කෝසලවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
“සද්ධායාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් කෝසල විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? ඔහු ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ හමුවේ දී කුසල් බිජුවට වපුරා ඒ ඒ භවයන් හි දී නොයෙක් පින්කම් සිදුකළේය. ඉතිරි විස්තර අඤ්ජනවනිය තෙරුන්ගේ පුවතෙහි පැමිණි ලෙස ම දතයුතුයි. මෙහි ඇති විශේෂත්‍වය නම්: මේ රජකුමරු ද ඉහත පැවසූ පරිදිම පැවිදි වී, කරන ලද පූර්ව කටයුතු ඇතිව කොසොල් රට එක්තරා ගමක, එක් උපාසක පවුලක් නිසා අරණ්‍යයෙහි වාසය කළේය. ඒ උපාසකයා ද ගස මුල හුන් තෙරණුවෝ දැක කුටියක් කරවා දුන්නේය. තෙරණුවෝ එම කුටියේ වෙසෙමින්, සුදුසු සෙනසුනක් ලැබ සිත එකඟ වූ බැවින් විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“මම හිමවතට නුදුරු තැනක පන් පැදුරක් එළාගෙන වාසය කළෙමි. එදා ආහාරයේ ගිජු නොවූ මම නිතර පන් ඇතිරියෙහි ම වෙසෙන ව්‍රත සමාදානය සුරැකීමි.
මම කලම්බ, බිළලි, තක්කල යන අලවර්‍ග සාරා, ඩෙබර, බදුලුගෙඩි හා බෙලි යන පළතුරු කඩා ගෙන ආහාරයක් සැදුවෙමි.
තුන් ලොවෙහිම පූජා පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මා ගේ සිතැඟි දැන මා සමීපයට වැඩිසේක.
එසේ එළඹි මහෝත්තම වූ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුපියාණන් වහන්සේ මා සතුටු කරමින් එය වැළඳූ සේක. එම දානය වළඳා අවසන් හි උන්වහන්සේ මෙසේ වදාළසේක.
“නුඹ තම සිත පහදා මට බිළාලි අල පිළිගැන්වූයෙහි ද ඒ හේතුවෙන් නුඹ කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහිම දුගතියකට නො යන්නෙහිය.
මෙයින් පනස් සතරවන කල්පයෙහි සත් රුවන් සහිත මහ බලවත් සුමේලය නම් සක්විති රජකෙනෙක් ව උපදින්නෙහි ය.”
මේ මාගේ අවසන් භවය වේ. සියලු භවයන් හි ඉපදීම නසන ලදි. සම්බුදු සසුනෙහි අවසන් ශරීරය දරන්නමෙි. මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මෙසේ රහත්බවට පත් වූ උන්වහන්සේ, විමුක්ති සුවය විඳීම් වශයෙන් උපන් ප්‍රීති වේගයෙන් උදන් අණනසේක්, “සද්ධායාහං පබ්බජිතො” යන ගාථාව වදාළසේක.
එහි “සද්ධාය” යනු භාග්‍යවතුන් වහන්සේ විශාලාවට පැමිණි කල්හි ඒ මහානුභාවය දැක, “මේ සසුන ඒකාන්තයෙන් නෛර්‍ය්‍යාණිකය. එනිසා ඒකාන්තයෙන් මේ ප්‍රතිපත්තියෙන් ජරා මරණ දෙකින් මිදෙන්නෙමි”යි උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි වී, පැවිද්දට පැමිණ, “අරඤ්ඤෙ මෙ කුටිකා කතා” යනු ඒ පැවිද්දට ගැලපෙන පරිදි කැළයෙහි වසනු සඳහා මා හට කුටියක් කරන ලදි. “ආරණ්‍යයේ වසමින් පැවිද්දට ගැලපෙන සේ හුදෙකලාව වාසය කරමි”යි යන අදහසයි. එනිසා කියන ලදි. – “අප්පමත්තො ච ආතාපී - සම්පජානො පතිස්සතො” යනු අරණ්‍යයෙහි වාසයෙන් ලැබූ කාය විවේකයෙන් නිදිවැරීමෙහි යෙදී, එහි සිහියෙන් යුක්තව ම වෙසෙමින් අප්‍රමාදී වූයෙමි. ඇරඹූ වීර්ය ඇතිව කෙලෙසුන් තවන්නෙමි. පූර්වභාග සිහි නුවණේ පරිපූර්ණත්‍වයෙන්, විදසුන් වඩා අර්හත්ඵලාවබෝධය කරගන්නා ප්‍රඥාවෙන්, සිහියේ විපුලත්‍වයට පැමිණ අතිශයින් ම විමසන නුවණින් හා සිහියෙන් යුක්තව වාසය කරමි.” යන අදහසයි. අප්‍රමාදීබව ආදී ගුණ පැවසීම් වශයෙන් මෙම ගාථාවම උන්වහන්සේගේ රහත්බව ප්‍රකාශ කිරීම විය. කොසොල් රට බොහෝ කලක් උන්වහන්සේ විසූ බැවින් “කෝසලවිහාරී” නාමයෙන් ප්‍රකටවූහ.
කෝසල විහාරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සීවලී ස්ථවිරගාථා වර්ණනාව
“තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කකප්පා” යනු ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහුද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයේ දී ඉහතින් පැවසූ ලෙස ම විහාරයට ගොස් පිරිස් කෙළවර හිඳ ධර්‍මශ්‍රවණය කරනුයේ, ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ලාභ ලබන (ප්‍රත්‍ය ලාභ) භික්‍ෂූන් අතුරින් අග තනතුරෙහි පිහිටුවනු දුටුවේය. “මවිසින් ද අනාගතයේ දී මෙබඳු තනතුරක් දරන භික්‍ෂුවක් වේවා”යි දසබලයන් වහන්සේට දන්වා සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහාදානයක් පැවැත්වීය. පසුව “භාග්‍යවතුන් වහන්සේ මම මේ මහා පින්කම කිරීමෙන් වෙනත් කිසිදු සම්පත්තියක් නොපතමි. අනාගත බුදුවරයන් වහන්ස කෙනෙකුගේ ශාසනයේ මම ද නුඹවහන්සේ අගතනතුරෙහි තැබූ ලාභීන්ගෙන් අග්‍ර භික්‍ෂුව මෙන් ලාභීන්ගෙන් අග්‍රවේවා!” යි පැතුවේය. ශාස්තෲන් වහන්සේ එයට අනතුරක් නොවන බව දැක, “මේ නුඹගේ ප්‍රාර්ථනාව අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉටුවන්නේය” යනුවෙන් විවරණ දී වැඩි සේක. ඒ කුලපුතු ද දිවි ඇතිතාක් කුසල් කොට, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බන්‍ධුමතී නුවරින් බැහැර එක් ගමක පිළිසිඳ ගත්තේය. එසමයේ බන්‍ධුමතී නගර වැසියෝ රජු සමග සාකච්ඡා කොට දසබලයන් වහන්සේට දන් දෙති. දිනක් ඔවුහු සියලු දෙනම එක්ව මහා දානයක් පවත්වන්නා හු “අපගේ මහා දානෝත්සවයෙහි කවරක් අඩුපාඩු ද? යි විමසා මීපැණි - උක්සකුරු හා මිදුණු කිරි නිමවූ බව දැන, “මේ අඩු ද්‍රව්‍ය කොතැනින් ගෙන එමුද? යි ජනපදයෙන් නුවරට පිවිසෙන මාර්ගයේ පුරුෂයෙක් තැබුවේය. එකල් හි ගමේ උපන් කුලපුතු, තම ගමෙන් උක්සකුරු ද මිදුණු කිරි කළයක් ගෙන, “ඒවා විකුණා නගරයෙන් කිසිවක් මිළට ගනිමි”යි සිතා නුවර බලා පිටත් විය. නගරාසන්නයේ දී “මුව - අත්පා සෝදා ගෙන නුවර පිවිසෙන්නෙමි”යි සිතා පහසුතැනක් බලන්නේ නඟුල් හිසක් මත වූ මැස්සන් නොමැති දඬු මී වදයක් දැක, “මගේ පිනින් ම මෙය පහළවීයැ” යි කියා අතපය සෝදා පවිත්‍රව එය ද රැගෙන නුවරට පිවිසියේ ය. නුවරුන් විසින් මාර්ගයේ තබන ලද පුරුෂයා ඉදිරියට එන ඔහු දැක, “පින්වත් පුරුෂය! නුඹ මෙම ද්‍රව්‍ය ගෙන යනුයේ කා හට ද?”යි ඇසීය. එවිට එම කුලපුතු “ස්වාමීනි! කිසිවකුට නොවේ, මේවා විකිණීම සඳහා ගෙන යමි”යි පැවසීය. “එසේ නම් මේ කහවණුව ගෙන මේ දඬුමීයත්, උක්සකුරු හා මිදුණුකිරි මාහට දෙන්න”යි එම පුරුෂයා පැවසූ විට, කුලපුතු මෙසේ සිතීය. “මේවා බොහෝ මිල ඇති භාණ්ඩ නොවේ. මොහු එක් වරම බොහෝ මුදලක් දෙයි. මෙය විමසිය යුත්තකි”යි සිතා, එම පුරුෂයාට “මම මේවා එක කහවණුවකට නොදෙමි”යි පැවසීය. “එසේනම් කහවණු දෙකක් ගෙන දෙව”යි නගර වැසි පුරුෂයා කීය. කුලපුතු “කහවණු දෙකකටවත් නොදෙමි” යි මෙසේ කේවල් කර කහවණු දහසකටත් එම භාණ්ඩ ගනු කැමතිවීය.
