ගෝසාල ස්ථවිරගාථා වර්ණනාව
“අහං ඛො වෙළුගුම්බස්මිං” යනු ආයුෂ්මත් ගෝසාල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එම තෙරුන් පූර්ව බුදුවරුන් වෙත කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන පතාගෙන කුසල් රැස් කරමින් සසර සැරිසරන සමයේදී, මෙයින් කල්ප අනූ එකකට පෙර, එක්තරා පර්වතයක ගස් අත්තක එල්ලෙන පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුන්ගේ පාංශුකූල සිවුරක් දැක, “මෙය අනිවාර්යයෙන්ම අර්හත් ධ්වජයකි”යි පැහැදුණු සිතැතිව මලින් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා භවනයෙහි උපන්නේය. එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ පහළවන සමයේ මගධ රට ධනවත් පවුලක ඉපිද ‘ගෝසාල’ නාමයෙන් ප්රකට විය. ඔහු සෝණ කුටිකණ්ණ සමග කළ හැඳිනීම් ඇති බැවින් (මිතුරකු වූ හෙයින්) කුටිකණ්ණගේ පැවිදි වීම අසා, “ඔහු මහා සම්පත් ඇත්තෙකි. එබඳු පුද්ගලයන් පැවිදි වන විට මම කුමක් කරම්ද?” යි හටගත් සංවේග ඇතිව අප භාග්යවතුන් වහන්සේ සමීපයේ පැවිදි විය. ගෝසාල හිමියෝ තම චරිතයට අනුකූල කමටහන් ගෙන, සුදුසු සෙනසුනක් සොයමින් ගොස්, තම උපන් ගමට නුදුරෙහි එක් පර්වත සමබිමක (සානුවක) වාසය කළහ. එක් දිනක් තම ගමට පිඬු සිඟා වැඩි තෙරුන්ට, මෑණියෝ මිහිරි හකුරු සහිත කිරිබතක් බෙදුවාය. උන්වහන්සේ එය රැගෙන තමා වෙසෙන පර්වත සෙවණෙහි හිඳ, එම දානය වැළඳූ සේක. වළඳා පාත්රය හා දෙ අත් සෝදාගෙන, විදසුන් භාවනාව වැඩීමට පටන්ගත් සේක. එක්තරා උණ ලැහැබක් මුල හිඳි උන්වහන්සේ, සුදුසු භෝජන ලැබීමෙන් කයේ හා සිතේ යෝග්ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප යෝග්ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප වෙහෙසකින් විදර්ශනාව ඔසවා තබා, මාර්ග පිළිවෙලින් භාවනාව මස්තක ප්රාප්ත කරගෙන සිවුපිළිසිඹියාපත් අර්හත් බව සාක්ෂාත් කරගත් සේක. අපදාන පාළියේ ද එය මෙලෙස විස්තර වේ. (අපදාන පාළි II, පංසුකූල පූජක ත්ථෙරාපදානං)
“හිමවතට නුදුරෙහි උරග නම් පර්වතයක් විය. එහි ගස් මුදුනක එල්ලන ලද පංසුකූල චීවරය දුටුවෙමි.
එකල්හි මම කිංකිණි මල් තුනක් නෙලාගෙන සතුටු සිතින් ම ඒ පාංශු කුල සිවුරට පිදුවෙමි.
මැනවින් කරන ලද එම කර්මය සහ චිත්ත ප්රණිධිය (ප්රාර්ථනාව) නිසා මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් පිනක් කළෙම් ද අර්හත් ධ්වජය පිදීමේ එම පින්කම හේතුවෙන් දුගතියක නූපදුනෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලුම භව නැසුයෙමි. බැඳුම් සිඳි ඇත් රජෙකු මෙන් කෙලෙසුන් සිඳ ආශ්රව රහිතව සුවයෙන් වෙසෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. (5256-5262)
රහත් බවට පත්ව මෙලොව සැප විහරණය සඳහා පෙර සිටි පර්වත සම බිමට ම යනු කැමති තෙරුන් වහන්සේ තමාගේ පිළිවෙත සෙසු අයට දන්වමින් “අහං ඛො වෙළුගුම්බ ස්මිං” යන ගාථාව දේශනා කළ සේක.
