නන්‍දිය ස්ථවිරගාථා වර්ණනාව
“ඔභාසජාතං” යන ගාථාව ආයුෂ්මත් නන්දිය තෙරුන් පැවසූවකි. එහි උපත කෙසේ ද? එම තෙරණුවෝ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස මිනිස් කුලයේ උපන්හ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන් කර තැනූ මහසෑයට සඳුන් හර වලින් වේදිකාවක් කරවා මහත් පූජා සත්කාර පැවැත්වූ ඔහු; එතැන් පටන් මහත් ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිර්වාණය පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. දේව-මනුෂ්‍ය දෙගතියේම සැප විඳිමින් සසර සැරි සරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කපිලවස්තු නුවර ශාක්‍ය කුල ගෙදරක උපන් ඔහුට නන්දිය යන නම තබන ලදි. වැඩිවියට පත් එකුමරු, තමා ද පැවිදිව විදසුන් වඩා කළ ප්‍රාර්ථනා ඇති බැවින් නොබෝ කලකින්ම රහත් ඵලය ලබාගත්තේය. නන්‍දිය මහ රහතන් වහන්සේගේ චරිත විස්තරය මෙසේ අපදාන පාළියේ දැක්වේ. (අපදාන පාළි I, සපරිවාරිය ත්‍ථෙරාපදානය)
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුරජහු ගිනි කඳක් මෙන් බබල බබලා පිරිනිවන් පෑ සේක.
මහාවීර වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, උන්වහන්සේගේ ධාතු නිධන් කළ මහසෑයක් කරන ලදි. ඒ අති උතුම් වූ සෑරජුට සැදැහැජනයා දිවා රෑ උවටැන් කළහ.
පහන් සිත් ඇති මම, සතුටු සිතින් එම සෑරජුට සඳුන් වේදිකාවක් කළෙමි. සෑරජුට යෝග්‍ය වූ පරිදි සඳුන් දුමින් ද පිදුවේය.
එම පූර්‍ව කර්මයේ විපාක වශයෙන් සසර දෙවි-මිනිස් දෙගතියේ උපන් මම ලාමකයෙක් නොවුනෙමි. පහත් සිත් ඇත්තෙක් නොවීමි.
මීට කල්ප එක්දහස් පන්සීයකට පෙර මහත් බල ඇති සමන්ත නම් සක්විති රජවරු අටදෙනෙක්ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලද්දේය. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (1955-1960)
රහත් බවට පත්වූ නන්දිය තෙරුන්, අනුරුද්ධාදී තෙරවරු සමග නැගෙනහිර දිසාවේ වූ මිගදායෙහි (මුවන්ට අභයදුන් බිම) වාසය කළ සේක. එසමයේ පාපී මාරයා මේ තෙරුන් භය කරනු කැමතිව පැමිණියේය. උන්වහන්සේ ඉදිරියේ මහත් බියජනක රූපයක් මැවූ විට තෙරුන් “මේ පාපී මාරයා ම යැ”යි දැන; “පාපී මාරය! නුඹගේ විෂය ඉක්මවූවන්ට නුඹගේ කාර්යයන්ගෙන් කුමක්නම් කළ හැකිද? ඒ උතුමන්ට අවහිර කිරීමෙන් නුඹම ඉතා දරුණු වූ අනර්ථයන්ට පැමිණෙන්නෙහියැ”යි දක්වමින් “ඔභාස ජාතං ඵලගං” යන ගාථාව දේශනා කළේය.
එහි “ඔභාසජාතං” යනු යම් මහණෙකුගේ සිත, “ඤාණය” – “ප්‍රඥාව” නම් ආලෝකයෙන් හටගත් ආලෝක ඇත්තේ ද; අග්‍ර මාර්ග ඥානය අවබෝධ කරන ලද්දේ ද; එනිසා එමගින් ඉතිරි නොකර සියලුම කෙලෙස් නමැති අන්‍ධකාරයන් නසා - වනසා දැමූ බැවින්, “සිත ඉතා ප්‍රභාස්වර (බබලන) බවට පත්වූයේය” යන අර්ථයයි. “ඵලගං” යනු ඵලයට පත්වූ. අග්‍රඵල ඤාණයෙන් හෙවත් අර්හත් මාර්ග, අර්හත් ඵල සිත් ඇති යන අදහසයි. “චිත්තං” යනු රහතන් වහන්සේගේ සිතයි. සමාන බැවින් කියයි. එනිසා “අභිණ්හසො” යැයි කියන ලදි. තණ්හාව නිරුද්ධ වූ බැවින්. දුරුකළ බැවින් රහතන් වහන්සේලාට, “නිරන්තරව අර්හත් ඵල සමවතින් සමවැදීම් වශයෙන් අර්හත් ඵලයෙන් යුක්තවූවෝ” යැයි කීම සුදුසුය. “තාදිසං” යනු “එබඳු වූ ඉහතින් කියූ ගුණාංගයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේට” යන අර්ථයයි. “ආසජ්ජා” යනු හිරිහැර කොට, විරුද්ධකම් කොට. “කණ්හ” යනුවෙන් මාරයාට ආමන්ත්‍රණය කරයි. ඒ මාරයා, පවිටු ක්‍රියා කරන බැවින් ද පවිටු - කළු - නපුරු අය හා උපතින් සමවන බැවින් ද “කණ්හ” නම් වේ. “දුක්ඛං නිගච්ඡසි” යනු මෙලොවදී කුසට පැමිණි දෙය නොදිරවීම් වශයෙන් නිරර්ථක වූ කාය පරිහරණයේ අනේක දුක් ද පරලොව දී ප්‍රතිකාරයක් - පිළියමක් කළ නොහැකි අනේක අපා දුක්වලට ද පැමිණෙන්නෙහිය. දුක් විඳින්නෙහිය. එය ඇසූ මාරයා “මේ ශ්‍රමණයන් වහන්සේ මා හඳුනාගත්හ” යි ලැජ්ජිතව වහාම එහිදී අතුරුදහන් විය.
නන්දිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අභය ස්ථවිරගාථා වර්ණනාව
“සුත්‍වා සුභාසිත වාචං” යන ගාථාව ආයුෂ්මත් අභය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සසුනේ පැවිදි බව ලැබූ ප්‍රසිද්ධ ධර්‍ම කථිකයෙක් වූහ. උන්වහන්සේ ධර්‍ම දේශනා කරන විට පළමුවෙන්ම ගාථා සතරකින් භාග්‍යවතුන් වහන්සේට ස්තූති කොට, පසුව ධර්‍මය දේශනා කළහ. මේ පින්කමේ විපාක වශයෙන් කල්ප ලක්‍ෂයක් පුරාම දිගු සසරෙහි අපායේ ඉපදීමක් නම් සිදුනොවුණි. ඒ බව මෙසේ ගාථාවකින් කියන ලදි.