හාරිත ස්ථවිරගාථා වර්ණනාව
“සමුන්නමයමත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් හාරිත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති එම තෙරුන්, ඒ ඒ භවයන්හි ඉපදෙමින් නිර්වාණාවබෝධය පිණිස අනේකවිධ පුණ්‍ය සම්භාර ධර්‍මයන් රැස්කර ගත්තේය. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇති හෙතෙම, කෙළින්ද මලින් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක ලෙස කාම සුගතීන්හිම ඉපදෙමින් අවුත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද “හාරිත” නමින් ප්‍රකට විය. හාරිත වැඩිවියට පත් වූ කල්හි මාපියෝ, ඔහුට සුදුසු කුලයකින් තරුණ බැමිණියක් විවාහ කර දුන්හ. එහු ඇය සමග කම්සුව විඳිමින් පසුවන කල්හි, දිනක් තමාගේත් ඇයගේත් රූපසම්පත්තිය නුවණින් විමසා බැලූ හාරිත කුමරුට පෙර පින් බලයෙන් මෙහෙයවනු ලබන්නේ, “මෙබඳු වූ රූප සම්පත්තිය පවා නොබෝ දිනකින්ම ජරාවට මරණයට පත්වන්නේය”යි කල්පනා විය. එසේ සිතා දින කිහිපයක් ගත වූ විට ඔහුගේ තරුණ භාර්යාව කළු සර්පයෙක් දෂ්ට කිරීමෙන් මිය ගියාය. ඉන් බොහෝ සේ කළකිරුණු හාරිත, ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්‍මශ්‍රවණය කොට ලැබූ ශ්‍රද්ධා ඇත්තේ, සියලු ගිහි බැඳීම් සිඳ සසුනේ පැවිදි විය. හාරිත හිමියෝ සිය චරිතයට ගැලපෙන කමටහන ගෙන, වාසය කළ නමුත් කමටහන සම්පූර්ණ නොවේ. සිත සෘජු කරගැනීම අපහසු වේ. එක අරමුණක සිත නො පිහිටයි. උන්වහන්සේ පිඬු පිණිස ගමට වැඩි මොහොතේ එක්තරා හී වඩුවෙක් හී දඬු යන්ත්‍රයෙහි දමා සෘජු කරනු දැක, “මොවුහු අචේතනි දෙය ද සෘජු කරති, කුමක් හෙයින් මම සිත සෘජු නොකරන්නෙම්ද?”යි සිතා වහා එතැනින් හැරී අවුත්, දිවා කාලයේ වසන තැන හිඳ විදසුන් භාවනාව වැඩීමට පටන් ගත්හ. එවිටම භාග්‍යවතුන් වහන්සේ අහසෙහි හිඳිමින් අවවාද දෙන සේක්, “සමුන්නමයමත්තා නං” යන ගාථාව වදාළ සේක. ඇතැමෙක් මෙම ගාථාව හාරිත තෙරුන්ම තමා වෙනත් අයකු ලෙස සලකාගෙන තමාටම අවවාද පිණිස වදාළ බව කියති.