එහි “වෙළුගුම්බස්මිං” යනු උණ පඳුර සමීපයේ එහි සෙවණෙහි, “භුත්වාන මධුපායාසං” යනු මී පැණි මිශ්ර කිරිබත වළඳා “පදක්ඛිණං” යනු ප්රදක්ෂිණා කිරීමෙන් ශාස්තෲන් වහන්සේගේ අවවාදය මැනවින් පිළිගෙන යන අර්ථයයි. “සම්මසන්තො ඛන්ධානං උදයබ්බයං” යනු පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සිහිපත් කරමින්, මැනවින් බලමින්, දැන් කරන ලද කටයුතු ඇති බැවින් ඵල සමවතට සමවැදීම සඳහා විදසුන් භාවනාවෙහි සිත පිහිටුවමින් යන අර්ථයයි. “සානු පටිගමිස්සාමී” යනු පෙර මම විසූ පර්වතයේ සමබිමට ම යන්නෙමි. “විවෙකමනුබ්රෑහයං” යනු සංසිඳුණු විවේකය ද ඵල සමවතින් හටගත් කාය විවේකය ද වඩමින්, නැතිනම් එසේ වැඩීම සඳහා යන්නෙමි. මෙසේ වදාළ තෙරුන් වහන්සේ එම ස්ථානයට ම වැඩි සේක. මෙම ගාථාව ම මේ ගෝසාල තෙරුන් වහන්සේගේ රහත් බව ප්රකාශ කරන ගාථාව විය.
ගෝසාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සුගන්ධ ස්ථවිරගාථා වර්ණනාව
“අනුවස්සිකො පබ්බජිතො” යනු ආයුෂ්මත් සුගන්ධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? එම තෙරුන් වහන්සේ මීට කල්ප අනූ දෙකකට පෙර පහළ වූ තිස්ස නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ වසන සමයේ මනුෂ්යයෙක්ව උපන්හ. වැඩිවියට පත් වූ ඔහු මුව දඩයමින් කැලයෙහි ම දිවි ගෙවීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පා සළකුණක් තබමින් වැඩි සේක. ඔහු එම පා සටහන දැක, පෙර බුදුවරු හමුවේදී කළ ප්රාර්ථනා ඇති බැවින්, “මේ පියවර නියතයෙන්ම දෙවියන් සහිත ලෝකයේ සිටින අග්ර, උතුම් පුද්ගලයාගේම ය”යි දැඩි සතුටට පත්ව කටු කරඬු මල් ගෙන ඉන් පා සළකුණු පුදා සිත පහදවා ගත්තේය. ඔහු එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදුණි. පසුව ඉන් චුත වූ ඔහු ඒ ඒ භවයන්හි පින් දහම් රැස් කරමින් දෙව් - මිනිස් දෙගතියෙහි සැරි සරමින් සිට, කාශ්යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි කෙළෙඹි පුත්රයෙක් වී උපන්නේය. බුදුරජාණන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද මහා දානයක් පූජා කළ එම සිටුතුමා තථාගතයන් වෙසෙන ගඳ කිළිය, ඉතා වටිනා රන්වන් සඳුන් අඹරා බඳුම ලෙස ගාමින් සුවඳවත් කරවා මෙසේ ප්රාර්ථනාවක් කළේය. “උප නූපන් සැම භවයකදීම මාගේ ශරීරය මෙම සුවඳින් යුක්ත වේවා!” මෙසේ වෙනත් භවයන්හි ද ඉපිද බොහෝ පින්කම් කළ ඔහු කාම සුගති ලෝකවලට අපමණ සැප විඳ; අපගේ බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත් නුවර මහත් වූ සම්පත් ඇති බමුණු ගෙදරක උපන්නේය. උපන් එ කුමරු මවුකුස පිළිසිඳ ගත් දින පටන් මවගේ සිරුර සහ මුළු ගෙයම දිව්යමය සුවඳින් යුක්ත විය. උපන් දිනයේ දී විශේෂයෙන් ම අතිශය සුවඳක් මුළු ගේ පුරාම හැමුවේය. ඔහුගේ “සුගන්ධ” යන නම තැබූහ. එකුමරු අනුපිළිවෙලින් වැඩී, මහාසේල තෙරුන් දැක, පැහැදී උන්වහන්සේගෙන් බණ අසා, උන්වහන්සේ ළඟම පැවිදි විය. පැවිදි වූ දින සිට විදසුන් භාවනාව වැඩූ එම තෙරුන් වහන්සේ සත් දිනක් ඇතුළතදී ම රහත් බවට පත්වූහ. මෙම තොරතුරු අපදාන පාළියේ ද මෙලෙසින් දැක්වේ. (අපදාන පාළි II - කෝරණ්ඩපුප්ඵිය ත්ථෙරාපදානං)