මෙත්තජි ස්ථවිරගාථා වර්ණනාව
“නමො හි තස්ස භගවතො” යනු ආයුෂ්මත් මෙත්තජි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? හෙතෙම අනෝමදස්සි බුදුන් දවස සිටු කුමරෙක්ව ඉපිද, වැඩිවියට පත්ව, බුදු සසුනේ වෙසෙසින් පැහැදී බෝධි වෘක්‍ෂයට ගඩොලින් වේදිකාවක් කරවා සුදු පාටින් සායම් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කළ සේක. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව උපන් හෙතෙම ඒ ඒ භවයන්හිදී තව තවත් පින් දහම් සිදුකර දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ මගධ රට එක්තරා බමුණකුගේ පුතුව ඉපදී මෙත්තජි නාමයෙන් ප්‍රකට විය. වියට පත් ඔහු කාමයේ ආදීනව දැක තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යයෙහි වාසය කරනුයේ බුදුරදුන්ගේ පහළවීම අසා, පූර්ව පුරුදුතාවයෙන් මෙහෙයවනු ලබන්නේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට අවුත් පැවැත්ම අරබයා ප්‍රශ්න විමසා, ශාස්තෲන් වහන්සේ එම ප්‍රශ්න විසඳූ කල්හි ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව, විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දක්වා ඇත.
“මම අනොමදස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධිය වටා වේදිකාවක් කරවීමි. එය වටා සුණු වලින් පරිකර්ම කොට අලංකාර කළෙමි.
ශාස්තෲ වූ අනෝමදස්සි නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනවින් කළ එම පින්කම දැක භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථාව වදාළහ.
“මේ යහපත් පින්කම නිසාත් පිරිසිදු චිත්ත ප්‍රණිධිය නිසාත් සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේ ය.”
මම ප්‍රසන්න වූ මුව ඇත්තෙමි. එකඟ වූයෙමි. සන්සුන් සිත් ඇත්තෙමි. බුදුසසුනෙහි අවසන් දේහය දරමි.
මෙයින් නොඅඩු වූ කල්ප සීයකට පෙර සබ්බෝසන නම් සක්විති රජව සැප වින්දෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ ශාස්තෲන් වහන්සේට ස්තුති කරමින් මේ ගාථාව වදාළ සේක.
“නමො හි තස්ස භගවතො, සක්‍ය පුත්තස්ස සිරීමතො,
තෙනායං අග්ගප්පත්තෙන, අග්ගො ධම්මො සුදෙසිතො”
මේ ගාථාවෙහි “නමො” යනු නමස්කාරයයි. “හී” යනු නිපාතයක් පමණි. “තස්ස” යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සමතිංස පාරමී ධර්ම සම්පූර්ණ කර, සියලු කෙලෙස් බිඳ අනුත්තර වූ සම්‍යක් සම්බෝධියට පැමිණිසේක් ද අවබෝධ කළසේක් ද උන්වහන්සේට “සක්‍ය රාජස්ස පුත්තො” ශාක්‍ය රජුගේ පුතා “සක්‍ය පුත්ත” නම් වේ. වෙනත් අයෙකුට සමාන නොවූ පුණ්‍ය සම්පත්තියෙන් සම්භාවිත වූ උතුම් රූප සම්පත්තියෙන් ද ධර්මකාය සම්පත්තියෙන් ද යුතු වූ බැවින් “සිරිමා” ශ්‍රීමත් වූ ඒ භාග්‍යවත් අරහත් ශාක්‍ය පුත්‍ර වූ සිරිමතුන් වහන්සේට නමස්කාර වේවා! උන්වහන්සේට මම වඳිමි යන අර්ථයයි. “තෙන” ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් “අයං” ඒ ධර්මය තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරගත් බැවින් මෙසේ පවසයි. “අග්ගප්ප ත්තෙන” අග්‍ර වූ සර්වඥභාවයට, සියලුම ගුණයන්හි අග්‍ර භාවයට - ශ්‍රේෂ්ඨභාවයට පත් වූ “අග්ගො ධම්මො” යනු අග්‍ර, උතුම් නවවිධ ලෝකෝත්තර ධර්මය මනාව, නොවෙනස් ව දෙසන ලදහ. වදාරන ලදහ.
මෙත්තජි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
චක්ඛුපාල ස්ථවිරගාථා වර්ණනාව
“අන්‍ධොහං හතනෙත්තොස්මි” යනු ආයුෂ්මත් චක්ඛුපාල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද, වැඩිවියට පත්වූහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ථූප පූජාව සිදු කිරීමේදී මල් රැගෙන ථූපයට පූජා කිරීමේ පිනින් ඔහු දෙව්ලොව ඉපදුණි. තව තවත් පින් කරමින් දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර මහා සුවණ්ණ නම් කෙළෙඹියාට පුතුව උපන්නේ ය. ඔහුගේ නම “පාල” නම් විය. එකුමරු ඔබිනොබ ඇවිදින කාලයේ දී ඔහුගේ මව තව පුතෙකු වැදුවාය. එවිට දෙමාපියෝ කුඩා පුතුට “චුල්ලපාල” නමත් වැඩිමලාට “මහාපාල” යන නමත් ව්‍යවහාර කළහ. වැඩිවියට පත් වූ ඒ දෙදෙනම විවාහ ප්‍රාප්ත වූහ. එසමයේ ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එම විහාරයට දිනපතා යන උපාසකයන් සමග එහි ගිය මහාපාල ශාස්තෲන් වහන්සේගෙන් බණ අසයි. ධර්ම ශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව නිසා සිය ගෘහ කටයුතු බාල සොයුරාට පවරා තමා පැවිදි විය. පැවිදිව ලැබූ උපසපන් බව ඇතිව, ආචාර්ය උපාධ්‍යායන් හමුවේ වස් පසක් වැස; වස් පවාරණයෙන් අනතුරුව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් ගෙන; සැටක් පමණ සහාය භික්‍ෂූහු පිරිවරා, භාවනාවට සුදුසු වාසස්ථානයක් සොයමින් එක් ප්‍රත්‍යන්ත ගමකට වැඩ එහි ගම්වැසි උවසුවෝ කරවා දුන් පන්සලෙහි වාසය කරමින් මහණදම් පිරූහ. එසේ භාවනා කරන කල්හි උන්වහන්සේට ඇස් රෝගයක් ඇතිවිය. වෛද්‍යවරයා බෙහෙතක් සාදා දුන්නේය. වෛද්‍යවරයා පැවසූ ලෙස උන්වහන්සේ ප්‍රතිකාර නොගත්හ. එනිසා ඇස් රෝගය වර්ධනය විය. උන්වහන්සේ “මේ මගේ ඇස් රෝගයට ද වඩා කෙලෙස් රෝගය සන්සිඳවීම ඉතා උතුම් වන්නේයැ”යි ඇස් රෝගය ගැන නොසිතා විදසුන් භාවනාව වැඩීමෙහි ම සිත යොමු කළහ. එසේ භාවනාවට යොමු වූ උන්වහන්සේගේ කෙලෙස් ද දෙ ඇස් ද පෙර හසු නොවී එක විටම බිඳුණි. වැනසුනි. උන්වහන්සේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.