දුතියකුටිවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
“අයමාහු පුරාණියා” යනු ආයුෂ්මත් දෙවැනි කුටි විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? හෙතෙම පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ සිතින් දැඩි ග්‍රීෂ්ම කාලයේ බට මලකින් සෑදු විජිනිපතක් පූජාකළේය. එය පිළිගත් ශාස්තෲන් වහන්සේ අනුමෝදනා ගාථාවකින් ඔහු සතුටු කළ සේක. ඉන්පසු සිදුවූ තොරතුරු අඤ්ජනවනිය තෙරුන්ගේ කථා පුවත අනුව දත යුතුයි. මෙහි ඇති විශේෂය මෙසේය. - මේ රාජ කුමරු ද කියූ පරිදි ම පැවිදි වී එක්තරා පැරණි කුටියක වසමින් මහණදම් පිළිබඳව නොසිතා, “මේ කුටිය දිරාගියේ ය. මෙවන් පැරණි කුටියක වසමින් මහණදම් පිළිබඳව නොසිතා, “මේ කුටිය දිරාගියේ ය. වෙනත් කුටියක් සෑදීමට සුදුසුයැ”යි නවකම් පිළිබඳව සිතක් ඉපදවීය. උන්වහන්සේගේ දියුණුව කැමති එක් දේවතාවෙක්, සංවේග ඉපදවීම සඳහා ඒ මොහොතේ ම මේ වහා වැටහෙන නමුත් ගැඹුරු අර්ථ ඇති “අයමාහු පුරාණියා” යන ගාථාව පැවසීය.
එහි “අයං” යනු ආසන්නයේ බව හඟවන පඨමා විභක්ති පදයකි “ආහු” යනු “විය” යන අර්ථයයි. ගාථාව සුඛෝච්චාරණය පිණිස දීර්ඝ කරන ලදි. “පුරාණියා” යනු පැරණි වූ දිරාගිය “අඤ්ඤං පත්ථයසෙ නවං කුටී” යනු මේ කුටිය පැරණි, දිරාගිය නිසා මෙයින් අනික් කුටියක් දැන් සැදියයුතු බැවින්. අලුත් කුටියක් පතන්නෙහි? කැමතිවෙහි? සියල්ලෙන් සියල්ල කැමතිවෙහි? “ආසං කුටියා විරාජය පුරාණියා” යනු පැරණි වූවක් මෙන් නව කුටිය පිළිබඳ ආශාව, තණ්හාව, අපේක්ෂාව දුරු කරව! සියලු ම ආකාරයෙන් එහි නො ඇලුණු සිත් ඇති වන්න. කුමක් නිසා ද? නව කුටියෙන් මහණ! නුඹට දුක් ගෙන දේ. මහණ! දැන් නැවත ඉපදීමෙන් දුක් ගෙනදෙන බැවින් දුකයි. එනිසා අනික් නව දුකක් නූපදවා මේ උපන් පැරණි කුටියෙහි ම සිට තමා විසින් කළ යුතු දේ කරන්න. මෙහි අදහස මෙසේ දත යුතුයි. – “මහණ! නුඹ මේ පැරණි තණ කුටිය දිරාගියේ යැයි අනික් නව තණ කුටියක් කරනු කැමැත්තෙහිය. ශ්‍රමණ ධර්ම පිරීමට කැමැත්තක් නැත. මෙසේ කැමති පුද්ගලයා භාවනාවෙහි නිරත නොවීම් වශයෙන් අලුත් භවයක් ඉපිදවීමෙන් නො ඉක්මවීමෙන් අනාගත ශරීර කුටියක් ප්‍රාර්ථනා කිරීම “කුටියක් කරනු කැමතිවීම” නම් වේ. ඒ නව කුටියක් සැදීමට යෑමෙන් වන දුකට වඩා වැඩි වූ ජරාමරණ, ශෝක, පරිදේව ආදී අනේක දුක්ඛයන් ගෙන් මිශ්‍ර වූ බැවින් දුක් සහගත වූ, එනිසා නව තණ කුටියේ මෙන් නව ශරීර කුටියකට ඇති ආශාව, අපේක්ෂාව, දුරුකරව. සියලුම ආකාරයෙන් එහි නො ඇලුණු සිත් ඇති වන්න. මෙසේ නුඹට සසර පැවතුම් දුක නො වන්නේ ය.” මේ දෙවියාගේ වචනය ඇසූ තෙරණුවෝ සංවේග උපදවා ගත්සේක්, විදසුනෙහි සිත පිහිටුවා වෑයම් කර, උත්සාහ කර නොබෝ කලකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට බට මලක් ගෙන විජිනිපතක් බැඳ පිළිගැන් වූයෙමි.
ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ විජිනිපත පිළිගෙන මා අදහස දැනගත්සේක් මෙසේ පැවසූහ.
“යම් සේ මගේ සිරුර නිවේ ද පරිළාහයක් නො වන්නේ ද එසේ ම ඔබගේ සිත ත්‍රිවිධ අග්නියෙන් නිවේවා! කෙලෙසුන්ගෙන් මිදේවා!”
වනය ඇසුරු කළ යම් දේවතා කෙනෙක් වූවාහු ද ඒ සියලු දෙවිවරු, “දායකයාහට දේශනා කරන බුද්ධ වචනය අසමු” යි රැස්වූහ.
එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරා ගෙන වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මෙසේ වදාළ සේක.
“මොහු මේ විජිනිපත පිදීම නිසාත් චිත්තප්‍රණිධිය නිසාත් සුබ්බත නම් වූ සක්විති රජ වන්නේය.”
කුශල මූලයෙන් මෙහෙයූ මොහු පසුව මාලුත නම් සක්විති රජ වේ.
මේ විජිනිපත් දානය නිසාත්, මහත් වූ සත්කාරය නිසාත් කල්ප ලක්ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපදින්නේය.”
එසේ විවරණ ලද මම මෙයින් කල්ප තිස් දාහකට පෙර සුබ්බත නමින් සක්විති රජවරු අටක් වූයෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් නසන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවෙහි පිහිටි තෙරණුවෝ, “මෙය මාහට රහත් වීමට අංකුසයක් වූයේ ය” යි එම ගාථාව ම නැවත දේශනා කළහ. එයම උන්වහන්සේගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව විය. කුටිය පිළිබඳ අවවාදයෙන් ලැබූ ගුණ විශේෂ ඇති බැවින් එම තෙරණුවෝ “කුටිවිහාරිය” නාමයෙන් ප්‍රසිද්ධ වූහ.
දෙවැනි කුටිවිහාරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
රමණීයකුටික ස්ථවිරගාථා වර්ණනාව
“රමණීයා මෙ කුටිකා” යනු ආයුෂ්මත් රමණීය කුටික තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙමේ ද පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී කුසල් බිජුවට වපුරා දෙව් මිනිසුන් අතර සැරිසරා, මෙයින් කල්ප එක්දහස් අටසීයකට පෙර පහළ වූ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම බුදුවරුන්ට යෝග්‍ය ආසනයක් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. මලින් ද භාග්‍යවතුන් වහන්සේට පූජා කර, පසඟ පිහිටුවා වැඳ ප්රදක්ෂිණා කොට තම නිවසට ගියේය. ඉතිරි විස්තර අඤ්ජන වනිය තෙරුන්ගේ කථාවෙහි කියූ පරිදි ම දතයුතුයි. මෙහි ඇති විශේෂත්වය - මොහු ද පැවසූ ලෙසම පැවිදි වී කළ පූර්ව කටයුතු ඇත්තේ, වජ්ජි රටෙහි එක්තරා ගමක වූ ආවාසයක කුටියක වෙසේ. එ් කුටිය ඉතා අලංකාරය, දර්ශනීය වේ. ප්‍රසාද එළවයි, මනාව පරිකර්ම කළ බිත්ති ඇත. ආරාමය සිත් අලවන පොකුණු ආදියෙන් විසිතුරුය. මුතු දැලක් වැනි වැලි විසිරුණු බිමක් ඇත. වත් පිළිවෙත් මනාව පිරු තෙරුන්ගේ සිත ද මනාව සුමට වූයේ තාදී ගුණ සහිතව වඩාත් රමණීය ව සිටියි. උන්වහන්සේ එම කුටියෙහි වසනසේක්, විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -