නිග්රෝධ ස්ථවිරගාථා වර්ණනාව
“නාහං භයස්ස භායාමී” යනු ආයුෂ්මත් නිග්රෝධ තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර බමුණු මහසල් කුලයක උපන් මෙම තෙරුන්, වැඩිවියට පත්ව කාමයේ ආදීනව හා පැවිද්දෙහි අනුසස් දැක ගෘහ බන්ධනාදිය අත්හැර ආරණ්යයකට පිවිසියේය. කැළයේ එක්තරා සල් වන පෙදෙසක පන්සලක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදි වී වන-මුල්-ඵලාදිය අහරට ගෙන ජීවත් විය. මෙම කාලයේ පියදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක්, දෙවියන් සහිත ලෝකයාට දහම් අමා වැසි වස්වමින්, කෙලෙස් සන්තාපයන් නිවා දමමින් ලොව හිත වැඩ සැලසූ සේක. එක් දිනක් උන්වහන්සේ තාපසතුමා කෙරෙහි හටගත් අනුකම්පාවෙන් එම සල් වනයට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදුනහ. තවුසා වන මුල් ඵල ගෙන පන්සල පැමිණි මොහොතේ භාග්යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිත් ඇතිව පිපුණු සල් අතු ගෙන කොළ අතු මණ්ඩපයක් සාදා එහි සැම තැනම සල් මල්වලින් වසා බුදුරදුන්ට වැන්දේය. පසුව ආහාර සඳහාවත් පිටත නොයා, හටගත් ප්රීති සොම්නස් සහගත සිතින් ම තථාගතයන් වහන්සේට නමස්කාර කරගෙන ම සිටියේය. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි ශාස්තෲන් වහන්සේ මේ තවුසාට අනුකම්පා පිණිස “භික්ෂු සංඝයා එත්වා” යි සිතූ සේක. “මොහුගේ සිත භික්ෂු මහා සංඝ රත්නය කෙරෙහි ද පහදිත්වා”යි පැතූ සේක. එකෙණෙහිම භික්ෂු සංඝයා වැඩිසේක. තාපසතුමා එම භික්ෂු මහා සංඝරත්නය දැක, පැහැදුණු සිත් ඇතිව, උන්වහන්සේලාට වැඳ ඇඳිලි බැඳගෙනම සිටියේය. භාග්යවතුන් වහන්සේ සිනහ පහළ කිරීම වශයෙන් ඔහුට ලැබෙන සම්පත් පිළිබඳව පැවසෙන ධර්ම දේශනාවක් පවත්වා, භික්ෂු සංඝයා සමගම එම වනයෙන් නික්මුණු සේක. එම තාපසතුමා ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස්සුන් අතරම සැරිසරමින්, සසර නැවැත්ම වූ නිවන පතාගෙන බොහෝ පින්දහම් රැස්කර ගත්තේය. අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර බමුණු මහසල් කුළයක උපන් ඔහු, “නිග්රෝධ” නාමයෙන් ප්රකට විය. ඔහු අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද “ජේතවනාරාමය පිළිගන්නා දවසෙහි පැවති බුද්ධානුභාවය දැක, උපදවා ගත් ශ්රද්ධාව ඇතිව පැවිදි වී, විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා ලාභියෙකු බවට පත්විය. මෙම තොරතුරු අපදාන පාළියේ සවිස්තරව දැක්වේ. (අපදාන පාළි II - සාලමණ්ඩ පියත්ථෙරාපදානං)
“සල්වනයට පිවිසි මම එහි අසපුවක් මැනවින් සෑදුවෙමි. සල් මල් ගැවසී එම වනයෙහි සුවසේ විසුවෙමි.
සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ භාග්යවත් පියදස්සී සම්බුදුරජාණන් වහන්සේ විවේක සැප කැමතිව සල් වනයට වැඩම කළ සේක.
එකල්හි මම අසපුවෙන් නික්ම වනයට ගොස් සිටියෙහි. මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිද්දෙමි. ඒ මහා වනයෙහි මනාසේ වැඩහුන්නා වූ, සමාධියට සමවැදී බබළන්නා වූ, මහත් යශස් ඇති පියදස්සි සම්බුදුරජුන් පසුව දුටුවෙමි.
උන්වහන්සේ මතුයෙහි එකට බැඳි දඬු සතරක් තබා, මනා මඩුවක් සැදු මම, එය සල්මල්වලින් වැසුවෙමි.
මම සල්මලින් වැසූ මණ්ඩපය සතියක් දරා සිටිමින්, ඒ පිළිබඳ සිත පහදවා බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
පුරුෂෝත්තම බුදුරජාණන් වහන්සේ සමාධියෙන් නැගිට වියදඬු දුර බලමින් වැඩහුන් සේක.”
“එකල්හි පියදස්සී බුදුරජාණන් වහන්සේගේ වරුණ නම් ශ්රාවකයන් වහන්සේ ලක්ෂයක් රහතුන් සමග බුදුරදුන් වෙත පැමිණි සේක.
පස්මරුන් දිනූ ලෝක ජ්යෙෂ්ඨ වූ නර ශ්රේෂ්ඨ වූ පියදස්සී භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද වැඩ හිඳිමින් සිනා පහළ කළ සේක.
එම බුදුරදුන්ගේ අනුරුද්ධ නම් වූ උපස්ථායක භික්ෂුව නැගිට සිවුර ඒකාංශ කර බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාළේය.
“භාග්යවතුන් වහන්සේ; ශාස්තෲන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කිම? ශාස්තෲන් වහන්සේ කරුණක් ඇති කල්හිම සිනා පහළ කරන සේක.”
එවිට බුදුපියාණෝ මෙසේ වදාළහ. “යම් මාණවකයෙක් සතියක් පුරා ම මා හට මල් සෙවණක් දැරුවේද ඔහුගේ ඒ ක්රියාව සිහිපත් කර මම සිනා පහළ කෙළෙමි.
යම් තැනක එම පිනෙහි විපාකය දේ නම් එබඳු තැනක් මම නොදකිමි. දෙව්ලොව හෝ මිනිස් ලොව ඇති සැප ඊට නොසෑහේ.
මේ පින්කම හේතුවෙන් දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල් සෙවණවලින් වැසුනෝ වෙති.
ඔහු එසේ පින්කමේ විපාකය සමග එක් වී එම දෙව්ලොව, දිව්යමය වූ නෘත්ය-වාදිත ගීතයන් හි හැමදා සිත අලවමින් වසන්නේය.