කුටිවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
“කෙ කුටිකායං” යනු ආයුෂ්මත් කුටි විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙම පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනු දැක, “ජල දානයක් දෙන්නෙමි”යි සීතල දිය ගෙන ප්‍රීතිසොම්නස් භාවයට පැමිණ උඩ බලා අහසට දැමීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය දියුණු කිරීම සඳහා අහසේ වැඩ හිඳිමින් ම එම දිය පිළිගත් සේක. එය දුටු ඔහු අපමණ ප්‍රීතියක් වින්දේය. සෙසු සිදුවීම් ඉහත දැක්වූ අඤ්ජනවනිය තෙරුන්ගේ කථාවේ දැක්වූ පරිදි දත යුතුය. මෙහි ඇති විශේෂත්වය නම් - මේ රජකුමරා පැවිදිව කරන ලද පූර්‍ව කටයුතු ඇති ව, විදසුන් භාවනාවෙහි යෙදී සවස් කාලයක කෙතක් සමීපයෙන් යන කල්හි වැස්සක් හටගත්තේ ය. එවිට කෙත් රකින්නකුගේ ශූන්‍ය (හිස්) වූ කුටියක් දුටු උන්වහන්සේ ඊට ඇතුලු වී, එහි තණ ඇතිරියේ හුන්සේක. වැඩ හුන් මොහොතේ ම තමාට ගැලපෙන සෘතු ලැබීමෙන් සිරුර ප්‍රසන්න වූයේ විදසුන් වඩා, සියලු කෙලෙස් නසා රහත්බවට පත්වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -
“මම අහසෙහි වඩින්නා වූ රන්වන් වූ ගිනිගෙන දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන් ට ආසන වූ බුදුරජාණන් වහන්සේට අතින් දිය ගෙන අහසට විසි කළෙමි. මහාවීර වූ කාරුණික වූ බුදුරජාණන් වහන්සේ එය පිළිගත් සේක.
අහසෙහි වැඩහිඳිමින් ම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, “මේ ජල දානයෙන් ද එහි ප්‍රීතිය ඉපදවීමෙන් ද මොහු කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපදී.” යනුවෙන් පැවසූ සේක.
ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරන ලද එම පින්කම නිසා මම දැන් ජය පරාජ දෙකින් දුරුව නිශ්චල වූ නිවණට පැමිණියෙමි.
මෙයින් කල්ප හයදහස් පන්සීයකට පෙර මම සිවුමහා දිවයිනම ඇතුළත් පෘථිවියට අධිපති වූ සහස්සරාජ නම් වූ සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.
මවිසින් සියළු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ තෙරණුවෝ, එහි වැඩහිඳින කල් හි කෙත් රකින්නා පැමිණ, “කුටියේ කවුද? යි ඇසීය. එය ඇසූ තෙරණුවෝ “භික්ඛු කුටිකායං” යනාදිය පැවසූහ. එවිට කෙත් රකින්නාගේ ද තෙරුන්ගේ ද ප්‍රශ්න පිළිතුරු දෙක එකතු කර -
“කො කුටිකායං? භික්ඛු කුටිකායං” වීතරාගො සුසමාහිත චිත්තො එවං ජානාහි ආවුසො! අමොඝා තෙ කුටිකා කතා” යන වාක්‍ය ගාථාවට නගා සංගායනා කරන ලදි.
එහි “කො කුටිකායං” යනු මේ කුටියේ සිටිනුයේ කවුද? කෙත් රකින්නාගේ ප්‍රශ්නයයි. ඊට දුන් පිළිතුර “කුටියේ භික්‍ෂුවකි” යන්න තෙරුන්ගේ ප්‍රකාශයයි. ඉක්බිති ඒ කෙත් රකින්නා තමන් වහන්සේගේ අනුත්තර දක්‍ෂිණෙය්‍යභාවයට පත් වූ කුටි පරිභෝගය අනුව සතුටු කරවා, මහත් වූ පුණ්‍ය සම්පත්තියක පිහිටුවීමට “වීතරාගො” යනාදිය කියන ලදි. එහි අර්ථ මෙසේ ය. – “එක් කෙලෙස් සිඳ දැමූ භික්‍ෂුවක් නුඹගේ කුටියෙහි හුන්නේ ය. එසේම උන්වහන්සේ අග්‍රමාර්ගයේ ගමන් කිරීමෙන් සියලුම ආකාරයෙන් රාගය සිඳදමන ලද බැවින් වීතරාගී නම් වේ. ඉතා උතුම් වූ සමාධියෙන් නිර්වාණය අරමුණු කර වහා සමාධිගත වූ සිත් ඇති බැවින් මනාව සන්සුන් වූ සිත් ඇත්තෙක් වේ. පින්වත් කෙත රකින්න! මෙහි අර්ථ මා පවසන පරිදි දැනගන්න. අදහන්න. ස්ථිරව පිළිගන්න නුඹගේ කුටිය හිස් නොවූවක් කරන ලදි. නුඹවිසින් සෑදු කුටිය හිස්නොවූ, වඳ නොවූ, ඵල සහිත, සැප ගෙනදෙන්නකි. අර්හත් වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ කෙනෙකු විසින් පරිභෝග කළ බැවිනි. ඉදින් මෙය නුඹ අනුමෝදන් වේනම් එය නුඹට ඉතා බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වේ.”
එය ඇසූ කෙත රකින්නා “මට ඒකාන්තයෙන් ලාභයක් විය, මට වාසනාවක් විය, මේ මගේ කුටියෙහි මෙවැනි වූ ආර්‍ය්‍යයන් වහන්සේ නමක් පිවිස හිඳගත්තේ ද එය මහත් ලාභයකි.” යි පැහැදුණු සිතින් අනුමෝදන් විය. මේ කථා සල්ලාපය දිව කණින් ඇසූ භාග්‍යවතුන් වහන්සේ, කෙත් රකින්නාගේ අනුමෝදන් වීම ද දැන එහි විපාක දැක්වීම් වශයෙන් සැප සම්පත් දක්වන සේක්, කෙත් රකින්නාට මේ ගාථාවන් වදාළසේක.