ජම්බුගාමිය ස්ථවිරගාථා වර්ණනාව
“කච්චි නො වත්ථ පසුතො” යනු ආයුෂ්මත් ජම්බුගාමිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එහිමියෝ පෙර බුදුවරුන් ඉදිරියෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන පතාගෙන බොහෝ කුසල් රැස්කර, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී මනුෂ්යයෙක් ව උපන්හ. දිනක් ඔහු එරබදු මල් දැක, ඒ මල් නෙලා ගෙන බුදුගුණ සිහිකරමින් භාග්යවතුන් වහන්සේ උදෙසා පූජාකරමින් අහසට විසි කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුණි. ඉන් පසුවද තව තවත් පින්දහම් කරමින් දේව මනුෂ්යාත්මභාවයන්හි ඉපිද අපගේ බුදුරදුන් ලොව පහළ වූ සමයේ චම්පාවේ ජම්බුගාමිය නම් උපාසකයාගේ පුතු වී උපන්නේය. එනිසා එකුමරුට ජම්බුගාමිය පුත්ත යන නම භාවිත විය. ඔහු වැඩිවියට පත්ව භාග්යවතුන් වහන්සේ සමීපයේදී ධර්මය ශ්රවණය කොට, ලබන ලද සංවේග ඇතිව සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති උන්වහන්සේ කමටහන් ගෙන සාකේත නුවර අඳුන් වනයෙහි වෙසෙති. ඉක්බිති උන්වහන්සේගේ පියතුමා, “කිම මාගේ පුතා සසුනේ පැවිදිව කැමැත්තෙන් වෙසේ ද? නැතිනම් අකමැතිව වෙසේ ද?”යි විමසා දැන ගැනීමට “කච්චි නො වත්ථ පසුතො” යන ගාථාව ලියා උන්වහන්සේ වෙත එව්වේය. උන්වහන්සේ එය කියවා, “මගේ පියා ප්රමාදව වාසය කිරීම සැකකරයි. මම අදම පුහුදුන් බවින් මිදෙන්නෙමි”යි අද දක්වාම මා හට පුහුදුන් බවින් මිදීමට නොහැකි වීය”යි සංවේග උපදවා වහ වහා උත්සාහ කර, වෑයම්කර නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලබාගත් සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ.
“එරබදු ගසක පිපුණු මල් දුටු මම, ඒවා කඩාගෙන ශ්රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ සිහිපත් කර, ඇදිලි බැඳගෙන අහසෙහි එම මල් පූජා කළෙමි.
මැනවින් කරන ලද ඒ කර්මයේ බලයෙන් ද චිත්ත ප්රණිධිය හේතුවෙන් ද මම මනුෂ්ය ශරීරය හැරදමා තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්මයක් සිදු කළෙම් ද එතැන් සිට දුගතියක් නම් නුදුටුවෙමි. මල් පූජාවෙහි විපාකය මෙබඳුය.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.
රහත් බවට පත්වී නෑයන් වසන නුවරට වැඩි උන්වහන්සේ බුදුසසුනේ නෛර්යානික බව ප්රකාශ කරමින් සෘද්ධිමය පෙළහරක් දැක්වූහ. එය දුටු ඤාතීහු පැහැදුණු සිතැතිව බොහෝ සංඝාරාම කරවූහ. තෙරුන් වහන්සේද තම පියා විසින් එවූ ගාථාව හෙන්ඩුවක් මෙන් ගෙන උත්සාහ කර, වෑයම් කර රහත් බවට පත්වූහ. රහත් බව ප්රකාශ කරන උන්වහන්සේ සිය පියාට ගෞරවයක් ලෙස ඔහු එවූ “කච්චි නො වත්ථපසුතො” යන ගාථාව ම වදාළ සේක.
