දේවසභ ස්ථවිරගාථා වර්ණනාව
“සම්මප්පධාන සම්පන්නො” යනු ආයුෂ්මත් දේවසභ තෙරුන් වහන්සේ පැවසූ ගාථාවකි. එහි නිදානය කෙසේද? දේවසභ තෙරණුවෝ පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, සිඛී නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද වැඩිවිය පැමිණ, දිනක් ඒ බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින් බඳුවද මල් පූජා කොට නිවන් පතාගෙන කුසල් රැස්කරගත්හ. ඒ පින්කම් නිසා දෙව් - මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථු වේ. ශාක්‍ය රජ කුලයෙහි උපන් හෙතෙම දේවසභ නමින් ප්‍රකට විය. වියට පත් එ කුමරු කලහය සන්සිඳවීමට ශාස්තෲන් වහන්සේ පැමිණි කල්හි බුද්ධානුභාවය දැක, පැහැදුනු සිතින් සරණ සිල්හි පිහිටියේය. නැවත ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන කල්හි උන්වහන්සේ වෙත පැමිණි, දේවසභ කුමරු ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී කළ පූර්වකටයුතු ඇතිව විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“කෙලෙසුන් විරහිත චන්‍ද්‍රයා මෙන් නිර්මල වූ, පිරිසිදු වූ, පැහැදුනා වූ, කෙලෙස් මලින් නොකැළඹුණු නන්දිභව නම් තණ්හාව හා භවය ක්‍ෂය කරන ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයේම ඇල්ම නැති කළ, ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ, සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතරින් උතුම් වූ, වනයේ හිඳ ධ්‍යාන වඩන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛි බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
[missing trans]
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්‍මයක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප සතකට පෙර මනුජේන්‍ද්‍ර වූ මහත් වූ යසස් ඇති සමන්තචක්ඛු නම් සක්විති රජ වුයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, තමන් වහන්සේ අවබෝධ කරගත් විමුක්ති සුවය නිසා උපන් ප්‍රීති සොම්නසින් උදන් ඇණීම් වශයෙන් මෙම ගාථා වදාළහ.
“සම්මප්පධාන සම්පන්නො සතිපට්ඨාන ගොචරො,
විමුත්ති කුසුමසඤ්ජ න්නො පරිනිබ්බායිස්සත්‍යනාසවො.”
එහි “සම්මප්පධාන සම්පන්නො” චතුරංග සමන්නාගත සම්‍යක් ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූ, ඒ වීර්‍ය්‍ය මගින් කළයුතු කටයුතු සම්පාදනය කර සිටියි යන අර්ථයයි. “සතිපට්ඨාන” යනු කායානුපස්සනාදී සතිපට්ඨාන ගොදුරු කරගෙන පවතියි යන අරුතින් සතර සතිපට්ඨාන ගෝචර වූ, අරමුණු වූ, සතර සතිපට්ඨානයන් හි පිහිටි සිත් ඇති යන අර්ථයයි. ගුණ ශෝභන නම් උතුම් වූ සුවදැති විමුක්තිය නම් වූ මලින් අලංකාර වූ, මනාව වැසුනු යන අර්ථය “විමුත්ති කුසුමසඤ්ඡන්නො” යන්නෙහි ඇත. “පරිනිබ්බායිස්සත්‍ය නාසවො” යනු මෙසේ පිළිපදින්නා වූ භික්‍ෂුව නොබෝ කලකින් ම අනාශ්‍රවයකු වී සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවේ යන අර්ථයයි. මෙය ම දේවසභ තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
දේවසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දසවන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
එකොළොස් වැනි වග
බෙලට්ඨානික ස්ථවිරගාථා වර්ණනාව
“හිත්‍වා ගිහී ත්‍වං අනවොසිතත්තො” යනු ආයුෂ්මත් බෙලට්ඨානික තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු පවුලක ඉපිද බමුණ ශිල්ප ශාස්ත්‍රයන්හි නිෂ්පත්තියට පැමිණියහ. ඔහු ගිහිගේ හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව සෘෂිවරුන් පිරිවරාගෙන හැසිරෙනුයේ එක් දිනක් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක ප්‍රීති සොම්නසට පැමිණ, ශාස්තෲන් වහන්සේගේ ඤාණ සම්පත්තිය හේතුවෙන් සිත පහදවා එම උතුම් ඤාණය උදෙසා මලින් පූජාවක් කළේය. ඒ පින්කම හේතුවෙන් දෙව්මිනිසුන් අතර සැරිසරමින් සැප විඳ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක ඉපිද බෙලට්ඨානික නමින් ප්‍රකට ව, වැඩිවියට පත් ව ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි ව, කමටහන් ගෙන කොසොල් රටෙහි අරණ්‍යයක වාසය කළේය. උන්වහන්සේ පසුව අලසව කය වැඩීමෙහි ම නියැලී පරුෂවදන් කියන්නෙකු වූහ. මහණදම් වැඩීමෙහි සිතක් නො ඉපදවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ ඤාණයේ මුහුකුරා යෑම බලා මෙම අවවාද ගාථාවෙන් උන්වහන්සේ සංවේගයට පත්කළ සේක.