මෙසේ එම ගාථාවේ “සමුන්නමයං” යනු මැනවින් උත්සාහ ගෙන නැගී සිටින්න. “සමාපත්ති වශයෙන් කුසීත බවට පත්වීමට නොදී, සිත ඉන් නඟා සිටුවමින් වීර්ය සමථයෙහි සිත යොදවන්නේ ය” යන අර්ථයයි. “අත්තානං” යනු සිතයි. නැතිනම් “සමුන්නමයා” යනු කුසීත භාවයෙන් සිත ඔසවා තබයි. මකාරය පද සන්‍ධි කිරීමෙන් පැමිණියකි. නිග්ගහීතයට “ම” ආදේශ වී ඇත. (සමුන්නමයං+අත්තානං) “හීන වූ වීර්ය ඇති බැවින් නුඹගේ සිත කමටහනෙහි මැනවින් නොපිහිටයි. එනිසා වීර්ය ඇරඹීම් වශයෙන් මනාව සිත කමටහනෙහි ඔසවා තබව. පහත්බවට, දීන බවට නොයා උත්සාහ කරව.” යන අදහසයි. මෙසේ උත්සාහ කරමින් “උසුකාරොව තෙජනං චිත්තං උජුං කරිත්‍වාන අවිජ්ජං හින්‍ද හාරිත!” යනු යම් සේ හී වඩුවා ඊතලයක් මඳක් ඉහළට නංවා, පහතට නංවා, විදිනු ලැබූ කල්හි ඉලක්කය බිඳලීමට සමත් වනසේ සෘජු කරන්නේ ද එලෙසින්ම කුසීත බවින් පහතට වැටීමෙන් ආරක්‍ෂාවීම් වශයෙන්ද උඩඟුබවින් ඉහළට යෑමෙන් වැලකීම් වශයෙන් ද; අර්පණා සම්පත් ලැබීම් වශයෙන් සිත සෘජුකරවා, සන්සුන් සිත් ඇතිව, විදසුන් වඩා වහාම අග්‍ර වූ මාර්ග ඤාණයෙන් අවිද්‍යාව බිඳ වනසා දමන්නෙහි. මෙය ඇසූ තෙරුන් වහන්සේ නොබෝ වේලාවකින්ම රහත් බව ලබාගත් සේක. මෙම චරිත විස්තරය අපදාන පාළියේ මෙලෙස සඳහන් වේ. (කුටජ පුප්ඵිය ත්‍ථෙරාපදානං අපදාන පාළි II)
“හිමවතට නුදුරෙහි වස්සල නම් පර්වතයක් විය. එහි කඳු අතරෙහි සුදස්සන නම් (පසේ) බුදුරජාණන් වහන්සේ වාසය කරන සේක.
මම හිමවතෙහි හටගත් මල් රැගෙන අහසින් යන්නේ සිවුඕඝ තරණය කළ ආශ්‍රව රහිතව වෙසෙන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
කෙළිද මල් හිසින් දරාගෙන, ඇඳිලි බැඳ, දතයුතු සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත් මහර්ෂී වූ බුදුපියාණන් වහන්සේට පූජා කළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර කරන ලද පුෂ්ප පූජාවේ ආනිසංස වශයෙන් මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙසේය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි”
රහත් බවට පත්ව, තමන් වහන්සේගේ කටයුතු නිමාකළ බව දැන්වීම් වශයෙන් එම ගාථාවම නැවත වදාළ සේක්.
හාරිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“ආබාධෙ මෙ සමුප්පන්නෙ” යනු ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, නිවන් සුවය පතාගෙන බොහෝ පින්දහම් සිදුකරමින් සසර සැරිසරන කල්හි, මීට කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ චන්දභාග නම් නදියෙහි වූ මහත් වූ ගැඹුරු තැනක කිඹුලෙක් වී උපන්හ. එම කිඹුලා දිනක් පරතෙරට යනු කැමතිව නදී තෙරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේ එතෙර කරනු කැමතිව ඉවුරට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිටෙහි පා තැබූ සේක. එකෙණෙහිම සතුටු සිතැති කිඹුලා, ඔද වැඩී ගිය ප්‍රීති වේගයෙන් උත්සාහය දෙගුණ කරගෙන සැඩපහර සිඳිමින් වහාම භාග්‍යවතුන් වහන්සේ පරතෙරට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ කිඹුලාගේ සිත පැහැදුණු බව දුටුසේක් “මෙතෙම මේ අත්බවින් චුතව දෙව්ලොව උපදින්නේ ය. එතැන් පටන් කාම සුගතීන්හිම උපදින්නේ ය. මෙයින් කල්ප අනූ හතරකට පසුව නිර්වාණාවබෝධය ලබන්නේ ය” යනුවෙන් වදාරා වැඩි සේක.