උත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“ආබාධෙ මෙ සමුප්පන්නෙ” යනු ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, නිවන් සුවය පතාගෙන බොහෝ පින්දහම් සිදුකරමින් සසර සැරිසරන කල්හි, මීට කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ චන්දභාග නම් නදියෙහි වූ මහත් වූ ගැඹුරු තැනක කිඹුලෙක් වී උපන්හ. එම කිඹුලා දිනක් පරතෙරට යනු කැමතිව නදී තෙරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේ එතෙර කරනු කැමතිව ඉවුරට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිටෙහි පා තැබූ සේක. එකෙණෙහිම සතුටු සිතැති කිඹුලා, ඔද වැඩී ගිය ප්‍රීති වේගයෙන් උත්සාහය දෙගුණ කරගෙන සැඩපහර සිඳිමින් වහාම භාග්‍යවතුන් වහන්සේ පරතෙරට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ කිඹුලාගේ සිත පැහැදුණු බව දුටුසේක් “මෙතෙම මේ අත්බවින් චුතව දෙව්ලොව උපදින්නේ ය. එතැන් පටන් කාම සුගතීන්හිම උපදින්නේ ය. මෙයින් කල්ප අනූ හතරකට පසුව නිර්වාණාවබෝධය ලබන්නේ ය” යනුවෙන් වදාරා වැඩි සේක.
එකී ලෙසම ඒ කිඹුලා කාම සුගතීන්හි ම සැරිසරා, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ කල්හි, සැවැත් නුවර එක්තරා බ්‍රාහ්මණයෙකුගේ පුත්‍රව “උත්තිය” නමින් ඉපදුණි. එම බමුණා වැඩිවියට පැමිණ “නිවණ සොයන්නෙමි”යි පිරිවැජියෙක්ව එහෙ මෙහෙ සැරිසරන විට භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක ළඟට පැමිණ ධර්‍ම ශ්‍රවණය කොට, ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනෙහි පැවිදි විය. පැවිදි වුවත් ශීලාධියෙන් අපිරිසිදු වූ නිසා ආර්ය ගුණ විශේෂයක් උපදවා ගත නොහැකි විය. වෙනත් භික්‍ෂුවක් ආර්ය ගුණ විශේෂ උපදවාගෙන රහත්බව ප්‍රකට කරනු දුටු උත්තිය තෙරුන් වහන්සේ, ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ඉතා සංක්‍ෂිප්ත මාර්ගයේ මුල් පියවර වූ සීලයම පිරිසිදු කරව”යි යනාදී ලෙස සංක්‍ෂිප්තව අවවාද කළ සේක. ඒ අනුව විදසුන් වැඩීම ඇරඹූ උත්තිය හිමියන්ගේ ශරීරයේ ආබාධයක් ඇති විය. එම ආබාධය උපන් කල්හි වඩාත් කළකිරුණු සිත් ඇතිව වඩ වඩාත් වෙර වඩා විදර්ශනා භාවනාවට සිත් යොමුකළ උන්වහන්සේ රහත් ඵලය සාක්‍ෂාත් කරගත්හ. මෙය අපදාන පාළියේ මෙ ලෙසින් විස්තර වේ. (අපදාන පාළි I, උත්තරිය ථෙරාපදානං)
“එකල මම චන්‍ද්‍රභාගා නදී තීරයේ කිඹුලෙක්ව උපන්නෙමි. ගොදුරු සෙවීමෙහි යෙදුණු මම නදී තොටට පැමිණියෙමි.
එවිට තමන් වහන්සේම ලොව සියල්ල අවබෝධ කරගත්, අග්‍ර පුද්ගල වූ ඒ සිද්ධත්‍ථ බුදුරජාණන් වහන්සේ, ගඟ තරණය කරනු කැමතිව නදී තොටට පැමිණි සේක.
එකල්හි මම ද එතැනට ගියෙමි. ගොස් උන්වහන්සේට මෙසේ සැලකළෙමි.
