චිත්තක ස්ථවිරගාථා වර්ණනාව
“නීලා සුගීවා” යනු ආයුෂ්මත් චිත්තක තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? ඒ තෙරුන් පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයේ පටන් නිවන පතාගෙන කුසල් රැස් කරමින් සසර සැරිසරනුයේ මෙයින් කල්ප අනූඑකකට පෙර, මනුෂ්‍යයෙක්ව ඉපදුනේය. නුවණැති බවට පත් වූ ඔහු විපස්සී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් මල් පූජා කොට වැඳ, “මේ පින්කමෙන් ද ශාන්ත වූ ධර්මාවබෝධය ම ලැබේවා!” යි උන්වහන්සේ වෙතින් ද නිර්වාණයම පැතුවේය. ඔහු ඉන් චුතව එම පින්කමේ විපාක වශයෙන් තාවතිංසයෙහි ඉපදුනේය. භවයෙන් භවයට යමින් පින් දහම් කළ ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර මහ සම්පත් ඇති බමුණු ගෙදරක උපන්නේය. චිත්තක නාමයෙන් ඔහු ප්‍රකට විය. චිත්තක බමුණු තරුණයා අප භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයෙහි උන්වහන්සේ වෙත පැමිණ, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. චිත්තක හිමියෝ තම චරිතයට ගැලපෙන කමටහන් රැගෙන කැළයකට පිවිස, භාවනාවෙහිම නිරත වූ සේක්, ධ්‍යාන උපදවා ගත්හ. එම ධ්‍යානයම පාදක කරගෙන විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් බවට පත්වූ උන්වහන්සේ පිළිබඳව අපදාන පාළියේ මෙසේ විස්තර වේ. (අපදාන පාළි II - තිකිඞ්කණිපුප්ඵියත්‍ථෙරාපදානං)
“කිණිහිරු රුකක් මෙන් බබලන්නා වූ, කඳු අතරෙහි වැඩ සිටියා වූ ලෝක නායක වූ කෙලෙස් දූවිලි වලින් තොරවූ විපස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
මම කිංකිණි මල් තුනක් ගෙන උන්වහන්සේට පිදුවෙමි. උන්වහන්සේට ගෞරව පිණිස දකුණු දිගට මුහුණලා ගියෙමි.
මවිසින් මැනවින් කරන ලද එම පින්කමේ බලයෙන් හා ප්‍රාර්ථනාවේ බලයෙන් මිනිස් සිරුර හැර දමා, තව්තිසා දෙව්ලොවට ගියෙමි. ඉපදුනෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදුටිමු. ඒ බුද්ධ පූජාවේ විපාකයයි.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භව නැසුවෙමි. බැඳුම් සිඳගත් ඇති රජෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි. බුදුරදුන් වෙත පැමිණීමෙන් මට යහපත් ම විය. ත්‍රිවිද්‍යා ලබන ලදි. බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්‍ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.” (5249-5255)
රහත් බවට පැමිණි උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේට වැඳීමට රජගහ නුවරට වැඩිසේක. එහි වැසි භික්‍ෂූන් විසින්, “ඇවැත්නි! කිම ආරණ්‍යයෙහි අප්‍රමාදීව විසුවෙහිද?” යි විචාරන ලද්දේ, තමන් වහන්සේගේ අප්‍රමාදී විහරණය දැනුම් දීමෙන් රහත්බව ප්‍රකාශ කරන සේක්, “නීලා සුගීවා” යන ගාථාව වදාළ සේක.
