චක්ඛුපාල ස්ථවිරගාථා වර්ණනාව
“අන්ධොහං හතනෙත්තොස්මි” යනු ආයුෂ්මත් චක්ඛුපාල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද, වැඩිවියට පත්වූහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ථූප පූජාව සිදු කිරීමේදී මල් රැගෙන ථූපයට පූජා කිරීමේ පිනින් ඔහු දෙව්ලොව ඉපදුණි. තව තවත් පින් කරමින් දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර මහා සුවණ්ණ නම් කෙළෙඹියාට පුතුව උපන්නේ ය. ඔහුගේ නම “පාල” නම් විය. එකුමරු ඔබිනොබ ඇවිදින කාලයේ දී ඔහුගේ මව තව පුතෙකු වැදුවාය. එවිට දෙමාපියෝ කුඩා පුතුට “චුල්ලපාල” නමත් වැඩිමලාට “මහාපාල” යන නමත් ව්‍යවහාර කළහ. වැඩිවියට පත් වූ ඒ දෙදෙනම විවාහ ප්‍රාප්ත වූහ. එසමයේ ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එම විහාරයට දිනපතා යන උපාසකයන් සමග එහි ගිය මහාපාල ශාස්තෲන් වහන්සේගෙන් බණ අසයි. ධර්ම ශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව නිසා සිය ගෘහ කටයුතු බාල සොයුරාට පවරා තමා පැවිදි විය. පැවිදිව ලැබූ උපසපන් බව ඇතිව, ආචාර්ය උපාධ්‍යායන් හමුවේ වස් පසක් වැස; වස් පවාරණයෙන් අනතුරුව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් ගෙන; සැටක් පමණ සහාය භික්ෂූහු පිරිවරා, භාවනාවට සුදුසු වාසස්ථානයක් සොයමින් එක් ප්‍රත්‍යන්ත ගමකට වැඩ එහි ගම්වැසි උවසුවෝ කරවා දුන් පන්සලෙහි වාසය කරමින් මහණදම් පිරූහ. එසේ භාවනා කරන කල්හි උන්වහන්සේට ඇස් රෝගයක් ඇතිවිය. වෛද්‍යවරයා බෙහෙතක් සාදා දුන්නේය. වෛද්‍යවරයා පැවසූ ලෙස උන්වහන්සේ ප්‍රතිකාර නොගත්හ. එනිසා ඇස් රෝගය වර්ධනය විය. උන්වහන්සේ “මේ මගේ ඇස් රෝගයට ද වඩා කෙලෙස් රෝගය සන්සිඳවීම ඉතා උතුම් වන්නේයැ”යි ඇස් රෝගය ගැන නොසිතා විදසුන් භාවනාව වැඩීමෙහි ම සිත යොමු කළහ. එසේ භාවනාවට යොමු වූ උන්වහන්සේගේ කෙලෙස් ද දෙ ඇස් ද පෙර හසු නොවී එක විටම බිඳුණි. වැනසුනි. උන්වහන්සේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“ලෝ වැස්සාගේ පූජාවන් පිළිගන්නා වූ ලෝකනායක වූ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේට මහා චෛත්‍ය පූජාවක් පැවැත්විණි.
