සීවලී ස්ථවිරගාථා වර්ණනාව
“තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කකප්පා” යනු ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහුද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයේ දී ඉහතින් පැවසූ ලෙස ම විහාරයට ගොස් පිරිස් කෙළවර හිඳ ධර්මශ්රවණය කරනුයේ, ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ලාභ ලබන (ප්‍රත්‍ය ලාභ) භික්ෂූන් අතුරින් අග තනතුරෙහි පිහිටුවනු දුටුවේය. “මවිසින් ද අනාගතයේ දී මෙබඳු තනතුරක් දරන භික්ෂුවක් වේවා”යි දසබලයන් වහන්සේට දන්වා සත් දිනක් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට මහාදානයක් පැවැත්වීය. පසුව “භාග්‍යවතුන් වහන්සේ මම මේ මහා පින්කම කිරීමෙන් වෙනත් කිසිදු සම්පත්තියක් නොපතමි. අනාගත බුදුවරයන් වහන්ස කෙනෙකුගේ ශාසනයේ මම ද නුඹවහන්සේ අගතනතුරෙහි තැබූ ලාභීන්ගෙන් අග්‍ර භික්ෂුව මෙන් ලාභීන්ගෙන් අග්රවේවා!” යි පැතුවේය. ශාස්තෲන් වහන්සේ එයට අනතුරක් නොවන බව දැක, “මේ නුඹගේ ප්‍රාර්ථනාව අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉටුවන්නේය” යනුවෙන් විවරණ දී වැඩි සේක. ඒ කුලපුතු ද දිවි ඇතිතාක් කුසල් කොට, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බන්ධුමතී නුවරින් බැහැර එක් ගමක පිළිසිඳ ගත්තේය. එසමයේ බන්ධුමතී නගර වැසියෝ රජු සමග සාකච්ඡා කොට දසබලයන් වහන්සේට දන් දෙති. දිනක් ඔවුහු සියලු දෙනම එක්ව මහා දානයක් පවත්වන්නා හු “අපගේ මහා දානෝත්සවයෙහි කවරක් අඩුපාඩු ද? යි විමසා මීපැණි - උක්සකුරු හා මිදුණු කිරි නිමවූ බව දැන, “මේ අඩු ද්‍රව්‍ය කොතැනින් ගෙන එමුද? යි ජනපදයෙන් නුවරට පිවිසෙන මාර්ගයේ පුරුෂයෙක් තැබුවේය. එකල් හි ගමේ උපන් කුලපුතු, තම ගමෙන් උක්සකුරු ද මිදුණු කිරි කළයක් ගෙන, “ඒවා විකුණා නගරයෙන් කිසිවක් මිළට ගනිමි”යි සිතා නුවර බලා පිටත් විය. නගරාසන්නයේ දී “මුව - අත්පා සෝදා ගෙන නුවර පිවිසෙන්නෙමි”යි සිතා පහසුතැනක් බලන්නේ නඟුල් හිසක් මත වූ මැස්සන් නොමැති දඬු මී වදයක් දැක, “මගේ පිනින් ම මෙය පහළවීයැ” යි කියා අතපය සෝදා පවිත්‍රව එය ද රැගෙන නුවරට පිවිසියේ ය. නුවරුන් විසින් මාර්ගයේ තබන ලද පුරුෂයා ඉදිරියට එන ඔහු දැක, “පින්වත් පුරුෂය! නුඹ මෙම ද්‍රව්‍ය ගෙන යනුයේ කා හට ද?”යි ඇසීය. එවිට එම කුලපුතු “ස්වාමීනි! කිසිවකුට නොවේ, මේවා විකිණීම සඳහා ගෙන යමි”යි පැවසීය. “එසේ නම් මේ කහවණුව ගෙන මේ දඬුමීයත්, උක්සකුරු හා මිදුණුකිරි මාහට දෙන්න”යි එම පුරුෂයා පැවසූ විට, කුලපුතු මෙසේ සිතීය. “මේවා බොහෝ මිල ඇති භාණ්ඩ නොවේ. මොහු එක් වරම බොහෝ මුදලක් දෙයි. මෙය විමසිය යුත්තකි”යි සිතා, එම පුරුෂයාට “මම මේවා එක කහවණුවකට නොදෙමි”යි පැවසීය. “එසේනම් කහවණු දෙකක් ගෙන දෙව”යි නගර වැසි පුරුෂයා කීය. කුලපුතු “කහවණු දෙකකටවත් නොදෙමි” යි මෙසේ කේවල් කර කහවණු දහසකටත් එම භාණ්ඩ ගනු කැමතිවීය.
එවිට ඒ කුලපුතු “මීට වඩා වැඩිකිරීම නුසුදුසුයි. මෙයින් ඇති ප්‍රයෝජනය හෙවත් මේවා මිලට ගන්නේ කුමකට ද? යි විමසා බලමි” යි සිතා එම පුරුෂයාගෙන් “මේ භාණ්ඩ බොහෝ මිල සහිත ඒවා නොවේ. නමුත් මේ සඳහා ඔබ නොවටිනා මුදලක් ගෙවයි. කුමක් සඳහා මේවා මිලට ගන්නේ ද? යි ඇසීය. එවිට එම නගර වැසි පුරුෂයා “මේ අපේ නුවර වැසියෝ රජු සමග තරගයකට විපස්සි බුදුරජාණන් වහන්සේට දන් දෙති. අද මේ ද්‍රව්‍ය දානෝපකරණ අතර නොතිබුණි. එනිසා දැන් ඒවා සොයනු ලැබේ. ඉදින් මේ ද්‍රව්‍ය නොලැබේ නම් නුවර වැසියෝ පරදිති. එනිසා මම මේ ද්‍රව්‍ය කහවණු දාහක් වුවත් දී ගන්නෙමි” යි පැවසීය. “පින්වත, බුදුරජාණන් වහන්සේට දන්දීම නුවර වැසියන්ට පමණක් ම සුදුසු ද? වෙනත් අයට නොහැකි ද? යි කුලපුතු ඇසූවිට, “යම් කිසිවකුට දීමට වස්තුවක් තිබේ නම් ඔහුට ම පැමිණ එය පූජා කළ හැකිය” යි නගර පුරුෂයා කීවේය. එවිට කුලපුතු “මේ නුවරුන්ගේ දානයේ දී කිසිවකු කහවණු දාහක් වටිනා දේ දී තිබේ ද?” යි අසා “යහලුව! නැත” යි පැවසූවිට, “නුඹ මේ ද්‍රව්‍ය දෙක දහසක් අගනා බව කීවා නොවේ ද? එනිසා යව! නුවරුන්ට මෙසේ කියව! “මේ පුරුෂයා කිරි හා පැණි මිල මුදලට නොදෙයි. සියතින් ම පූජා කරනු කැමතිව සිටියි. ඔහුගේ දානයට නුඹලා විරුද්ධ නොවවු, යි දැනුම් දෙව”යි කියා පුරුෂයා යැවීය. නුවර වැසියෝ එය අසා කැමතිව “නුඹ අපගේ දානයේ ජ්‍යෙෂ්ඨ බවට පත්ව කාය සාක්ෂි වශයෙන් ම සිටීවා” යි අවසර දුන්හ. ඔහු තම වියදමට ගෙන ආ මස්සකින් කුළු රස ද්‍රව්‍ය පසක් (පංච කුළුරසයක්) ගෙන කුඩුකළේය. පසුව ගොටුවක් ගසා ඊට මී වදය මිරිකා පැණිදමා පංචකුළුරස චූර්ණය සමග මනාව කලවම් කරගෙන, එම මිශ්‍රණය නෙලුම් කොළයකට දමා මනාව පිළියෙල කර, දසබලයන් වහන්සේට නුදුරු තැනෙක හුන්නේය. මහජනයා විසින් මහත් වූ සත්කාරයෙන් කරන පූජාවන් දෙස බලා ගෙන තම අවස්ථාව එනතෙක් අතේ දුරින් සිට, තම අවස්ථාව පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, “භාග්‍යවතුන් වහන්සේ මේ දුප්පතාට උපන් පූජාව මා හට අනුකම්පාවෙන් පිළිගන්නාසේක් වා” යි පැවසීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් සිවුමහ රජවරුන් දුන් ශෛලමය පාත්‍රයෙන් එම පූජාව පිළිගෙන, හැට අට ලක්ෂයක් වූ භික්ෂු මහා සංඝරත්නයට ම මේ පූජාව ප්‍රමාණවත් වේවායි අධිෂ්ඨාන කළසේක. ඒ කුලපුතු නිම වූ බත් කිස ඇති භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ පැවසීය. “භාග්‍යවතුන් වහන්සේ, අද මම බන්ධුමතී නුවර වැසියන් විසින් ඔබවහන්සේට කළ පූජාවන් මහත් සත්කාරයන් දුටුවෙමි. මම ද මේ පුණ්‍යකර්මයේ බලයෙන් උපනුපන් ආත්මයන් හි දී ලාභයෙන් ද කීර්තියෙන් ද අග්‍රප්‍රාප්ත වේවා”යි පැතීය. භාග්‍යවතුන් වහන්සේ ද “කුලපුත්‍රය එසේම වේවා” යි වදාරා ඒ නගර වාසීන්ට ද කුලපුතුට ද වළඳා අවසන අනුමෝදනා කථාව පවත්වා විහාරයට වැඩිසේක.
