ලෝමසකඞ්ගිය ස්ථවිරගාථා වර්ණනාව
“දබ්බං කුසං” යනු ආයුෂ්මත් ලෝමසකංගිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ මීට කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්යවතුන් වහන්සේ දැක, පැහැදුනු සිතින් නාමලින් උන්වහන්සේට පිදූහ. ඒ පින්කම නිසා දෙව්ලොව ඉපිද, නැවත නැවත පින්දහම් සිදුකර කාම සුගතීන්හිම සැරිසැරූ උන්වහන්සේ කාශ්යප භාග්යවතුන් වහන්සේගේ සසුනේ පැවිදිව මහණදම් පිරූහ. එසමයෙහි ශාස්තෲන් වහන්සේ භද්දේකරත්ත ප්රතිපදාව දේශනා කළ බැවින් එක්තරා භික්ෂුවක් භද්දේකරත්ත සූත්රය රැගෙන ලෝමසකංගිය තෙරුන් සමග සාකච්ඡා කළේය. නමුත් උන්වහන්සේට එකරුණු නොවැටහේ. නොවැටහෙන කල්හි “මම අනාගතයේදී නුඹ වහන්සේට භද්දේකරත්ත සූත්රය වටහා දීමට සමත් වන්නෙමි”යි ප්රාර්ථනාවක් කළේය. අනික් භික්ෂුව “විචාරන්නේ නම් මැනවි”යි කීවේය. ඔවුන් අතුරින් පළමු තෙරුන් වහන්සේ බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේදී කපිලවස්තුවේ ශාක්ය රාජකුලයෙහි උපන්හ. ඔහු ඉතා සියුමැලි බැවින් බල්ලකුගේ මෙන් පා තලයෙහි ලෝම ඇති විය. එනිසා ඔහුට “ලෝමසකංගිය” යන නම තබන ලදි. අනික් තෙරුන් දෙව්ලොව ඉපිද චන්දන දෙව්පුත් නමින් ප්රකට විය. “ලෝමසකංගිය කුමරු, සෙසු අනුරුද්ධාදී ශාක්ය කුමාරවරු සමග ගොස් පැවිදිවීමට අකමැති විය. එනිසා ඔහු සංවේගයට පත් කිරීම සඳහා චන්දන දෙව්පුත් පැමිණ භද්දේකරත්තය පිළිබඳව විමසීය. කුමරු එය නොදත්තේය. චන්දන දෙව්පුත් “නුඹ කුමක් නිසා ‘මොහුට භද්දේකරත්තය කියන්නෙමි”යි පොරොන්දු වූයෙහි? දැන් නුඹ එහි නමවත් නොදන්නෙහි යැ”යි චෝදනා කළේය. ලෝමසකංගිය කුමරු දෙව්පුත් සමග භාග්යවතුන් වහන්සේ හමුවීමට ගොස්, “ස්වාමීනි, මවිසින් පෙර මොහුට භද්දේකරත්තය ප්රකාශ කරන බවට පොරොන්දුවක් වූයේද?”යි විචාළේය. භාග්යවතුන් වහන්සේ, “එසේය, කුල පුත්රය! කාශ්යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දී නුඹ එබඳු පොරොන්දුවක් වූයෙහිය”යි වදාළ සේක. ඒ මේ අර්ථ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සඳහන් වන අයුරින්ම විස්තර දත යුතුයි. ඉක්බිති ලෝමසකංගිය කුමරු, “ස්වාමීනි! එසේ නම් මා පැවිදි කළ මැනවි”යි කීවේය. භාග්යවතුන් වහන්සේ, “තථාගතවරු මවුපියන් විසින් නොඅනුදත් පුතුන් පැවිදි නොකරන්නාහ”යි එම ඉල්ලීම ප්රතික්ෂේප කළ සේක. එකුමරු තම මවු සමීපයට ගොස් “මෑණියනි! මට පැවිදිවීමට අවසර දෙනු ලැබේවා”යි කීවේය. මව, “දරුව! නුඹ ඉතා සියුමැලිය. එනිසා නුඹ කෙසේ නම් පැවිදි වන්නෙහිද?”යි ඇසූ කල්හි තමාට උවදුරු ඉවසීමට හැකි බව පවසන ලෝමසකංගිය කුමරු “දබ්බං කුසං පොටකිලං” යන ගාථාව ප්රකාශ කළේය.
