අභය ස්ථවිරගාථා වර්ණනාව
“රූපං දිස්වා සති මුට්ඨා” යනු ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන්පතාගෙන පින් රැස්කර ගත්හ. සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම දිනක් සුමේධ බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතින් සලල නම් සුවඳ මල් වලින් පිදුවේය. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව ඉපිද, තව තවත් පින්දහම් සිදුකර කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු පවුලක “අභය” නාමය ලබා ඉපිද වැඩිවියට පැමිණියේය. පෙර හේතුසම්පත් මගින් මෙහෙයවනු ලැබූ අභය බමුණා ශාස්තෲන් වහන්සේ වැඩ සිටින විහාරයට දිනක් ගොස් ධර්‍මදේශනාව අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදිවිය. පූර්ව කටයුතු නිමවූ උන්වහන්සේ විදසුන් කමටහන වඩමින් වෙසෙන අතර දිනක් ගමට පිඬුසිඟා වැඩියහ. එසේ වැඩම වූ උන්වහන්සේ නිවසක අලංකාරව සැරසී හුන් ස්ත්‍රියක් දැක නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ඇගේ රූපයට ඇලී රාග සිත් ඉපිද වූහ. විහාරයට වහා පිවිසි අභය තෙරණුවෝ “සිහිය නොමැතිව බැලූ මට එම රූපාරම්මණය නිසා කෙලෙස් ඉපදුනි. මවිසින් කරන ලද්දේ ඉතා නුසුදුසු ක්‍රියාවකි” යි තම සිතට නිග්‍රහ කරමින් එකෙණෙහිම විදසුන් වඩා රහත් ඵලයට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“සියල්ල තමන්වහන්සේ දැනගත්තාවූ අපරාජිත වූ සුමේධ බුදුහු විවේක සුවය වඩමින් මහවනයට පිවිසිසේක.
ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුණු සලල ගසක් දුටු මම ඉන් මල් කඩාගෙන බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
තිස් දහස්වන කල්පයේ යම් මලක් පිදුවෙම්ද මේ දක්වා ම දුගතියක් නො දනිමි. බුදු පුදෙහි විපාකය මෙබඳුය.
කල්ප එක් දහස් නවසියයකට පෙර නිම්මිත නමින් මහත් බල ඇති සක්විති රජවරු දාසය දෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ, “තමාගේ කෙළෙස් ඉපදීම් දැක්වීමෙන්, කෙලෙස් අනුව පවතින කෙලෙස් වසඟවූවහුට සංසාර දුකින් මිදී හිස එසවීමක් නම් නොලැබේ. මම වනාහි ඒ කෙළෙස් දුරලූයෙමි”යි දක්වමින් මෙම ගාථාව වදාළහ.
“රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො,
සාරත්ත චිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස තිට්ඨති,
තස්ස වඩ්ඪන්ති ආසවා භවමූලා භව ගාමිනො.”
මෙම ගාථාවෙහි “රූපං” යනු ඇලුම් කටයුතු රූපායතනයයි. මෙහිදී ස්ත්‍රී රූපය අදහස් කරන ලදි. “දිස්වා” දෑසින් දැක චක්ඛුද්වාරය ආශ්‍රයෙන් නිමිති, අනුව්‍යඤ්ජන, උප ලක්‍ෂණ වශයෙන් රූපය පිළිබඳව සිතට ගෙන, එහි මේ ආකාරයෙන් ගැනීම හේතුවෙන් “සති මුට්ඨා” අසුභ සහගත කයෙහි අසුභ භාවය සිහිකිරීමෙන් පවතින සිහිය නොමැතිව යම් රූපයක් දැකීමේදී සිහිය නොමැතිවීද එය දැක්වීමයි. “පිය නිමිත්තං මනසි කරොතො” යම්සේ එළඹ සිටි අරමුණ “සුභය සැපය” ආදී ලෙස ප්‍රිය නිමිති ගෙන අනුවණින් මෙනෙහි කිරීමෙන්, නිවැරදි සිහිකිරීමෙහි සිහි මුලාවී යන අර්ථ යෝජනාවයි. එසේම එයින් “සාරත්ත චිත්තො වෙදෙති” යනු මනාව එහි ඇලුණු සිතින්, ඒ අරමුණ වැළඳගනියි, සතුටුවෙයි එහි බැසගෙන සිටියි. බැසගැනීම් වශයෙන් ඒ අරමුණම ගිලගෙන එහිම නැවතී සිටියි. මෙසේ ඇලී ගැලී සිටින්නාට “තස්ස වඩ්ඪන්ති ආසවා භව මුලා භවගාමිනො” ඒ සංසාර භවයේ පැවැත්මට මුල වූ හේතුව කාමාශ්‍රවාදී සිවු ආශ්‍රවයෝ ඒ පුද්ගලයාට තව තවත් වැඩේ. සසර පැවැත්ම තව තවත් දිගු වේ. නොපිරිහේ මම වනාහි සංස්කරණය කිරීමෙහි පිහිටා, විදසුන් වඩමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් මඟ පිළිවෙලින් ඒ සතර ආශ්‍රවයෝ ඉතිරි නොකරම ප්‍රහීණ කළෙමි ක්‍ෂය කළෙමි යන අදහසයි.
අභය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උත්තිය ස්ථවිරගාථා වර්ණනාව
“සද්දං සුත්‍වා සතිමුට්ඨා” යන ගාථාව ආයුෂ්මත් උත්තිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උත්තිය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව එ් ඒ භවයන් හි ඉපිද නිවන් පතා පින්දහම් රැස්කරගෙන, සුමේධ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පත් වූ සිටුකුමරෙක් වූහ. එක් දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගෝණකාදී පලස් අතුළ, උඩුවියන් බැඳි බුදුවරුන්ට සුදුසු වූ අගනා පලඟක් ගඳිකිළියෙහි පනවා පූජාකළේය. ඒ පින්කමේ විපාක වහයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරිසරා අපගේ බුදුරදුන් පහළ වූ සමයෙහි කපිලවස්තුවේ ශාක්‍ය රජ පවුලක ඉපිද උත්තිය කුමරු නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු ශාස්තෲන් වහන්සේ නෑයන් හමුවූ මොහොතෙහි පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවී, මහණදම් පුරා, එක් දිනක් නුවර පිඬු සිඟා වැඩියේය. අතර මඟ එක් ස්ත්‍රියකගේ ගී ශබ්දයක් අසා අනුවණින් එය මෙනෙහිකර එම ශබ්දයේ තදින් ඇලුණු උත්තිය තෙරණුවෝ, නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් එම රාගය දුරුකර, විහාරයට පිවිසියහ. ඒ පිළිබඳව උපන් සංවේගයෙන් දවල් වසන තැන හිදී උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා රහත්බවට පත්වූහ. අපදාන පාළියේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.