ඒ මහර්ෂීන් වහන්සේට මහත් වූ පූජාවක් පැවැත්වෙන කල්හි මම දියබෙරලිය මල් රැගෙන එම සෑයට පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප නවයකට පෙර සෝමදේව නම් වූ මහත් බල ඇති සක්විති රජව අසූ පස් වාරයක් සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
ඉක්බිති ඇස් බිඳීයෑම නිසා විහාරයේ තෙරුන් නවතා ගමට පිඬු සිඟා වැඩි සහායක භික්ෂූන් වෙතින් උපාසකයෝ “කුමක් හෙයින් තෙරුන් වහන්සේ නොවැඩිසේක්ද?”යි විමසූහ. තොරතරු අසා දුකට පත් ඔවුහු පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! කිසිවක් නොසිත්වා. දැන් අපි ම ඔබවහන්සේට පිණ්ඩපාතය රැගෙන එන්නෙමු”යි ආරාධනා කර සිවුපසය ගෙනවුත් උපස්ථාන කළහ. සෙසු භික්ෂූහු තෙරුන්ගේ අවවාදයෙහි පිහිටා නොබෝ දිනකින් ම රහත් වූහ. වස් වැස නිම වී පවාරණය කළ ඒ භික්ෂූහු, “ස්වාමීනි! අප ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා සැවැත්නුවරට යන්නෙමු”යි පැවසූහ. තෙරණුවෝ “මම ඉතා දුර්වල ඇස් නොපෙනෙන්නෙකි. මාර්ගය ද උපද්‍රව සහිතය. මා රැගෙන යන නුඹලා මහත් වෙහෙසට පත්වෙති. එනිසා නුඹලා පළමුව යන්න. ගොස් ශාස්තෲන් වහන්සේ ද මහා ශ්‍රාවකයන් වහන්සේලා ද මාගේ වචනයෙන් වඳින්න. චූලපාලට මගේ පුවත් කියා, පැමිණීමට අසමත් බව දන්වා කිසියම් පුරුෂයකු මා වෙත එවන්න”යි පැවසූහ. ඒ භික්ෂූහු නැවත ද යෑමට ආරාධනා කළත් යෑමට අකමැති වූ හෙයින්, “යහපති”යි පිළිතුරු දී, සෙනසුන් අකුලා තබා, උපාසකවරුන්ට දන්වා අනුපිළිවෙලින් දෙව්රම් වෙහෙරට ගොස්; ශාස්තෲන් වහන්සේ ද මහා තෙරවරුන් ද මහාපාල තෙරුන්ගේ වචනයෙන් වැඳ දෙවැනි දවස් හි පිඬු පිණිස හැසිරෙමින් චූලපාලගේ ගෙට ගොස් සියලු පුවත් දැන්වූහ. එවිට චූලපාල “ස්වාමීනි! මේ මගේ පාලිත නම් බෑණා එහි යැවීමට හැකිය”යි කී කල්හි, එම තෙරවරු “මාර්ගය උවදුරු සහිතය. මොහුට ගිහි ස්වභාවයෙන් එහි යා නොහැක. එනිසා පැවිදි කර යවමු”යි පැවසූහ. ඔහු පැවිදි කරවා තෙරුන් වෙත යැවූහ. එම පාලිත සාමණේරයා අනුපිළිවෙලින් තෙරුන් වසන තැනට පැමිණ, තමාගේ පැමිණීම තෙරුන්ට දන්වා උන්වහන්සේත් සමග සැවැත් නුවර බලා පිටත් වූහ. එසේ එන අතරමග ගමක් අසල කැළයේ එක් දර කඩන්නියකගේ ගී ශබ්දයක් අසා, ඇය කෙරේ ඇලුණු පාලිත හිමියන්, තෙරුන් වහන්සේගේ සැරයටි කොණ අතහැර, ස්වාමීනි! මොහොතක් හිඳුනු මැනවි. මම වහා එන්නෙමි”යි කියා ඇය වෙත ගොස්, එහිදී සීල විපත්තියකට පැමිණියේය. තෙරුන් වහන්සේ, “දැන් ස්ත්‍රියකගේ ගී හඬක් ඇසුණි. සාමණේරයා ද පමාවෙයි. ඒකාන්තයෙන් මොහු සීල විපත්තියකට පැමිණියේ ය”යි සිතූහ. එම සාමණේරයා අවුත් “ස්වාමීනි! යමු” යි කී කල්හි, තෙරුන් වහන්සේ “කිම නුඹ පාපියෙක් වූවෙහිද?”යි ඇසූහ. සාමණේරයා නිහඬ විය. නැවත නැවත විමසුවත් කිසිවක් නො පැවසීය. තෙරණුවෝ, “නුඹ වැනි පාපියෙක් මගේ සැරයටිය අල්ලා ගැනීමක් නම් නැත. නුඹ මෙතැනින් පලා යව”යි පැවසූහ. ඔහු විසින් නැවත “ස්වාමීනි! මාර්ගය බොහෝ උවදුරු ඇත්තකි. නුඹ වහන්සේ ද අන්ධය. කෙසේ යන්නේද?”යි කී කල්හි, “එම්බල මෝඩය! මා මෙහිම වැටී මිය ගියත් නැවත නැවත පැකිලී වැටුණත් නුඹ වැන්නකු සමග යෑමක් නම් නැතැ”යි පවසා මේ අර්ථය දැක්වෙන මෙම ගාථාව වදාළහ.