අඤ්ජනවනිය ස්ථවිරගාථා වර්ණනාව
“අසාන්දිං කුටිකං කත්වා” යනු ආයුෂ්මත් අඤ්ජනවනිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සුදස්සන නම් මාලාකාරයෙක් ව දෑසමන් මලින් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වූහ. සසරේ ඒ ඒ භවයන්හි දී බොහෝ පින්දහම් රැස්කර ගෙන දෙව් - මිනිසුන් අතරෙහිම සැරිසරා, කස්සප භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව මහණදම් පිරූහ. අනතුරුව මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර වජ්ජි රාජකුලයේ ඉපිද වැඩිවියට පැමිණි අවස්ථාවෙහි, විශාලාවේ වැසි නොවසින බැවින් දුර්භික්ෂයක් ද රෝග බියක් ද අමනුස්ස බියක් ද යන ත්රිවිධ භයක් ඇතිවිය. ඒ සියලු තොරතුරු රතන සූත්ර වර්ණනාවෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුයි. භාග්යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ කල්හි ත්රිවිධ භය සන්සිඳී නුවර සුවපත් වූ කල්හි, ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවට බොහෝ දෙව් මිනිස්සු රැස්වූහ. ඒ සියල්ලන්ට ම ධර්මාභිසමය විය. මේ රජ කුමරු බුද්ධානුභාවය දැක ශ්රද්ධාව උපදවා සසුනේ පැවිදිවිය. ඒ සමග පසුව කියැවෙන පුද්ගලයෝ සිවුදෙන ද යහළු ලිච්ඡවි රාජ කුමාරවරු මොහු පැවිදිවන විට ම පැවිදිවූහ. මොවුහු කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිව ප්රියශීලී මිත්රකමින් යුක්තව මහණදම් පිරූහ. එමෙන්ම ඒ සියලු දෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී කුසල් බීජ රෝපණය කිරීම් ආදිය සිදුකළහ. පැවිදිව කළ පූර්ව කටයුතු ඇති උන්වහන්සේ සාකේත නුවර අඳුන් වනයට වැඩ සුසානයක වාසය කරන සමයේ ඉතා ළංවූ වස් විසීම් ඇති බැවින්, මිනිසුන් විසින් අත්හැර දැමුණු දිරාගිය දික් සඟලා පුටුවක් දැක, එය ගල් සතරක් මත තබා මත්තෙහි තණපත් ආදියෙන් වසා, දොරක් යොදා වස් එළඹියහ. එසේ වස් සමාදන් වූ පළමු මාසයේදීම උත්සාහ කර, වෑයම් කර රහත්බවට පත් වූහ. උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ දැක්වේ -
“එකල් හි සුදස්සන නම් මාලාකාරයෙක් වූ මම, ලෝක ජ්යෙෂ්ඨ වූ නර ශ්රේෂ්ඨ වූ පහකළ කෙලෙස් මල ඇති බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
දෑසමන් මල් රැගෙන මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිදුවෙමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ලැබූ මම සතුටු වූයෙම් දිවැස පිරිසිදු කළෙමි.
මම මේ පුෂ්ප පූජාව හේතුවෙන් ද චිත්ත ප්රණිධිය නිසා ද කල්ප ලක්ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.
මීට කල්ප තිස් හයකට පෙර, මම මහත් බල ඇති “දේවුත්තර” නමින් සක්විති රජවරු දාසය දෙනෙක් ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත්බවට පත්ව විමුක්ති සුව විඳින්නා වූ උන්වහන්සේ, සමාපත්තියෙන් නැගිට, එම සමාපත්ති සුවය ම නැවත සිහිපත් කර බලා හටගත් ප්රීතිවේගයෙන් උදන් අනන සේක්, “ආසන්දිං කුටිකං කත්වා” යන ගාථාව වදාළහ.