එවිට ඒ කුලපුතු “මීට වඩා වැඩිකිරීම නුසුදුසුයි. මෙයින් ඇති ප්‍රයෝජනය හෙවත් මේවා මිලට ගන්නේ කුමකට ද? යි විමසා බලමි” යි සිතා එම පුරුෂයාගෙන් “මේ භාණ්ඩ බොහෝ මිල සහිත ඒවා නොවේ. නමුත් මේ සඳහා ඔබ නොවටිනා මුදලක් ගෙවයි. කුමක් සඳහා මේවා මිලට ගන්නේ ද? යි ඇසීය. එවිට එම නගර වැසි පුරුෂයා “මේ අපේ නුවර වැසියෝ රජු සමග තරගයකට විපස්සි බුදුරජාණන් වහන්සේට දන් දෙති. අද මේ ද්‍රව්‍ය දානෝපකරණ අතර නොතිබුණි. එනිසා දැන් ඒවා සොයනු ලැබේ. ඉදින් මේ ද්‍රව්‍ය නොලැබේ නම් නුවර වැසියෝ පරදිති. එනිසා මම මේ ද්‍රව්‍ය කහවණු දාහක් වුවත් දී ගන්නෙමි” යි පැවසීය. “පින්වත, බුදුරජාණන් වහන්සේට දන්දීම නුවර වැසියන්ට පමණක් ම සුදුසු ද? වෙනත් අයට නොහැකි ද? යි කුලපුතු ඇසූවිට, “යම් කිසිවකුට දීමට වස්තුවක් තිබේ නම් ඔහුට ම පැමිණ එය පූජා කළ හැකිය” යි නගර පුරුෂයා කීවේය. එවිට කුලපුතු “මේ නුවරුන්ගේ දානයේ දී කිසිවකු කහවණු දාහක් වටිනා දේ දී තිබේ ද?” යි අසා “යහලුව! නැත” යි පැවසූවිට, “නුඹ මේ ද්‍රව්‍ය දෙක දහසක් අගනා බව කීවා නොවේ ද? එනිසා යව! නුවරුන්ට මෙසේ කියව! “මේ පුරුෂයා කිරි හා පැණි මිල මුදලට නොදෙයි. සියතින් ම පූජා කරනු කැමතිව සිටියි. ඔහුගේ දානයට නුඹලා විරුද්ධ නොවවු, යි දැනුම් දෙව”යි කියා පුරුෂයා යැවීය. නුවර වැසියෝ එය අසා කැමතිව “නුඹ අපගේ දානයේ ජ්‍යෙෂ්ඨ බවට පත්ව කාය සාක්‍ෂි වශයෙන් ම සිටීවා” යි අවසර දුන්හ. ඔහු තම වියදමට ගෙන ආ මස්සකින් කුළු රස ද්‍රව්‍ය පසක් (පංච කුළුරසයක්) ගෙන කුඩුකළේය. පසුව ගොටුවක් ගසා ඊට මී වදය මිරිකා පැණිදමා පංචකුළුරස චූර්‍ණය සමග මනාව කලවම් කරගෙන, එම මිශ්‍රණය නෙලුම් කොළයකට දමා මනාව පිළියෙල කර, දසබලයන් වහන්සේට නුදුරු තැනෙක හුන්නේය. මහජනයා විසින් මහත් වූ සත්කාරයෙන් කරන පූජාවන් දෙස බලා ගෙන තම අවස්ථාව එනතෙක් අතේ දුරින් සිට, තම අවස්ථාව පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, “භාග්‍යවතුන් වහන්සේ මේ දුප්පතාට උපන් පූජාව මා හට අනුකම්පාවෙන් පිළිගන්නාසේක් වා” යි පැවසීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් සිවුමහ රජවරුන් දුන් ශෛලමය පාත්‍රයෙන් එම පූජාව පිළිගෙන, හැට අට ලක්‍ෂයක් වූ භික්‍ෂු මහා සංඝරත්නයට ම මේ පූජාව ප්‍රමාණවත් වේවායි අධිෂ්ඨාන කළසේක. ඒ කුලපුතු නිම වූ බත් කිස ඇති භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ පැවසීය. “භාග්‍යවතුන් වහන්සේ, අද මම බන්‍ධුමතී නුවර වැසියන් විසින් ඔබවහන්සේට කළ පූජාවන් මහත් සත්කාරයන් දුටුවෙමි. මම ද මේ පුණ්‍යකර්මයේ බලයෙන් උපනුපන් ආත්මයන් හි දී ලාභයෙන් ද කීර්තියෙන් ද අග්‍රප්‍රාප්ත වේවා”යි පැතීය. භාග්‍යවතුන් වහන්සේ ද “කුලපුත්‍රය එසේම වේවා” යි වදාරා ඒ නගර වාසීන්ට ද කුලපුතුට ද වළඳා අවසන අනුමෝදනා කථාව පවත්වා විහාරයට වැඩිසේක.