එහි “නීලා සුගීවා” යනු නිල්වන් මනා ගෙල ඇති” ගාථාව සුඛෝච්චාරණය සඳහා මෙහි දීර්ඝය යොදන ලදි. රෝම රාජියෙන් සුන්දර වූ ගෙලකින් සමන්විත වූ යන අරුතයි. එය බොහෝ සෙයින්ම නිල්වන් වූ බැවින් “නීලා” වේ. බබල හා ප්‍රිය උපදවන බැවින් “සුගීවා” නම් වේ. “සිඛිනො” යනු මස්තකයේ හටගත් සිළුවෙන් සශ්‍රීක වූ බැවින් “සිඛිනො” සිළු ඇති “මොරා” යනු මොණරු, මයුරෝ, “කාරංවිය” යනු කර ගසක් මෙන් නැතහොත් ඒ වනයේ නම “කාරංවී” යනුයි. එනිසා “එම වනයේ වසන” අරුතින් “කාරංවිය” යැයි යෙදුණි. “කාරාවි” නම් වනයෙහි යන අරුතයි. “අභිනදන්ති” යනු වර්ෂා කාලයේ මේඝ ගර්ජනාව අසා කෙකාරව ශබ්දය කරමින්, සෘතු සම්පත්තියෙන් ජනිත වූ ස්වරය නිසා හංසාදීන්ගේ නද පරදවන්නාක් මෙන් නද දෙති. “තෙ” යනු ඒ මොනරු “සීතවාතකද්දත කලිතා” යනු ශීතල මේඝ වාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇති වැසි වස්වමින් “සුත්තං” යනු අහර ගැනීමෙන් පසු ඇතිවන ක්ලාන්ත ගති දුරු කිරීමට නිදාගත්, කයේ වෙහෙස දුරු කිරීම සඳහා හෝ අතදුන් වේලාවෙහි (සුපුරුදු වේලාවේ) නිදා ගන්නා “ඣායං” යනු සමථ, විදර්ශනා යන ධ්‍යානයන්හි ධ්‍යාන සීල භාවනාවෙන් යුක්තව වෙසෙන, “නිබොධෙන්ති” යනු ප්‍රබෝධ කරති. මොවුහු නින්දට නොගොස්, නිදිවරමින් තමා විසින් කළ යුතු දේ සිදු කරති. “මම කවර දෙයක් සිදු කරන්නෙම්ද?” යි යන සිහිකල්පනාව උපදවාගෙන සයනයෙන් නැගිටිති” යන අර්ථයයි.
චිත්තක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ගෝසාල ස්ථවිරගාථා වර්ණනාව
“අහං ඛො වෙළුගුම්බස්මිං” යනු ආයුෂ්මත් ගෝසාල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? එම තෙරුන් පූර්ව බුදුවරුන් වෙත කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන පතාගෙන කුසල් රැස් කරමින් සසර සැරිසරන සමයේදී, මෙයින් කල්ප අනූ එකකට පෙර, එක්තරා පර්වතයක ගස් අත්තක එල්ලෙන පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුන්ගේ පාංශුකූල සිවුරක් දැක, “මෙය අනිවාර්යයෙන්ම අර්හත් ධ්වජයකි”යි පැහැදුණු සිතැතිව මලින් පූජා කළේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා භවනයෙහි උපන්නේය. එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, අප බුදුරජාණන් වහන්සේ පහළවන සමයේ මගධ රට ධනවත් පවුලක ඉපිද ‘ගෝසාල’ නාමයෙන් ප්‍රකට විය. ඔහු සෝණ කුටිකණ්ණ සමග කළ හැඳිනීම් ඇති බැවින් (මිතුරකු වූ හෙයින්) කුටිකණ්ණගේ පැවිදි වීම අසා, “ඔහු මහා සම්පත් ඇත්තෙකි. එබඳු පුද්ගලයන් පැවිදි වන විට මම කුමක් කරම්ද?” යි හටගත් සංවේග ඇතිව අප භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදි විය. ගෝසාල හිමියෝ තම චරිතයට අනුකූල කමටහන් ගෙන, සුදුසු සෙනසුනක් සොයමින් ගොස්, තම උපන් ගමට නුදුරෙහි එක් පර්වත සමබිමක (සානුවක) වාසය කළහ. එක් දිනක් තම ගමට පිඬු සිඟා වැඩි තෙරුන්ට, මෑණියෝ මිහිරි හකුරු සහිත කිරිබතක් බෙදුවාය. උන්වහන්සේ එය රැගෙන තමා වෙසෙන පර්වත සෙවණෙහි හිඳ, එම දානය වැළඳූ සේක. වළඳා පාත්‍රය හා දෙ අත් සෝදාගෙන, විදසුන් භාවනාව වැඩීමට පටන්ගත් සේක. එක්තරා උණ ලැහැබක් මුල හිඳි උන්වහන්සේ, සුදුසු භෝජන ලැබීමෙන් කයේ හා සිතේ යෝග්‍ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්‍යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප යෝග්‍ය බව නිසා එක්තැන් වූ සිතැතිව, උදයව්‍යය ඤාණාදී තියුණු ශූරවූ ඤාණයන්හි, අල්ප වෙහෙසකින් විදර්ශනාව ඔසවා තබා, මාර්ග පිළිවෙලින් භාවනාව මස්තක ප්‍රාප්ත කරගෙන සිවුපිළිසිඹියාපත් අර්හත් බව සාක්‍ෂාත් කරගත් සේක. අපදාන පාළියේ ද එය මෙලෙස විස්තර වේ. (අපදාන පාළි II, පංසුකූල පූජක ත්‍ථෙරාපදානං)