දිවිඇතිතාක් පින්දහම් සිදුකළ කුලපුත්‍රයා දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සුප්පවාසා කෝලිය රජ දුවගේ කුස පිළිසිඳ ගත්තේය. එකුමරු පිළිසිඳ ගත් දින පටන් උදේ-සවස පන්සීයක් ගැලින් තෑගි බෝග සුප්පවාසා කෝලිය දුවට ලැබේ. ඉක්බිති ඇය ඒ පින්වත් කුමරුගේ පින්මහිම විමසීමට සියතින් බිජුවට දැමූ ධාන්‍ය පැස ස්පර්ශ කළාය. එක් එක් බීජයෙන් ගැල් සියය, දහස බැගින් ධාන්‍ය ලැබුණි. එක් එක් අමුණු සතරක කුඹුරකින් ගැල් පනහක හෝ හැටක ධාන්‍ය ලැබුණි. අටුව පිරෙන කාලයට අටු දොරකඩ අතින් ස්පර්ශ කරන්නීය රජදුවගේ පිනින් අටුවෙන් ධාන්‍ය ගන්නාවු නමුත් ගත් ගත් තැන නැවත පිරේ. ක්ෂයවීමක් නොමැත. පිරුණු ආහාර භාජන ද රාජ දුවගේ පිනින් පහළවීයැයි කියා යාචකාදීන්ට ආහාර ගෙන දෙනු ලැබුවත් එම භාජන හිස් කිරීමට නොහැකි වේ. දරුවා කුසට පැමිණ වර්ෂ සතක් ම ඉක්මුණාය.
ඒ අවුරුදු සතෙහි ගැබ මුහුකුරා යෑම නිසා මව ද දරුවා බොහෝ දුක් වින්දහ. ඇය තම සැමියා අමතා “මරණයට පෙර, මම ජීවත්ව සිටියදීම දානයක් දෙන්නෙමි. යන්න, ශාස්තෲන් වහන්සේට මේ දුක දන්වා හෙට දින දානය සඳහා ආරාධනා කරන්න. උන්වහන්සේ පවසන දෙය මාහට නොවලහා කියන්න”යි පවසා ඔහු ශාස්තෲන් වහන්සේ සමීපයට යැවුවාය. ඒ කෝලිය රජු ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, තම බිරිඳගේ පණිවුඩය දැනුම් දුන්නේය. “ස්වාමීනි! ඔබවහන්සේ පාදයන් කෝලිය දුව වඳින්නීය” මෙය ඇසූ ශාස්තෲන් වහන්සේ, ඇය කෙරෙහි අනුකම්පා උපදවා, “කෝලිය දුව සුවපත් වේවා! සුවසේ ඉතා නීරෝගී පුතෙකු බිහිකරත්වා”යි වදාළහ. රජු එය අසා භාග්‍යවතුන් වහන්සේට වැඳ තම නිවස බලා ගියේය. ඔහු පැමිණීමට පෙර ම සුප්පවාසාවගේ කුසින්, පෙරහන් කඩකින් වැගිරෙන දිය දෝතක් මෙන් දරුවා නික්මුණි. පිරිවරාගෙන සිටි හඬමින් සිටි ජනයා සිනාසුනහ. තුටු පහටු වූ ජනයා රජුට මේ බව දැන්වීමට ඉදිරියට පැමිණි අතර ඔවුන් එනු දුටු කෝලිය රජ,
“මොවුන්ගේ මේ පැමිණීමෙන් ම දසබලයන් වහන්සේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවීය”යි සිතීය. ඔහු වහා පැමිණ ශාස්තෲන් වහන්සේ වදාළ වචනය කෝලිය දුවට කීවේය. රජදුව “නුඹ විසින් ආරාධිත දානය මංගල්‍ය දානයක් ම වේ. යන්න ශාස්තෲන් වහන්සේට සත්දිනක් සඳහා දානයට ඇරයුම් කරන්න”යි රජු නැවත යැවුවාය. රජු එලෙස ආරාධනා කර සතියක් ම බුදුපාමොක් මහසඟනට මහදන් පැවැත්වීය. සියලු නෑ හිත මිතුරන්ගේ සන්ත්‍රාසයට පත් සිත් නිවමින් උපන් බැවින් දරුවාට “සීවලී” නම තැබීය. ඔහුට ගැබෙහි සත් වසරක් විසීමට සිදු වූ හෙයින් උපන් මොහොතේ සිට තනිවම සෑම කටයුත්තක්ම කළ හැකිවිය. ධර්මසේනාපති වූ සැරියුත් තෙරණුවෝ දානය අවසන් වූ සත්වන දින සීවලී කුමරු හා කථාබහ කළහ. ශාස්තෲන් වහන්සේ ද ධම්මපදයේ එන මේ ගාථාව වදාළසේක.