රඥාව නම් ඇස නොමැති නොදක්නා වූ අන්ධ බාලයා, එබඳු වූ ම අඳබාලයකු දැක, “මෙතෙම ධර්‍ම අධර්‍ම දෙක තත් වූ පරිදි නොදනී” යැයි වටහා නො ගනියි, නො දකියි, නොදනියි, එලෙසින් ම ‘තම ප්‍රඥා ඇසින් ධර්‍ම අධර්‍ම දෙකෙහි යථාස්වභාවය දකින්නා වූ පණ්ඩිතයා’ දැක “මොහු මෙවැනි ස්වරූප ඇති උතුමෙකි”යි වටහා නො ගනියි, නො දනියි, එනිසාම අපි පෙර තවුසන් ව සිටිය දී නිවැරදි දැක්මක් නොවූ හෙයින්, සියලු ඥාන සාගරයේ පරතෙරට ගොස් ලොව සියලු දෙය අතැඹුලක් සේ දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගැනීමට අපොහොසත් ව ආවුසෝ වාදයෙන් කථා කළෙමු. උන්වහන්සේ තත්වාකාරයෙන් වටහා නො ගත්තෙමු. දැන් වනාහී බුද්ධානුභාවයෙන් යුක්තව ආර්‍ය්‍යයන් ද පුහුදුන් පුද්ගලයන් ද තත් වූ පරිදි අවබෝධ කරගැනීමට දැකීමට සමත් වෙමි. සේවනය කළයුතු නො කළ යුතු ධර්‍මයන්හි හා පුද්ගලයන් කෙරෙහි තමන් වහන්සේගේ අවිපරීත ප්‍රතිපත්තිය මෙසේ දැක්වූහ.
වප්ප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වජ්ජිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“එකකා මයා අරඤ්ඤෙ” යන ගාථාව ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? මොහුද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කළේය. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පැමිණ, එක් දිනක් බුදුරජාණන් වහන්සේ දැකීමෙන් උපන් ශ්‍රද්ධාව නිසා පැවිදිවිය. කරන ලද පූර්‍ව කටයුතු ඇති වජ්ජිපුත්ත තෙරණුවෝ කමටහන් ගෙන විශාලා මහනුවරට නුදුරුව එක්තරා වන ලැහැබක වාසය කරති. එකල්හි විශාලා මහනුවර මහත් වූ උත්සවය්ක විය. ඒ ඒ තැන නෘත්‍ය ගීත වාදනයන් පැවැත්විණි. මහජනයා තුටු පහටු වූ සිතින් උත්සව සිරි නරඹති. උත්සව සම්පත් විඳිති. එය ඇසූ වජ්ජිපුත්ත තෙරණුවෝ අනුවණින් පැවිද්ද ගැන කළකිරී, විවේක සුවය නොසලකා හරිමින් කමටහන ඉවත දමා තම නො ඇල්ම මෙසේ ගාථාවකින් පැවසූහ.