සුගන්ධ ස්ථවිරගාථා වර්ණනාව
“අනුවස්සිකො පබ්බජිතො” යනු ආයුෂ්මත් සුගන්ධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? එම තෙරුන් වහන්සේ මීට කල්ප අනූ දෙකකට පෙර පහළ වූ තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ වසන සමයේ මනුෂ්යයෙක්ව උපන්හ. වැඩිවියට පත් වූ ඔහු මුව දඩයමින් කැලයෙහි ම දිවි ගෙවීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පා සළකුණක් තබමින් වැඩි සේක. ඔහු එම පා සටහන දැක, පෙර බුදුවරු හමුවේදී කළ ප්රාර්ථනා ඇති බැවින්, “මේ පියවර නියතයෙන්ම දෙවියන් සහිත ලෝකයේ සිටින අග්ර, උතුම් පුද්ගලයාගේම ය”යි දැඩි සතුටට පත්ව කටු කරඬු මල් ගෙන ඉන් පා සළකුණු පුදා සිත පහදවා ගත්තේය. ඔහු එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදුණි. පසුව ඉන් චුත වූ ඔහු ඒ ඒ භවයන්හි පින් දහම් රැස් කරමින් දෙව් - මිනිස් දෙගතියෙහි සැරි සරමින් සිට, කාශ්යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කෙළෙඹි පුත්රයෙක් වී උපන්නේය. බුදුරජාණන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද මහා දානයක් පූජා කළ එම සිටුතුමා තථාගතයන් වෙසෙන ගඳ කිළිය, ඉතා වටිනා රන්වන් සඳුන් අඹරා බඳුම ලෙස ගාමින් සුවඳවත් කරවා මෙසේ ප්රාර්ථනාවක් කළේය. “උප නූපන් සැම භවයකදීම මාගේ ශරීරය මෙම සුවඳින් යුක්ත වේවා!” මෙසේ වෙනත් භවයන්හි ද ඉපිද බොහෝ පින්කම් කළ ඔහු කාම සුගති ලෝකවලට අපමණ සැප විඳ; අපගේ බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර මහත් වූ සම්පත් ඇති බමුණු ගෙදරක උපන්නේය. උපන් එ කුමරු මවුකුස පිළිසිඳ ගත් දින පටන් මවගේ සිරුර සහ මුළු ගෙයම දිව්යමය සුවඳින් යුක්ත විය. උපන් දිනයේ දී විශේෂයෙන් ම අතිශය සුවඳක් මුළු ගේ පුරාම හැමුවේය. ඔහුගේ “සුගන්ධ” යන නම තැබූහ. එකුමරු අනුපිළිවෙලින් වැඩී, මහාසේල තෙරුන් දැක, පැහැදී උන්වහන්සේගෙන් බණ අසා, උන්වහන්සේ ළඟම පැවිදි විය. පැවිදි වූ දින සිට විදසුන් භාවනාව වැඩූ එම තෙරුන් වහන්සේ සත් දිනක් ඇතුළතදී ම රහත් බවට පත්වූහ. මෙම තොරතුරු අපදාන පාළියේ ද මෙලෙසින් දැක්වේ. (අපදාන පාළි II - කෝරණ්ඩපුප්ඵිය ත්ථෙරාපදානං)
“මම පෙර පිය පුතු පරපුරින් උරුම වූ වනයේ දඩයම් කිරීමෙන් ජීවත් වූයෙමි. සිවුපා සතුන් මරා ජීවත් වූයෙමි. මා හට කුසලයක් නම් නැත.
මගේ අසපුව ඉදිරියෙහි පසැස් ඇති ලෝක නායක වූ තිස්ස බුදුරජාණන් වහන්සේ මට අනුකම්පාවෙන් පියවර තුනක් දැක්වූ සේක.
එම පියවර දැක සතුටු වූ මම පැහැදුණු සිතින් පියවර සටහනෙහි සිත පැහැදවීමි.
පිපී ගිය කරඬුගසක් දුටු මම කොපු සහිත මල්ගෙන ශ්රේෂ්ඨ පාද ලාඤ්ඡනයට පූජා කළෙමි.
මැනවින් කළ එම පින්කම නිසාත් චිත්ත ප්රණිධිය නිසාත් මිනිස් සිරුර හැරදැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
මම යම් දිව්යමය හෝ මනුෂ්ය ආත්මභාවයක උපදින්නේ ද එහිදී ප්රභාසහිතව කෝරණ්ඩ පුෂ්ප වර්ණ වූ සමක් ලබාගෙන ජීවත් වෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් කර්මයක් මවිසින් කරන ලද්දේ ද ඒ හේතුවෙන් දුගතියක නො ඉපදුනෙමි. පා සටහන් පිදීමේ විපාකය මෙබඳුය.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේ අනුශාසනාව ඉටු කළෙමි.” (5263-5272)
රහත් බවට පත්වූ උන්වහන්සේ එම කාරණය ප්රකට කරන සේක, “අනුවස්සිකො පබ්බජිතො” යන ගාථාව වදාළ සේක.
එහි “අනුවස්සිකො” යනු අනුව ගිය, එළඹුණු එක් වර්ෂයක් ඇති “අනුවස්ස” නම් වේ. අනුව ගිය වර්ෂයක් ඇති යන අරුතින් “අනුවස්සික” නම් වේ. “පබ්බජිතො” යනු පැවිද්දයි. පැවිදිවීමයි. පැවිදි වී ගෙවී ගිය වසරක් ඇති, පැවිදි වී එක් වසරක් වන යන අරුත් දෙයි. නැතිනම් අනුව පසුපසින් යන ලද වසර අනූවසරකි. “එය ඔහුට ඇත” යැයි “ අනුවස්සික” නම් වේ. යම් පැවිද්දෙකුට වස් පරිපූර්ණ නොවූයේ ද එම වස ගණන් නොගැනේ. එනිසා මේ තෙරුන්ට ද වස් පිරිපුන් නොවූ බව පැවසීමට “අවස්සික” යන්න යොදන්නට ඇත. “පස්ස ධම්මසුධම්මතං” යනු ශාස්තෲන් වහන්සේ දෙසූ දහමෙහි ඇති ස්වාක්ඛාතාදී වශයෙන් මැනවින් දෙසූ බව, සුධර්මතාවය, ඒකාන්තයෙන් නිවණම ගෙන දෙන බව යන ගුණාංග දෙස බලව. “යම් තැනක වසරක් පැවිදී විසූ නුඹ පෙරකඳ පිළිවෙල දන්නා නුවණ, දිව කන් ලබන නුවණ, ආශ්රවයන් ක්ෂය කරන්නා වූ නුවණ යන ත්රිවිද්යාවන්ට එළඹියෙහි. එම ඤාණ අවබෝධ කළෙහි සාක්ෂාත් කළෙහි. මෙසේ බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළේ වෙහි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ලැබූ, අවවාද ලැබූ නුඹ; ඒ අනුව හික්මුණෙහි.” මෙසේ මහණකමේ කළ යුතු කටයුතු නිම කිරීමෙන් හටගත් ප්රීති සොම්නස විඳින තෙරුන් වහන්සේ තමා, අන්යයකු කර (තමා ඉදිරිපිට සිටින්නෙකු කර) මෙසේ ගාථාව වදාළේ යැයි දත යුතුයි.
සුගන්ධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නන්දිය ස්ථවිරගාථා වර්ණනාව
“ඔභාසජාතං” යන ගාථාව ආයුෂ්මත් නන්දිය තෙරුන් පැවසූවකි. එහි උපත කෙසේ ද? එම තෙරණුවෝ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස මිනිස් කුලයේ උපන්හ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන් කර තැනූ මහසෑයට සඳුන් හර වලින් වේදිකාවක් කරවා මහත් පූජා සත්කාර පැවැත්වූ ඔහු; එතැන් පටන් මහත් ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිර්වාණය පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. දේව-මනුෂ්ය දෙගතියේම සැප විඳිමින් සසර සැරි සරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කපිලවස්තු නුවර ශාක්ය කුල ගෙදරක උපන් ඔහුට නන්දිය යන නම තබන ලදි. වැඩිවියට පත් එකුමරු, තමා ද පැවිදිව විදසුන් වඩා කළ ප්රාර්ථනා ඇති බැවින් නොබෝ කලකින්ම රහත් ඵලය ලබාගත්තේය. නන්දිය මහ රහතන් වහන්සේගේ චරිත විස්තරය මෙසේ අපදාන පාළියේ දැක්වේ. (අපදාන පාළි I, සපරිවාරිය ත්ථෙරාපදානය)