එහි “ආසන්දිං කුටිකං කත්වා” යන්නෙහි ‘ආසන්දි’ නම් දිගු පා ඇති චතුරස්රාකාර ඇඳ පුටුවකි. දිග පළල සමාන වේ මය. එහි හිඳීමට පමණක් ම හැකිය. සයනය කිරීමට නොහැක, එබඳු ආසන්දි නම් පුටුවෙන් කුටියක් කර, වාසය කිරීම සඳහා ඉහතින් කියූ පරිදිම කුටියක් සාදා, යම් තැනක හිඳ සෘතු විපර්යාස ආදියෙන් පීඩාවක් නොවී සුවසේ මහණදම් පිරිය හැකි ද එබඳු වූ කුටියක් සාදාගෙන, මෙයින් ඉතා උසස් සෙනසුනක් සාදාගත් බව තමන් වහන්සේගේ අල්පේච්ඡ හා ලද දෙයින් සතුටුවන ගුණ මහිම නිසා දක්වයි. ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ මෙසේ පවසා ඇත.
“පල්ලඞ්කෙන නිසින්නස්ස, ජන්නුකෙනාභිවස්සති,
අලං ඵාසු විහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”තී.
අලං ඵාසු විහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”තී.
“පලඟින් හුන්නා වූ වීර්ය වඩන භික්ෂුවට දණ මඬලින් ඔබ්බෙහි තෙමෙන කුටියේ වුවත් පහසුවෙන් වාසය කළ හැකි වේ.”
ඇතැම්හු “ආසන්දි කුටිකං” යන පාඨය දක්වා “ආසන්දියක් පමණ කුටියක් සාදා” යනුවෙන් අර්ථ කියති. සෙසු සම්ප්රදායන් හි “අසුන් ගැනීම්, හිඳගැනීම් ආදියට යෝග්යව මිනිසුන් සඳහා කරන ලද ඇඳක් මත සැදු කුටිය ආසන්දි නම් වේ” යැයි පවසා “ඒ ආසන්දි නම් කුටියක් සාදා” යනුවෙන් අර්ථ කියයි. “ඔගය්හ” යනු ඇතුළු වී, පිවිස “අඤ්ජනවනං” යනු මෙබඳු නමක් ඇති වනයට, අඳුන්වන් හෙවත් කළු පාටින් යුතු මල් වලින් බබලන අඤ්ජන නම් වූ වැල් බහුල ව ඇති බැවින් එම වනය “අඤ්ජනවනය” යන නම ලබා ඇත. ඇතැම් හු “අඤ්ජන යනු විශාල පැලෑටි වර්ගයක් ය” යි කියති. එම පැලෑටි බහුල වූ අඤ්ජන වනයට ඇතුළු වී, ආසන්දි කුටියක් කර (සාදා), “තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං” යනු මවිසින් ත්රිවිද්යා ලබන ලදි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකර වාසය කරන්නෙමි. මෙසේ පද පිළිවෙල ගලපා ගත යුතුයි. මෙම ගාථාවම තෙරුන් වහන්සේගේ රහත් බව ප්රකාශ කිරීම වේ.
අඤ්ජනවනිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කුටිවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
“කෙ කුටිකායං” යනු ආයුෂ්මත් කුටි විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙම පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනු දැක, “ජල දානයක් දෙන්නෙමි”යි සීතල දිය ගෙන ප්රීතිසොම්නස් භාවයට පැමිණ උඩ බලා අහසට දැමීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ ඔහුගේ ප්රසාදය දියුණු කිරීම සඳහා අහසේ වැඩ හිඳිමින් ම එම දිය පිළිගත් සේක. එය දුටු ඔහු අපමණ ප්රීතියක් වින්දේය. සෙසු සිදුවීම් ඉහත දැක්වූ අඤ්ජනවනිය තෙරුන්ගේ කථාවේ දැක්වූ පරිදි දත යුතුය. මෙහි ඇති විශේෂත්වය නම් - මේ රජකුමරා පැවිදිව කරන ලද පූර්ව කටයුතු ඇති ව, විදසුන් භාවනාවෙහි යෙදී සවස් කාලයක කෙතක් සමීපයෙන් යන කල්හි වැස්සක් හටගත්තේ ය. එවිට කෙත් රකින්නකුගේ ශූන්ය (හිස්) වූ කුටියක් දුටු උන්වහන්සේ ඊට ඇතුලු වී, එහි තණ ඇතිරියේ හුන්සේක. වැඩ හුන් මොහොතේ ම තමාට ගැලපෙන සෘතු ලැබීමෙන් සිරුර ප්රසන්න වූයේ විදසුන් වඩා, සියලු කෙලෙස් නසා රහත්බවට පත්වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -