රමණීයකුටික ස්ථවිරගාථා වර්ණනාව
“රමණීයා මෙ කුටිකා” යනු ආයුෂ්මත් රමණීය කුටික තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙමේ ද පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී කුසල් බිජුවට වපුරා දෙව් මිනිසුන් අතර සැරිසරා, මෙයින් කල්ප එක්දහස් අටසීයකට පෙර පහළ වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම බුදුවරුන්ට යෝග්‍ය ආසනයක් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. මලින් ද භාග්‍යවතුන් වහන්සේට පූජා කර, පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්‍ෂිණා කොට තම නිවසට ගියේය. ඉතිරි විස්තර අඤ්ජන වනිය තෙරුන්ගේ කථාවෙහි කියූ පරිදි ම දතයුතුයි. මෙහි ඇති විශේෂත්‍වය - මොහු ද පැවසූ ලෙසම පැවිදි වී කළ පූර්‍ව කටයුතු ඇත්තේ, වජ්ජි රටෙහි එක්තරා ගමක වූ ආවාසයක කුටියක වෙසේ. එ් කුටිය ඉතා අලංකාරය, දර්ශනීය වේ. ප්‍රසාද එළවයි, මනාව පරිකර්ම කළ බිත්ති ඇත. ආරාමය සිත් අලවන පොකුණු ආදියෙන් විසිතුරුය. මුතු දැලක් වැනි වැලි විසිරුණු බිමක් ඇත. වත් පිළිවෙත් මනාව පිරු තෙරුන්ගේ සිත ද මනාව සුමට වූයේ තාදී ගුණ සහිතව වඩාත් රමණීය ව සිටියි. උන්වහන්සේ එම කුටියෙහි වසනසේක්, විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“අල්ප ශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිසි තාදී ගුණ ඇති අත්‍ථදස්සි බුදුරජාණන් වහන්සේට ම විසින් සිහ සුනක් පූජා කළෙමි.
මල් මිටක් ගෙන ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කළ මම, උතුරු දිශාභිමුඛව ගියෙමි.
ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරන ලද එම පින්කම හේතුවෙන් නිවන ලැබූ මම සියලු භව නසන ලද්දෙමි.
මෙයින් එක්දහස් අටසිය වන කල්පයේ මම යම් දානයක් දුන්නෙම් ද, ඒ හේතුවෙන් මම දුගතියක නූපන්නෙමි. සිංහාසන දානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප හත්සීයකට පෙර, සත්රුවනින් හෙබි, මහත් බල ඇති සන්දිම නම් ක්‍ෂත්‍රිය සක්විති රජව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ තෙරණුවෝ එම ආවාසයේ වසන කල්හි කුටියේ රමණීයබව නිසා විහාර නරඹන මිනිස්සු ඒ ඒ තැනින් පැමිණ කුටිය නරඹති. එක් දිනක් සුරාදියේ ලොල් වූ ස්ත්‍රීහු කිහිප දෙනෙක් එහි අවුත් කුටියේ රමණීය බව දැක, “මෙහි වසන මේ ශ්‍රමණයන් වහන්සේ අප විසින් සිත් ඇදගත හැකි පුද්ගලයෙකි”යි සිතා “ස්වාමීනි! ඔබ වසන තැන අතිශයින් රමණීය වේ. අපි ද රමණීය වූ රූසිරින් යුතු පළමු යොවුන් බවේ සිටි තරුණියෝ වෙමු”යි පවසමින් ස්ත්‍රී ලීලා දැක්වීමට පටන් ගත්හ. මෙය දුටු තෙරණුවෝ තමන් වහන්සේගේ වීතරාගී භාවය ප්‍රකාශ කරන සේක්, “රමණීයා මෙ කුටිකා සද්ධා දෙය්‍යා මනොරමා” යන ගාථාව වදාළ සේක.
එහි “රමණියා මෙ කුටිකා” යනු “ස්වාමීනි! නුඹවහන්සේගේ කුටිය රමණීයවේ” යනුවෙන් නුඹලා විසින් පැවසූ දෙය සත්‍යයකි. මේ මම වසන කුටිය රමණීයයි. මනෝඥ වූ ස්වරූප ඇත. එය ශ්‍රද්ධාවෙන් දුන් ධනයෙන් සෑදුවකි. මෙවැනි ප්‍රියමනාප කර්මාන්තවලින් අලංකාරව පැවිද්දන්ට පිරිනැමු මේ කුටි දානයේ විපාක වශයෙන් මේ මේ කර්මඵල ලැබේ යැයි අදහන ශ්‍රද්ධාකාමී ජනයා විසින්, ධර්‍මය පිළිබඳ ආශාවෙන් දුන් බැවින්, ශ්‍රද්ධාවෙන් දුන් ධනයෙන් මේ කුටිය නිමවන ලදි. ඒ කුටිය එලෙස ශ්‍රද්ධාවෙන් තැන වුවන්ගේ ද මේ කුටිය බලන්නවුන්ගේ ද මෙහි වසන්නවුන්ගේ ද සිත් අලවන බැවින් “මනෝරමා” නම් වේ. නැතිනම් සද්ධා දෙය්‍ය (ශ්‍රද්ධාවෙන් දුන් දෙයින් සැදු) බැවින් ම මනෝරම වේ. ශ්‍රද්ධාවෙන් දන්නෝ සකසා පිළියෙල කොට දෙති. ශ්‍රද්ධාවෙන් දුන් දෙය වළඳන සත්පුරුෂයෝ, දායකයාට බොරු නොකර ප්‍රයෝග සම්පත්තියෙහි නියැලෙති. නුඹලා සිතන පරිදි කාමුක සැප නොසොයති යන අදහසයි. “න මෙ අත්‍ථො කුමාරීහි” යනු යම්හෙයකින් මම කාමයන්ගෙන් වෙන් වූ සිත් ඇත්තෙම් ද එනිසා මා හට කැපකරු දායිකාවන් වශයෙන් වත් කුමරියන්ගෙන්, ස්ත්‍රීන්ගෙන් ප්‍රයෝජනයක් නොමැත. රාග වශයෙන් අවශ්‍යය යන්න ගැන කියනු කිම? එනිසා “මාහට කිසිසේත් ම කුමරියන්ගෙන් ප්‍රයෝජනයක් නැත. කුමරියෝ සමූහයක් මෙහි දී අදහස් කළබව දත යුතුයි. “මා වැන්නවුන් සමීපයේ දී මෙසේ නොපිළිපදින්න. මෙසේ ක්‍රියා නොකරන්න. මෙය නුඹලා, නුඹලාට ම කරගන්නා අවැඩක්. නුඹලාට සමාන වූ ළාමක අදහස් ඇති අය ඉදිරියේදීම නුඹලාගේ මේ ලාමක ක්‍රියාව ශෝභමාන වේ.” යන අදහස දෙමින් “යෙසං අත්‍ථො තහිං ගච්ඡථ නාරියො” යන්න පැවසූසේක. එහි “යෙසං” යනු කාමයෙහි නොකළ කිරුණු, එහි ඇලී - ගැලී වසන්නක් ගේ “අත්‍ථො” යනු ප්‍රයෝජනවත් වේ. “තිහිං” යනු එහි, ඔවුන්ගේ සමීපයට “නාරියො” යනු ඇමතීමයි. ආලපන විභක්තියයි. මෙම ගාථාව ඇසූ ස්ත්‍රීහු මකුවුවා - නිහඬවුවා යටිකුරු මුව ඇතිව පැමිණි මාර්ගයෙන් ම ගියහ. මෙසේ “නමෙ අත්‍ථො කුමාරීහි” යන කාමයෙහි කිසිදු අර්ථයක් නැති බව ප්‍රකාශ කිරීම ම මේ තෙරුන් වහන්සේගේ රහත්බව ප්‍රකාශ කිරීම ලෙස දත යුතුයි.