ඛණ්ඩසුමන ස්ථවිරගාථා වර්ණනාව
“ඒක පුප්ඵං චජිත්වාන” යනු ආයුෂ්මත් ඛණ්ඩ සුමන තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ සිටුගෙයක ඉපිද වැඩි වියට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි සෑදවූ රන් සෑයට, රජු මහා පුෂ්ප පූජාවක් කරනු ලබන කල්හි තමාට පූජා කිරීමට මල් නොවූ බැවින් මෙම සිටුතුමා ඒ ථූපය අවට සඳුන් වේදිකාවක් වටකරවා මහත් වූ පූජාවක් සිදු කළේය. ඒ මහා පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ මහත් වූ සම්පත් අනුභව කළ හෙතෙම කාශ්යප බුදුන් දවස කෙළෙඹි පුත්රයෙක් ව උපන්නේ ය. කාශ්යප බුදුරදුන් පිරිනිවි කල්හි සෑද වූ රථ ථූපය උදෙසා රජු මල් පූජාවක් කරනු ලබන කල්හි, තමන්ට පූජා කිරීමට මල් නොලැබූ එම කෙළෙඹියා එක් ඛණ්ඩ සුමන මලක් දැක මහත් වූ මුල සමග ම එය කඩාගෙන සෑයට පූජා කරන්නේ, මහත් වූ ප්රීති සොම්නසක් වින්දේය. ඒ පින්කම හේතුවෙන් ද දෙව්ලොව උපන් හෙතෙම අසූ කෝටියක් හවුරුදු දිව සැප විඳ අපගේ බුදුරදුන් පහළ වූ කල්හි පාවා නුවර මල්ල රජ පවුලක උපන්නේ ය. ඔහු උපන් කල්හි එම ගෙදර ඛණ්ඩ හකුරු ද සුමන මල් ද පහළ විය. එනිසා ඒ රජකුමරුට “ඛණ්ඩ සුමන” යැයි නම් තබන ලදි. වැඩි වියට පත් එකුමරු භාග්යවතුන් වහන්සේ පාවා නුවර චුන්දගේ අඹ වනයෙහි වැඩ වසන කල්හි, උන්වහන්සේ වෙත අවුත් ධර්ම ශ්රවණය කොට, ලබන ලද ශ්රද්ධාවෙන් පැවිදි විය. පැවිදිව නොබෝ දිනකින් ම විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටි එම තෙරණුවෝ තම චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“ලෝක ජ්යෙෂ්ඨ වූ නර ශ්රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගිනි කඳක් මෙන් බබලා පිරිනිවන් පෑ සේක.
මහාවීර වූ එම බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධන් කළ මහ සෑයක් බඳින ලදි. අති උතුම් වූ ඒ ධාතුගෙයට බොහෝ ජනයා දිවා රෑ දෙක්හි උපස්ථාන කළහ.
මම එහි පහන් සිතින්, සතුටු සිතින් සඳුන් වේදිකාවක් සෑදුවෙමි. පසුව සෑ රජුට සුදුසු වූ පරිදි සඳුන් දුම් දුන්නෙමි.
ඉන්පසුව දිව්යමය හෝ මානුෂ්යමය භවයන්හි උපන්නා වූ මාගේ ළාමක බවෙක් නම් නොවිණි. පෙර කළ කුසල කර්මයේ විපාකය එයයි.
මෙයින් කල්ප එක්දහස් පන්සීයකට පෙර මහත් බල ඇති සමග්ග නම් වූ සක්විති රජවරු අට දෙනෙක් සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත්බවට පත්ව තමාගේ පෙර ජාතිය සිහිපත් කළ ඛණ්ඩ සුමන හිමියෝ, එහිදී තමා විසින් සුමන මල් පිදීම නිසා දිවසැප ලැබීමත්, නිවන් සැප ලැබීමත් සිදු වූ බව දැක තම ප්රීතිය පහළ කිරීම් වශයෙන් මෙම ගාථාව වදාළහ.
“එකපුප්ඵං චජිත්වාන අසීතිං චස්ස කොටියො,
සග්ගෙසු පරිචාරෙත්වා සෙසකෙනම්හි නිබ්බුතො”
සග්ගෙසු පරිචාරෙත්වා සෙසකෙනම්හි නිබ්බුතො”
මෙම ගාථාවේ “එකපුප්ඵං” යනු එක මලකි. මෙහිදී සුමන මලක් අදහස් කරන ලදි. “චජිත්වාන” යනු ශාස්තෲන් වහන්සේගේ ථූපයට පූජා කිරීම් වශයෙන් පරිත්යාග කර, පූජා කරන “අසීතිං වස්සකොටියො” යනු මනුෂ්ය ලෝකයේ ගණන් කිරීම අනුව වසර අසූ කෝටියක්. මෙහි අත්යන්ත සංයෝගයේ දුතියා විභක්තිය යෙදී ඇත. මෙහිදී සයක් වූ කාම ස්වර්ගයන්හි දෙවැනි අත්බවේ සිට සැරිසැරූ බව අදහස් වේ. එනිසා “සග්ගෙසු” යනුවෙන් තාවතිංස ප්රමුඛ දිව්ය ලෝකවල ඉපදුනෙමි. නැවත නැවත ඉපදීම් වශයෙන් එහි සිටි බැවින් මෙහි සත්තමී බහු වචනය යෙදුණි. “පරිචාරෙත්වා” යනු රූපාදී අරමුණුවල ඉඳුරන් හසුරුවා, සැප විඳ දිව්යාංගනාවන් විසින් තමා පිරිවරාගෙන උපස්ථාන කර “සෙසකෙනම්හි නිබ්බුතො” යනු මල් පූජා වශයෙන් පවතින කුසල චේතනාවන්හි භව සම්පත් ප්රදානය කිරීමට ඇති බල මහිමයෙන් ඉතිරි වූ යම් ඒ නිවන් සැප ලැබීමට හේතු වූ කුසලයක් වී ද ඒ සඳහා කියන ලදි. මෙහි බොහෝ පූර්වාපර වශයෙන් පැවති චේතනාවෝ විය. “සෙසකෙන” යනු එම කර්මයේ විපාක වශයෙන් ඉතිරි ව, එම විපාක ඉතිරිව තිබියදීම එහි විපාක වශයෙන් නිවුණෙමි. නිවනට පැමිණියෙමි. කෙලෙස් පරිනිවණින් පිරිනිවියෙමි. මේ යම් ආත්මභාවයක සිට තමා රහත් බව සාක්ෂාත් කරගත්තේ ද එම අවසන් ආත්ම භාවය ද ඒ කර්මයේ විපාකයක් බව දක්වයි. මෙබඳුම සැප විඳින ආත්මභාව තවත් ඉතිරිව තිබියදී පිරිනිවියෙමි යන අදහසයි.
ඛණ්ඩ සුමන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.