“මහාවීරයන් වහන්ස! මාගේ පිටට නගිනු මැනවි. මම ඔබවහන්සේ ගඟින් එතෙර කරන්නෙමි. පිය පරපුරින් මේ නදිය මාහට හිමිවිය. මුනීන්‍ද්‍රයනි! අනුකම්පා කළ මැනවි.”
එසේ කරන ලද මාගේ ඇරයුම පිළිගත් බුදුරජාණන් වහන්සේ මා පිටට නැගුණු සේක. සතුටු සිතින් පිනාගිය මම ලෝකනාථයන් වහන්සේ ගඟන් එතෙර කළෙමි.
“ගඟෙහි එතෙරට වැඩි සිද්ධත්‍ථ බුදුපියාණෝ “නුඹ නිවණට පැමිණෙන්නෙහිය”යි වදාරා මා සැනසූ සේක.
ඉන් චුත වූ මම දෙව්ලොව ඉපදුනෙමි. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන දිව සැප වින්දෙමි.
ශක්‍ර දේවේන්‍ද්‍රව සත් වරක් උපන් මම දේව්රජය කරවීමි. තෙවරක්ම පෘථිවියට ම ප්‍රධාන වූ සක්විති රජ වූයෙමි.
දැන් මම විවේකයෙහි ඇලී, ප්‍රඥා ඇතිව, මනාව සංවර කරගත් ඉඳුරන් ඇතිව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව අන්තිම සිරුර දරමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර නරශ්‍රේෂ්ඨ වූ තථාගතයන් වහන්සේ ගඟින් එතෙර කිරීමේ කුශලයේ බලයෙන් මම මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ගඟින් එතෙර කිරීමේ පුණ්‍ය මහිමය එවැනිය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ උත්තිය තෙරුන් වහන්සේ තමාගේ ශ්‍රමණ පිළිවෙත් සම්පූර්ණ කිරීම අවසන් කළ බව ප්‍රකට කිරීම් වශයෙන් සිය අර්හත්‍වය පවසන සේක්, “ආබාධෙ මෙ සමුප්පන්නෙ” යන ගාථාව වදාළ සේක.
එහි “ආබාධෙ මෙ සමුප්පන්නෙ” යනු පුද්ගල ශරීරය ආබාධිත, රෝගීබවට පත් කරන හෙයින් “ආබාධ” නම් වූ ධාතු ප්‍රකෝපවීමෙන් හටගත් රෝගයක් මා තුළ හටගත් කල්හි ද “සති මෙ උපපජ්ජථ” මට ඒ පිළිබඳ සිහිය උපදියි. “මට ආබාධයක්, වේදනාවක් උපන්නේය. එයට ඉඩ හසර ලබාදුනහොත් එම ආබාධය තව තවත් වැඩෙන්නේය. යම් සේ මේ ආබාධය නොවැඩේද එලෙසින් වීර්යාරම්භ කරමි. නොපැමිණි ඵලයන්ට පැමිණීම සඳහාත්, අවබෝධ නොකල සත්‍යයන් අවබෝධ කර ගැනීම සඳහාත්, සාක්‍ෂාත් කරගත නොහැකි වූ දෙය සාක්‍ෂාත් කරගැනීමටත් වීර්යාරම්භ කරමි. එම වීර්යාරම්භයට පාදක වූ සිහිය නිසා දුක් වේදනාවලින් පෙළනු ලැබූවත් මා හට සිහියෙන් යුතුව සිටීමට හැකි විය. මා කෙරෙහි වීර්ය පහළ විය. එනිසා කියන ලදි. “මා කෙරෙහි ආබාධය උපන් කල්හි. එය අප්‍රමාදීවීමට මට කාලයයි” යනුවෙන් සිතා ආබාධය පැවතියත් සිහිය අංකුසයක් (හෙණ්ඩුවක්) කරගෙන මේ උත්තය තෙරුන් වහන්සේ රහත් බවට පත්වූ සේක.