එහි “දබ්බං” යනු දබ්බ නම් තණකොළ වර්ගයයි. “සද්දූල්” “හී තණ” යනු ද එයට ම පැවසෙන නමකි. “කුසං” යනු කුස තණයි. බට ගස් වර්ගයකි. “පොට කිලං” කටු සහිත හා කටු රහිත වැලුක් පැලෑටිය. මෙහිදී කටු සහිත වැලුක්ම අදහස් කරන ලදි. සැවැන්න මුල් ආදිය මැනවින් දැනගත හැකිය. දබ්බාදී තෘණ වර්ග ද සැවැන්න ආදී තණ ද පයින් පාගන ලද්දේ දුක් ඇති කරයි. ගමනට අනතුරක් කරයි. එම තණවර්ග උරයෙන්ම ඉවත් කරන්නෙමි. උරයෙන් බැහැර ලමි. මෙසේ ඉවත් කරද්දී ඇතිවන කටුක දුක ඉවසිය හැක්කෙමි. එනිසා කැළයේ රුක් ගොමු අතරට පිවිස මහණදම් පිරීමට මා හට හැකිවන්නෙමි. එනිසා පයින් ඒවා පෑගීමෙහි කවර කථාවක්ද?”යි අසයි. “විවේකමනුබ්රෑහයං” යනු කාය විවේකය, චිත්ත විවේකය හා උපධි විවේකය වඩමින්. සමූහ වාසය අත්හැර හුදකලාව කාය විවේකය වඩන්නේම තිස් අටක් වූ අරමුණු අතරින් යම්කිසි අරමුණක සිත සමාධිගත කිරීමෙන් චිත්ත විවේකය ද වඩන්නේ ය. සමූහවාස නොමැති සන්සුන් සිතැත්තාට ම විදර්ශනාවට සිත යොමු කිරීමෙන් සමථය ද විදර්ශනාව ද වැඩිය හැකි වේ. මෙම භාවනා දෙකෙහි සිත මාරුවෙන් මාරුවට යොදවන්නාගේ කෙලෙස් ක්ෂයවීමෙන් උපධි විවේකය ඇති වේ. නොසන්සුන් සිත් ඇත්තාට මෙය නො ලැබේ. එනිසා “විවේකසුව වඩමින්” යනුවෙන් කියන ලදි. කාය, චිත්ත හා උපධි විවේකය වඩමින් යන අර්ථයයි. මෙසේ පැවසූ කල්හි එකුමරුගේ මව “එසේ නම් දරුව නුඹ පැවිදි වන්න” යි අවසර දුන්නාය. ඔහු නැවත භාග්යවතුන් වහන්සේ වෙත ගොස් පැවිද්ද ඉල්වීය. ශාස්තෲන් වහන්සේ ඔහු පැවිදි කළ සේක. ඔහු පැවිදි වී කරන ලද පූර්ව කටයුතු ඇතිව, කමටහන් ගෙන අරණ්යයට පිවිසි කල්හි භික්ෂූහු මෙසේ පැවසූහ. “ඇවැත්නි! නුඹ ඉතා සියුමැලිය. ආරණ්යයෙහි වාසය කිරීමට සමත්වන්නෙහිද?” යි විමසූ එම තෙරවරුන්ට ද ලෝමසකංගිය තෙරුන් එම ගාථාවෙන්ම පිළිතුරු දුන්නේය. අරණ්යයට පිවිසි උන්වහන්සේ භාවනාවෙහි සිත් යොමුකළ සේක්, නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලබාගත් සේක. එම විස්තරය අපදාන පාළියේ මෙලෙස දැක්වේ.
“රන්වන් ශරීර ශෝභාවෙන් යුක්ත වූ ලෝවැසියාගේ පූජාවන් පිළිගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීථියට වැඩම වූ අවස්ථාවෙහි මම නා මලින් උන්වහන්සේ පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් පූජාවක් කළෙම්ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නම් නූපන්නෙමි. ඒ පුෂ්ප පූජාවේ විපාක මෙබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් ඵලයට පත් වූ තෙරුන් වහන්සේ නැවතත් තම රහත් බව ප්රකාශ කිරීම සඳහා එම ගාථාව වදාළ සේක.
ලෝමසකංගිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ජම්බුගාමිය ස්ථවිරගාථා වර්ණනාව
“කච්චි නො වත්ථ පසුතො” යනු ආයුෂ්මත් ජම්බුගාමිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එහිමියෝ පෙර බුදුවරුන් ඉදිරියෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන පතාගෙන බොහෝ කුසල් රැස්කර, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී මනුෂ්යයෙක් ව උපන්හ. දිනක් ඔහු එරබදු මල් දැක, ඒ මල් නෙලා ගෙන බුදුගුණ සිහිකරමින් භාග්යවතුන් වහන්සේ උදෙසා පූජාකරමින් අහසට විසි කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුණි. ඉන් පසුවද තව තවත් පින්දහම් කරමින් දේව මනුෂ්යාත්මභාවයන්හි ඉපිද අපගේ බුදුරදුන් ලොව පහළ වූ සමයේ චම්පාවේ ජම්බුගාමිය නම් උපාසකයාගේ පුතු වී උපන්නේය. එනිසා එකුමරුට ජම්බුගාමිය පුත්ත යන නම භාවිත විය. ඔහු වැඩිවියට පත්ව භාග්යවතුන් වහන්සේ සමීපයේදී ධර්මය ශ්රවණය කොට, ලබන ලද සංවේග ඇතිව සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති උන්වහන්සේ කමටහන් ගෙන සාකේත නුවර අඳුන් වනයෙහි වෙසෙති. ඉක්බිති උන්වහන්සේගේ පියතුමා, “කිම මාගේ පුතා සසුනේ පැවිදිව කැමැත්තෙන් වෙසේ ද? නැතිනම් අකමැතිව වෙසේ ද?”යි විමසා දැන ගැනීමට “කච්චි නො වත්ථ පසුතො” යන ගාථාව ලියා උන්වහන්සේ වෙත එව්වේය. උන්වහන්සේ එය කියවා, “මගේ පියා ප්රමාදව වාසය කිරීම සැකකරයි. මම අදම පුහුදුන් බවින් මිදෙන්නෙමි”යි අද දක්වාම මා හට පුහුදුන් බවින් මිදීමට නොහැකි වීය”යි සංවේග උපදවා වහ වහා උත්සාහ කර, වෑයම්කර නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලබාගත් සේක. එනිසා අපදාන පාළියේ එම තොරතුරු මෙසේ දැක්වේ.