අභය ස්ථවිරගාථා වර්ණනාව
“සුත්‍වා සුභාසිත වාචං” යන ගාථාව ආයුෂ්මත් අභය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සසුනේ පැවිදි බව ලැබූ ප්‍රසිද්ධ ධර්‍ම කථිකයෙක් වූහ. උන්වහන්සේ ධර්‍ම දේශනා කරන විට පළමුවෙන්ම ගාථා සතරකින් භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට, පසුව ධර්‍මය දේශනා කළහ. මේ පින්කමේ විපාක වශයෙන් කල්ප ලක්‍ෂයක් පුරාම දිගු සසරෙහි අපායේ ඉපදීමක් නම් සිදුනොවුණි. ඒ බව මෙසේ ගාථාවකින් කියන ලදි.
“අභිත්‍ථවිත්‍වා පදුමුත්තරං ජිනං, පසන්න චිත්තො අභයො සයම්භුං,
නාගච්ඡි කප්පානි අපාය භූමිං, සතං සහස්සානි උළාර සද්ධො”
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ස්තූති ප්‍රශංසා කොට, අභය සලසන්නා වූ තමා විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් උපදවා ගත් මහත් වූ ශ්‍රද්ධාව නිසා (මම) කල්ප ලක්‍ෂයක් පුරාම අපාය භූමියට නොගියෙමි.
කෙත්වතු සම්පත් ආදිය ලබා, පූර්‍ව - මධ්‍යම හා අවසාන චේතනා වශයෙන් ඉතා මහත් වූ සිත ඇතිව කරන ලද දානාදී අප්‍රමාණ පුණ්‍ය මහිමය නිසා උන්වහන්සේ සසර විඳි සැපද අප්‍රමාණය. “අචින්ත්‍යය වූ මහා පුරුෂයන් කෙරෙහි පැහැදුණු සිත් ඇත්තන්ගේ විපාකය ද අචින්තය්‍යම වේ” යැයි කියන ලදි. ඒ ඒ භවයන්හිදී රැස්කරන ලද පුණ්‍ය මහිමය ද උන්වහන්සේට උපස්ථම්භක (ආධාර) විය. එසේම විපස්සී බුදුරජාණන් වහන්සේ උදෙසා ඔහු වැටකේ මලින් පූජාවක් පැවැත්වීය. මෙවැනි මහත් වූ සුවිසල් පින්කම් කිරීමෙන් ලද විපාක නිසා කාම සුගතීන්හිම ඉපදුණු මේ සුපින්වත් පුරුෂයාණෝ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බිම්බිසාර රජුගේ පුතෙකු වී ඉපදුණි. “අභය” නාමයෙන් ඔහු ප්‍රකට විය. ඔහුගේ උපත පිළිබඳව අන්‍ය සමයන්හිද කියැවේ. ඔහුට නිගණ්ඨනාථ පුත්ත ශාස්තෲතුමා උභතෝකොටික ප්‍රශ්නයක් ඉගැන්වීය. “මේ පැනය අසා ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපණය කරව”යි පැවසූ නිගණ්ඨනාථ පුත්ත අභය කුමරු අප භාග්‍යවතුන් වහන්සේ කරා එවීය. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹි ඔහු එම ප්‍රශ්නය උන්වහන්සේගෙන් විමසීය. එම ප්‍රශ්නයේ නානාවිධ ව්‍යාකරණයන් විස්තරාත්මකව පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී ඔහු, “නිගණ්ඨයන් පැරදුණි. ශ්‍රමණ භවත් ගෞතමයෝම “සම්මා සම්බුද්ධයහ”යි දැන බුදුසසුනේ උපාසකයෙක් බවට පත්විය. ඉන්පසු කාලයක බිම්බිසාර රජු කළුරිය කළ කල්හි හටගත් සංවේග ඇතිව ඔහු සසුනේ පැවිදි විය. පසුව “තාලච්ඡිග්ගලූපම” සූත්‍ර දේශනාව අසා සෝවාන් ඵලය ලබාගත් අභය තෙරණුවෝ, විදසුන් වඩා රහත්බවට පත්වූ සේක. අර්හත්වය සාක්‍ෂාත් කරගත්හ. එය අපදාන පාළියේ මෙලෙසින් විස්තර වේ. (අපදාන පාළි II. කේතක පුප්ඵිය ත්‍ථෙරාපදානං)
“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා නදී තෙර වැඩසිටි සේක. මනාව සන්සිඳුණු සිතැති, එකඟ වූ සිතැති, කෙලෙසුන් දුරලූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මම සිත පහදවා ගතිමි.
එකල මම ප්‍රසන්න සිත් ඇතිව, සතුටුවූයෙම් අතිශය සුවඳවත් වැටකේ මලින් උන්වහන්සේට පූජා කළෙමි.
මීට කල්ප අනූඑකකට පෙර කරන ලද පුණ්‍ය පූජාවේ අනුසස් ලෙස මේ දක්වා දුගතියක නො ඉපදුනෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව මැනවින් ඉටුකළෙමි.” (5473-5478)
රහත් බවට පත්වූ අභය තෙරණුවෝ තම පිළිවෙත් ප්‍රකට කිරීම් වශයෙන් ස්වකීය රහත් බව පෙන්වමින්, “සුත්‍වා සුභාසිතං වාචං” යන ගාථාව වදාළහ.
එහි “සුත්‍වා” යනු කන් යොමුකර, ශ්‍රෝතද්වාරයෙන් (කනින්) මැනවින් විමසා බලා, “සුභාසිතං” යනු මැනවින් කියන ලද, යහපත් වූ දේව භාෂිතයෙක් වූ, සම්මා සම්බුදුවරයන් වහන්සේ මහා කාරුණික බැවින් කිසිදු හිංසාත්මක දෙයක් නොපවසති. ඒකාන්තයෙන්ම උන්වහන්සේලා චතුරාර්ය සත්‍යයට පුද්ගලයා යොමුකරන වචනයක් ම පිටකරති. දේශනා කරති. චතුරාර්ය සත්‍යයෙන් පරිබාහිර වූ ධර්‍ම දේශනාවක් නම් භාග්‍යවතුන් වහන්සේලා කිසිසේත් නොපවත්වති. “බුද්ධස්ස” යනු සර්වඥ වූ බුදුවරුන්ගේ. “ආදිච්චබන්‍ධුතො” යනු සූර්ය වංශයේ උපන් බැවින් භාග්‍යවතුන් වහන්සේ ආදිත්‍යයන් ගේ ඥාතියා යන අරුතින් “ආදිච්ච බන්‍ධු” නම් වලින් හැඳින්වේ. ඒ ආදිත්‍ය බන්‍ධු වූ භාග්‍යවතුන් වහන්සේගේ. භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍යයාගේ ඥාති වන බැවින් “ආදිත්‍ය බන්‍ධු” නාමය යෙදේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.