එහි “කච්චි” යනු ප්රශ්නාර්ථයේ නිපාතයකි. “නො” යනු ප්රතිශේෂාධාර්ථ නිපාතයකි. “වත්ථ පසුතො” යනු වස්ත්ර සැකසීමෙහි නිරත වූ. සිවුරෙන් සැරසීමට අතිශයින් කැමති වූ. එහි ඇලුණු. මෙය නිදසුන් වශයෙන් දැක්වීමක් පමණි. පාත්රා සැරසීම් ආදි චපල, අස්ථිර ගති ස්වභාවයන් ද මෙහිදී අදහස් කරන ලදි. “කච්චි න වත්ථ පසුතො” යන පාඨය ද සුදුසුය එහි ද මුලින් පැවසූ අරුතම ඇත. “භූසනාරතො” යනු ශරීරය සැරසීමෙහි කැමති වූ, අතිශයින් ඇලුණු. ඇතැම්හු සසුනේ පැවිදිකය පිළිබඳ දැඩි බැඳීම නිසා සිවුරු ආදි පිරිකර සෙවීම ද ශරීරය අලංකාරය කිරීම, සැරසීමෙහි යෙදුනාහු වෙති. “කිම නුඹ වහන්සේ පිරිකර සෙවීමෙහි ද ශරීරය සැරසීමෙහි ද නිරත නොවූවාහු ද?” යනු මේ මුල් ගාථා පද දෙකේ අර්ථයයි. “සීලමයං ගන්ධං” යනු නොකැඩීම් වශයෙන් ඉතා පිරිසිදු වූ සතර විධ සංවර ශීලයෙන් මනාව උපලක්ෂිත වූ. “යමෙකු වෙත ඇති උතුම් සිල් සුවඳ දෙවියන් කෙරෙහි ද හමායන්නේය” යනුවෙන් පැවසූ ලෙ සීලය සුවඳකි. කිම නුඹගේද සිල් සුවඳ හමන්නේද? සීල සම්පත්තිය හා යහපත් වූ කිතු ගොස පැතිරවීමෙන් නුඹ සැම දිසාවක්ම අලංකාර කරන්නෙහි ද?” “නෙතරා පජා” යනු සෙසු දුසිල් පුද්ගලයෙක් නොවේ. දුසිල් බව නිසා දුසිල් පුද්ගලයන්ගෙන් දුගඳ හමයි. මෙසේ නුඹගෙන් දුගඳ නොහමා, කිම සීලමය වූ සුවඳක්ම හමන්නේ ද?” යන අර්ථයයි. නැතහොත් “නෙතරා පජා” යනු සෙසු දුසිල් ජනයාගෙන් කෙනෙකු නොවේ. “යම් සේ සිල් සුවඳම හමන්නේය” යන විවරණය අනුව මෙහිදී සිල් සුවඳ හැමීම ම ප්රකටව දක්වයි.
ජම්බුගාමිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
හාරිත ස්ථවිරගාථා වර්ණනාව
“සමුන්නමයමත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් හාරිත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇති එම තෙරුන්, ඒ ඒ භවයන්හි ඉපදෙමින් නිර්වාණාවබෝධය පිණිස අනේකවිධ පුණ්ය සම්භාර ධර්මයන් රැස්කර ගත්තේය. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සුදස්සන නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇති හෙතෙම, කෙළින්ද මලින් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක ලෙස කාම සුගතීන්හිම ඉපදෙමින් අවුත්, අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද “හාරිත” නමින් ප්රකට විය. හාරිත වැඩිවියට පත් වූ කල්හි මාපියෝ, ඔහුට සුදුසු කුලයකින් තරුණ බැමිණියක් විවාහ කර දුන්හ. එහු ඇය සමග කම්සුව විඳිමින් පසුවන කල්හි, දිනක් තමාගේත් ඇයගේත් රූපසම්පත්තිය නුවණින් විමසා බැලූ හාරිත කුමරුට පෙර පින් බලයෙන් මෙහෙයවනු ලබන්නේ, “මෙබඳු වූ රූප සම්පත්තිය පවා නොබෝ දිනකින්ම ජරාවට මරණයට පත්වන්නේය”යි කල්පනා විය. එසේ සිතා දින කිහිපයක් ගත වූ විට ඔහුගේ තරුණ භාර්යාව කළු සර්පයෙක් දෂ්ට කිරීමෙන් මිය ගියාය. ඉන් බොහෝ සේ කළකිරුණු හාරිත, ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මශ්රවණය කොට ලැබූ ශ්රද්ධා ඇත්තේ, සියලු ගිහි බැඳීම් සිඳ සසුනේ පැවිදි විය. හාරිත හිමියෝ සිය චරිතයට ගැලපෙන කමටහන ගෙන, වාසය කළ නමුත් කමටහන සම්පූර්ණ නොවේ. සිත සෘජු කරගැනීම අපහසු වේ. එක අරමුණක සිත නො පිහිටයි. උන්වහන්සේ පිඬු පිණිස ගමට වැඩි මොහොතේ එක්තරා හී වඩුවෙක් හී දඬු යන්ත්රයෙහි දමා සෘජු කරනු දැක, “මොවුහු අචේතනි දෙය ද සෘජු කරති, කුමක් හෙයින් මම සිත සෘජු නොකරන්නෙම්ද?”යි සිතා වහා එතැනින් හැරී අවුත්, දිවා කාලයේ වසන තැන හිඳ විදසුන් භාවනාව වැඩීමට පටන් ගත්හ. එවිටම භාග්යවතුන් වහන්සේ අහසෙහි හිඳිමින් අවවාද දෙන සේක්, “සමුන්නමයමත්තා නං” යන ගාථාව වදාළ සේක. ඇතැමෙක් මෙම ගාථාව හාරිත තෙරුන්ම තමා වෙනත් අයකු ලෙස සලකාගෙන තමාටම අවවාද පිණිස වදාළ බව කියති.