උත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“සද්දං සුත්‍වා සතිමුට්ඨා” යන ගාථාව ආයුෂ්මත් උත්තිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උත්තිය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව එ් ඒ භවයන් හි ඉපිද නිවන් පතා පින්දහම් රැස්කරගෙන, සුමේධ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පත් වූ සිටුකුමරෙක් වූහ. එක් දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගෝණකාදී පලස් අතුළ, උඩුවියන් බැඳි බුදුවරුන්ට සුදුසු වූ අගනා පලඟක් ගඳිකිළියෙහි පනවා පූජාකළේය. ඒ පින්කමේ විපාක වහයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරිසරා අපගේ බුදුරදුන් පහළ වූ සමයෙහි කපිලවස්තුවේ ශාක්‍ය රජ පවුලක ඉපිද උත්තිය කුමරු නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු ශාස්තෲන් වහන්සේ නෑයන් හමුවූ මොහොතෙහි පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවී, මහණදම් පුරා, එක් දිනක් නුවර පිඬු සිඟා වැඩියේය. අතර මඟ එක් ස්ත්‍රියකගේ ගී ශබ්දයක් අසා අනුවණින් එය මෙනෙහිකර එම ශබ්දයේ තදින් ඇලුණු උත්තිය තෙරණුවෝ, නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් එම රාගය දුරුකර, විහාරයට පිවිසියහ. ඒ පිළිබඳව උපන් සංවේගයෙන් දවල් වසන තැන හිදී උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා රහත්බවට පත්වූහ. අපදාන පාළියේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් හා ඇතිරිලි සහිත උසස් පලඟක් මවිසින් පූජා කළෙමි.
එකල්හි එය සත්රුවනින් පිරි පලඟක් විය. මාගේ අදහස අනුවම හැමකල්හි මට එබඳු පර්යංක පහළ විය.
තිස් දහස්වන කල්පයේ මම යම් පලඟක් පූජා කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
විසි දහස් වන කල්පයේ සත්රුවන් පිරි මහ බල ඇති සුවණ්ණාභ නමින් සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.
මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාට කෙලෙස් ඉපදුණු අයුරු හා ඊට හේතු දැක්වීම් වශයෙන්, “කෙලෙස් පිළිකුල් නො කරන්නාට සසර දුකින් මිදීමක්, හිස එසවීමක් නැත. මම මේ සියලු කෙලෙස් පිළිකුල් කර ඉවතලූවෙමි” යි දක්වමින් මෙම ගාථාව වදාළහ.
“සද්දං සුත්‍වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො,
සාරත්ත චිත්තො වෙදෙතී තඤ්ච අජ්ඣොස තිට්ඨතී,
තස්ස වඩ්ඪන්ති ආසවා සංසාරං උපගාමිනො”ති.
එහි “සද්දං” යනු ඇලියයුතු, ඇලෙන ප්‍රිය ශබ්දාරම්මණයයි. “සංසාරං උපගාමී නො” යනු
“ඛන්‍ධානංච පටිපාටි ධාතු ආයතනානි ච,
අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චතී”
“ස්කන්‍ධයන්ගේ පිළිවෙලින් පැවතීමෙන්, ධාතු හා ආයතනාදිය නොසිඳි පවතින කල්හි එය සංසාරය යැයි කියනු ලැබේ.” යනුවෙන් පැවසෙන සසර පැවතුම් කාරණ එකතුවීමෙන්, පැවතීමෙන් සසරට එළඹෙති. සසර පැවැත්ම ගෙනදෙති. “සංසාරූපගාමිනො” යන පාඨය ද යෙදේ. සෙසු පදයන්ගේ අර්ථ මුලින් පැවසූ ගාථාවේ අර්ථ මෙන් දතයුතුය.
උත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දේවසභ ස්ථවිරගාථා වර්ණනාව
“සම්මප්පධාන සම්පන්නො” යනු ආයුෂ්මත් දේවසභ තෙරුන් වහන්සේ පැවසූ ගාථාවකි. එහි නිදානය කෙසේද? දේවසභ තෙරණුවෝ පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, සිඛී නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද වැඩිවිය පැමිණ, දිනක් ඒ බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින් බඳුවද මල් පූජා කොට නිවන් පතාගෙන කුසල් රැස්කරගත්හ. ඒ පින්කම් නිසා දෙව් - මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථු වේ. ශාක්‍ය රජ කුලයෙහි උපන් හෙතෙම දේවසභ නමින් ප්‍රකට විය. වියට පත් එ කුමරු කලහය සන්සිඳවීමට ශාස්තෲන් වහන්සේ පැමිණි කල්හි බුද්ධානුභාවය දැක, පැහැදුනු සිතින් සරණ සිල්හි පිහිටියේය. නැවත ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන කල්හි උන්වහන්සේ වෙත පැමිණි, දේවසභ කුමරු ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී කළ පූර්වකටයුතු ඇතිව විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“කෙලෙසුන් විරහිත චන්‍ද්‍රයා මෙන් නිර්මල වූ, පිරිසිදු වූ, පැහැදුනා වූ, කෙලෙස් මලින් නොකැළඹුණු නන්දිභව නම් තණ්හාව හා භවය ක්‍ෂය කරන ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයේම ඇල්ම නැති කළ, ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ, සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතරින් උතුම් වූ, වනයේ හිඳ ධ්‍යාන වඩන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛි බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.