එරක ස්ථවිරගාථා වර්ණනාව
“දුක්ඛා කාමා එරකා” යන ගාථාව ආයුෂ්මත් ඒරක තෙරුන් විසින් පැවසූවකි. එහි නිදාන කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පුණ්‍ය සම්භාර ධර්ම සම්පූර්ණ කරගෙන පැමිණි ඒරක තෙරුන් සිද්ධත්‍ථ භාග්‍යවතුන්ගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව; දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් උන්වහන්සේට පිදීමට කිසිවක් නො ලැබ “මම ඒකාන්තයෙන් ශරීර ශක්තියෙන් පින් කරන්නෙමි”යි උන්වහන්සේ වැඩම කරන මාවත සෝදා සම කළේය. ශාස්තෲන් වහන්සේ ඔහු විසින් සෑදූ ඒ මාවතෙහි වැඩි සේක. එය දුටු සිටු කුමරු පැහැදුණු සිතින් යුක්තව, ඇඳිලි බැඳගෙන සතුටු සිතින් බුදුරදුන්ගේ ශ්‍රී ශරීරය නොපෙනී යන තෙක්ම බුදු ගුණ මෙනෙහි කරමින් - එම ප්‍රීතියෙන්ම සිටියේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදු කරමින් කාම සුගතීන්හි ම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර ඉතා සම්භාවනීය සිටුවරයෙකුගේ පුත්‍රයාව ඒරක නමින් ඉපදුණි. ඒරක සිටුපුතු රූප සම්පන්නය. දර්ශනීයය. දුටුවන් පහදවන සුලුය. කළයුතු නොකළයුතු දේ දැන කිරීමෙහි සමත්ය. උතුම් වූ ව්‍යක්ත භාවයෙන් පිරිපුන්ය. ඔහුගේ දෙමාපියෝ කුලයෙන්, රූපයෙන්, හැසිරීමෙන් හා වයසින් ඔහුට සුදුසු වූ දැරියක් ගෙනවුත් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග සහවාසයෙන් ගිහි සුව විඳින කල්හි පශ්චිමභවික බැවින් කිසියම් සංවේගාත්මක කරුණක් නිසා සසර කළකිරී ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ශාස්තෲන් වහන්සේ ඔහුට කමටහන් දුන්සේක. කමටහන් ගත් නමුත් ඒරක තෙරුන් දින කිහිපයකට පසුව නැවත කාම වසඟ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන අවවාද කිරීම් වශයෙන් “දුක්ඛා කාමා ඒරකා” යන ගාථාව වදාළ සේක. එය ඇසූ තෙරුන් වහන්සේ “මවිසින් මෙබඳු උතුම් ශාස්තෲවරයකු හමුවේ කමටහන් ගෙන, එය අත්හැර දමා මිථ්‍යා විතර්කයන්ගෙන් යුතුව විසීමෙන් ඉතා නුසුදුසු වූවක් කරන ලදි” යනුවෙන් සංවේගයට පත්ව, වහාම විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“පසැස් ඇති බුදුරජාණන් වහන්සේ කුඩා ගඟකින් එතෙර වී වනයට වැඩම කරන සේක. මම ඒ උතුම් ලකුණු ඇති සිද්ධාර්ථ බුදුරදුන් දුටුවෙමි.
උදැල්ල හා කුඩය ද ගෙන ඒ මාර්ගය සමකළ මම ශාස්තෲන් වහන්සේට වැඳ තම සිත පහදවා ගතිමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් කර්මයක් සිදු කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මාර්ග දානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පනස් හතකට පෙර සුප්පබුද්ධ නාමයෙන් සක්විති රජව සැප වින්දෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව, ඒ බව ප්‍රකට කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවම උන්වහන්සේ නැවත මෙසේ දේශනා කළහ.
“දුක්ඛා කාමා එරක!, න සුඛා කාමා එරක!
යො කාමෙ කාමයති, දුක්ඛං සො කාමයති එරක!,
යො කාමෙ න කාමයති එරක!, දුක්ඛං සො න කාමයති එරකා
මේ ගාථාවෙහි “දුක්ඛා කාමා” යනු මේ වස්තු කාම, ක්ලේශ කාමාදිය දුක වස්තු කරගෙන ඇති බැවින්; විපරිණාම දුක; සංස්කාර දුක යන දුක් ස්වභාවයන්ගෙන් යුත් බැවින් දුකකි. කාමයෝ දුක් සහගතය. දුක නිපදවන සුලුය. එනිසා “කාමයන්ගේ අල්ප ආශ්වාද ඇත. බොහෝ දුක් ඇත. බොහෝ උවදුරු ඇත. කාමයේ ආදීනව බොහෝය” යනුවෙන් කියන ලදි. “එරක!” යනුවෙන් පළමුව තථාගතයන් වහන්සේ එම භික්‍ෂුවට අමතයි. පසුව තෙරුන් වහන්සේ ම තම නමින් තමා අමතයි. “න සුඛා කාමා” කාමයෝ නම් එය දන්නාහට සුවයක් නොවෙති. නොදන්නාහටම සුව ගෙන දෙති. එනිසා “යමෙක් සුවය දුක් වශයෙන් දකියි ද ඔහු දුක හුලක් වශයෙන් දකියි” ආදී වශයෙන් කියන ලදි. “යො කාමෙ කාමයති දුක්ඛං සො කාමයති” යම් සත්ත්‍වයෙක් කෙලෙස් කාමයන් හා වස්තු කාමයන් කැමති වේද, ඔහුට ඒ කාමුක සම්පත් නොලැබී යෑමෙන් අනාගතයේ අපා දුකට හේතු වශයෙන් ද සසර පැවතුම් දුකට හේතු වශයෙන් ද දුකම ගෙන දෙයි. වස්තු කාමයෝ දුකට වස්තු වූ බැවින් මෙසේ ඔහු දුක් ස්වබාව ඇති, දුක් නිමිති ඇති, දුක වස්තු කර ගත් දුකම කැමතිවේ යැයි කියන ලදි. එනිසා මෙහි අර්ථ කියන ලද ආකාරයෙන්ම දත යුතුයි. යමෙක් කාමයන් නොකැමතිවේද හෙතෙම දුක් නොකැමති වේ.
ඒරක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
මෙත්තජි ස්ථවිරගාථා වර්ණනාව
“නමො හි තස්ස භගවතො” යනු ආයුෂ්මත් මෙත්තජි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? හෙතෙම අනෝමදස්සි බුදුන් දවස සිටු කුමරෙක්ව ඉපිද, වැඩිවියට පත්ව, බුදු සසුනේ වෙසෙසින් පැහැදී බෝධි වෘක්‍ෂයට ගඩොලින් වේදිකාවක් කරවා සුදු පාටින් සායම් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කළ සේක. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව උපන් හෙතෙම ඒ ඒ භවයන්හිදී තව තවත් පින් දහම් සිදුකර දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ මගධ රට එක්තරා බමුණකුගේ පුතුව ඉපදී මෙත්තජි නාමයෙන් ප්‍රකට විය. වියට පත් ඔහු කාමයේ ආදීනව දැක තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යයෙහි වාසය කරනුයේ බුදුරදුන්ගේ පහළවීම අසා, පූර්ව පුරුදුතාවයෙන් මෙහෙයවනු ලබන්නේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට අවුත් පැවැත්ම අරබයා ප්‍රශ්න විමසා, ශාස්තෲන් වහන්සේ එම ප්‍රශ්න විසඳූ කල්හි ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව, විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දක්වා ඇත.