තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
“හිත්‍වා සතපලං කංසං” යන ගාථාව ආයුෂ්මත් තිස්ස තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේද? මෙතෙමේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වාහන සාදන පවුලක ඉපිද වැඩිවියට පත්ව, එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් සඳුන් දර කඩකින් ඵලකයක් සාදා එය උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු, තව තවත් භවයන්හි ඉපිද පින් දහම් රැස් කර කාම සුගතීන්හිම සැරිසරා; මේ බුද්ධෝත්පාද කාලයෙහි රෝරුව නුවර රජ ගෙදර උපන්නේ ය. වියට පත් ඔහු පියාගේ ඇවෑමෙන් රජ වී බිම්සර රජු සමග නොදුටු මිත්‍රත්‍වයෙන් වෙලී ඔහු වෙතට මිණි මුතු වස්ත්‍රාදී පුද පඬුරු යැවීය. බිම්සර රජ එම ත්‍යාග ලබා සතුටු පිළිතුරු ත්‍යාග වශයෙන් සිතුවම් පටක බුදුසිරිත ද රන් පටියක ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ද ලියවා යැවීය. එය දුටු රෝරුව රජු පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති බැවින් ද ප්‍රතීත්‍යසමුත්පාදය ද බලා කාරණා කාරණා විමසා බලා, හසුනේ වූ දෙය හදෙහි තබාගෙන උපන් සංවේගයෙන්, “ම විසින් භාග්‍යවතුන් වහන්සේ දක්නා ලද්දෙමි. මේ හසුන ද එක්වරම අවබෝධ විය. කාමයෝ බොහෝ දුක් ගෙන දෙති. බොහෝ උවදුරු ඇත. ගිහිගේ වැසීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද?” රජකම හැරදමා කෙස් රවුල් බහා කසාවත් හැඳ, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී මැටි පාත්‍රයක් ගෙන පුක්කුසාති රජමෙන්. මහජනයා හඬද්දීම තම නුවරින් නික්ම අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණියේය. එහි සප්පසොණ්ඩක පර්වත ප්‍රාන්තයේ වෙසෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි ඔහු උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා විදසුන් කමටහන රැගෙන, එහිම සිත පිහිටුවා වෙසෙමින් විදසුන් කමටහන වැඩිදියුණු කිරීමෙන් රහත් විය. එනිසා අපදාන පාළියේ මෙසේ උන්වහන්සේ සිය චරිතය දක්වන ලදි.
“පෙර දැව කර්මයෙහි මනාව හික්මුණු වඩුවෙක් වූ මම සඳුන් පුවරුවක් සාදා එය ලෝකබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
ඒ හේතුවෙන් මා හට පහළ වූ මේ රනින් නිම වූ විමානය බබලයි. හස්තියා ද අශ්වයා ද දිව්‍යමය යානාවක් ද මා හට ලැබුණි.
ප්‍රාසාද, සිවිකා කැමති තාක් පහළ විය. මා හට ස්ථාවර වූ රත්න නිධාන පහළ විය. සඳුන් පුවරු පිදීමේ පුණ්‍ය විපාකය මෙබඳුය.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵලකයක් පිදුවෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලක දානයේ විපාකය මෙයයි.
මෙයින් පනස් හත්වන කල්පයේ සන්ත නම් මහබලැති සක්විති රජවරු සිවු දෙනෙක් ව සප්ත රත්නයෙන් සමන්විත වූ රජ සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් තමාගේ පිළිවෙත පවසමින් මෙම ගාථාව වදාළහ.
“හිත්‍වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං,
අග්ගහිං මත්තිකාපත්තං ඉදං දුතියාභිසෙචනං”
මෙම ගාථාවෙහි “හිත්‍වා” යනු අත්හැර “සතපලං” යනු යමෙක පලම් සියයක් පමණ ප්‍රමාණවත් වේ නම් සතපල ප්‍රමාණ වූවකි. සිය පලමක් අගනා “කංසං” යනු රන් තැලියයි. “සොවණ්ණං” යනු රත්නමය රනින් කළ “සතරාජිකං” බෙදූ විසිතුරු අනේක රූපාලංකාර වලින්ද, විසිතුරු වූ නොයෙක් රේඛාවලින් ද බබළන “අග්ගහිං මත්තිකා පත්තං” මෙබඳු වූ මහත් අනර්ඝ භාජනයක මීට පෙර ආහාර වැළඳුවෙමි. බුදුරදුන්ගේ අවවාදය අනුව දැන එය අතහැර, මැටිමුවා පාත්‍රයක් දැන ගත්තෙමි.” පුදුමයි! මවිසින් කළ දෙය ආර්ය ව්‍රතය අනුව පැවතීමකි”යි භාජනය පිළිබඳ පැවසීමෙන්. තම රජකම හැරදැමීමත් පැවිදිවීමත් සිහිකර සතුටුවීම අදහස් වේ. ඒ නිසා “ඉදං දුතියාභිසෙචනං” යනුවෙන් කියන ලදි. පළමුව මම රාජාභිෂේකය ලැබුවෙමි. මේ පැවිදිව දෙවැනි අභිෂේකයක් බඳුය. පළමු අභිෂේකය රාගාදියෙන් කිලිටි වූ, සැක සංකා සහිත අනර්ථ වූ දුක හා බැඳී පවතින නිහීන වූ අවස්ථාවකි. දැන් මම ලැබූ මේ අභිෂේකය එම දුක්ඛදායී බැවින් වෙන් වූ උතුම් ප්‍රණීත වූවකි යන අදහසයි.
තිස්ස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අභය ස්ථවිරගාථා වර්ණනාව
“රූපං දිස්වා සති මුට්ඨා” යනු ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන්පතාගෙන පින් රැස්කර ගත්හ. සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම දිනක් සුමේධ බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතින් සලල නම් සුවඳ මල් වලින් පිදුවේය. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව ඉපිද, තව තවත් පින්දහම් සිදුකර කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු පවුලක “අභය” නාමය ලබා ඉපිද වැඩිවියට පැමිණියේය. පෙර හේතුසම්පත් මගින් මෙහෙයවනු ලැබූ අභය බමුණා ශාස්තෲන් වහන්සේ වැඩ සිටින විහාරයට දිනක් ගොස් ධර්‍මදේශනාව අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදිවිය. පූර්ව කටයුතු නිමවූ උන්වහන්සේ විදසුන් කමටහන වඩමින් වෙසෙන අතර දිනක් ගමට පිඬුසිඟා වැඩියහ. එසේ වැඩම වූ උන්වහන්සේ නිවසක අලංකාරව සැරසී හුන් ස්ත්‍රියක් දැක නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ඇගේ රූපයට ඇලී රාග සිත් ඉපිද වූහ. විහාරයට වහා පිවිසි අභය තෙරණුවෝ “සිහිය නොමැතිව බැලූ මට එම රූපාරම්මණය නිසා කෙලෙස් ඉපදුනි. මවිසින් කරන ලද්දේ ඉතා නුසුදුසු ක්‍රියාවකි” යි තම සිතට නිග්‍රහ කරමින් එකෙණෙහිම විදසුන් වඩා රහත් ඵලයට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.