විජය ස්ථවිරගාථා වර්ණනාව
“යස්සාසවා පරික්ඛීණා” යනු ආයුෂ්මත් විජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? විජය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇත්තෙකි. පියදස්සි භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ධනවත් කුලයක උපන් හෙතෙම, වියට පැමිණ; පිරිනිවි බුදුරදුන්ගේ සෑයට මාණික්යමය වූ වේදිකාවක් කරවා එය පූජා කිරීමට මහත් උත්සවයක් කළේය. ඒ පින්කම නිසා එහු නොයෙක් සිය ගණන් ආත්මභාවයන්හි මාණික්ය ලෝකයෙන් ශෝභාමත් වීය. මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු පවුලක ඉපිද, විජය නාමයෙන් ප්රකට විය. වියට පත් ඒ බමුණු කුමරු සියලු වෙදා දී විද්යාවන්හි පරතෙර ගියේය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ ඔහු ධ්යානලාභීව ආරණ්යයෙහි වාසය කොට, බුදුරදුන්ගේ පහලවීම අසා උපන් ප්රසාදයෙන් උන්වහන්සේ වෙතට පැමිණ, ශාස්තෲන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව අසා පැවිදිව විදසුන් වැඩූ විජය තෙරුන් නොබෝ කලකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේගේ චරිතාපදානය දැක්වේ.
“ලෝක නායක වූ පියදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි, මම පැහැදුණු සිතින් සතුටු වීයෙම් එම සෑයට රත්නමය වේදිකාවක් කළෙමි.
මැණික් පිරිවරාගෙන උතුම් වේදිකාවක් සෑදුවෙමි. ඒ වේදිකා පූජෝත්සවය කරවූ මම කලුරිය කළෙමි.
දිව්යමය හෝ මනුෂ්යමය යම් යම් අත්බවෙක උපදිම් ද ඒ හේතුවෙන් අහසේ මිණිරුවන් මට පහළ විය. ඒ පින් විපාකය මෙබඳුය.
මෙයින් එක් දහස් හයසියවන කල්පයේදී මනිප්පභාස නමින් මහබලැති සක්විති රජවරු තිස්හය දෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ විජය තෙරණුවෝ, සිය රහත්බව ප්රකාශ කරමින් “යස්සාසවා පරික්ඛීණා” යන ගාථාව වදාළ සේක.
එම ගාථාවේ “යස්සාසවා පරික්ඛීණා” යනු යම් යම් උතුම් පුද්ගලයෙකුගේ කාමාශ්රවාදී සිවු ආශ්ර ධර්ම සියලුම ආකාරයෙන් ක්ෂය වූයේ ද ආර්ය මාර්ගයෙන් ක්ෂය කරන ලද්දේ ද, “ආහාරෙච අනිස්සිතො” යමෙක් ආහාරයෙහි තණ්හා, දෘෂ්ටියෙන් වෙලී නොමැති ද එහි ගිජු නොවූයේ ද ආහාරයේ ඇලී - ගැලී නොසිටී ද මෙහිදී ආහාරය ගන්නා ලද්දේ නිදසුන් වශයෙනි. ආහාර යන්නෙන් සිවුපස ම මෙතැනදී අදහස් කරන ලදි. සිවුපසයට සමාන වචනයක් ලෙස “ආහාර” ශබ්දය දත යුතුයි. “සුඤ්ඤතො අනිමිත්තොච” යන මෙහිදී අප්රණිහිත (ආශාවන්හි නොපිහිටි) විමෝක්ෂයම (නිවණම) ගන්නා ලදි. මෙහි නිවණට නම් තුනක් යෙදී ඇත. නිවණෙහි රාගාදිය නොමැති බැවින් ශූන්ය වේ. (සුඤ්ඤං යනු නිවණට නමකි). ඒ ශූන්ය විමුක්තිය ඇති බැවින් නිවන “ශූන්ය විමෝක්ෂයකි” එසේම රාගාදී නිමිති ද සංස්කාරාදී නිමිති ද නොමැති බැවින් නිවණ “අනිමිත්ත” (අනිමිත්තං) නම් වේ. නිමිති රහිත වූ විමුක්ති බැවින් “අනිමිත්ත විමෝක්ෂයකි.” එසේම නිවනෙහි රාගාදී ආශාවන්, ප්රාර්ථනා නොමැති බැවින් අප්පණිහිත නම් වේ. රාගාදී ආශාවන්හි නොපිහිටි මිදීම යන අරුතින් නිවණ “අප්රණිහිත විමෝක්ෂයකි”යි කියැවේ. ඵල සමවතට සමවැද, එය අරමුණු කරගෙන වාසය කරන උතුමන්ට මේ ත්රිවිධ විමෝක්ෂයෝම ගෝචර වෙති. “ආකාසෙව සකුන්තානං පදං තස්ස දුරන්නයං” අහසේ පියඹා යන කුරුල්ලන්ගේ පය මෙතැනදී පැකිලුණේය. මෙතැන හිස වැදුණේය. මෙතැන කුස වැදුණේය. පියාපත් මෙහි පිහිටියේය. ආදි වශයෙන් අහසේ ස්ථාන ලකුණු කළ නොහැක. එබඳු ස්ථාන පෙන්විය නොහැක. ඒ ආකාරයෙන් ම මෙම විමෝක්ෂයන්ගෙන් යුතු භික්ෂුව “නිරයාදියට මේ ආකාරයෙන් ගියේ යැ” යි දැක්වීමට, පෙන්වීමට නොහැක.
විජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
එරක ස්ථවිරගාථා වර්ණනාව
“දුක්ඛා කාමා එරකා” යන ගාථාව ආයුෂ්මත් ඒරක තෙරුන් විසින් පැවසූවකි. එහි නිදාන කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පුණ්ය සම්භාර ධර්ම සම්පූර්ණ කරගෙන පැමිණි ඒරක තෙරුන් සිද්ධත්ථ භාග්යවතුන්ගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව; දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් උන්වහන්සේට පිදීමට කිසිවක් නො ලැබ “මම ඒකාන්තයෙන් ශරීර ශක්තියෙන් පින් කරන්නෙමි”යි උන්වහන්සේ වැඩම කරන මාවත සෝදා සම කළේය. ශාස්තෲන් වහන්සේ ඔහු විසින් සෑදූ ඒ මාවතෙහි වැඩි සේක. එය දුටු සිටු කුමරු පැහැදුණු සිතින් යුක්තව, ඇඳිලි බැඳගෙන සතුටු සිතින් බුදුරදුන්ගේ ශ්රී ශරීරය නොපෙනී යන තෙක්ම බුදු ගුණ මෙනෙහි කරමින් - එම ප්රීතියෙන්ම සිටියේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදු කරමින් කාම සුගතීන්හි ම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර ඉතා සම්භාවනීය සිටුවරයෙකුගේ පුත්රයාව ඒරක නමින් ඉපදුණි. ඒරක සිටුපුතු රූප සම්පන්නය. දර්ශනීයය. දුටුවන් පහදවන සුලුය. කළයුතු නොකළයුතු දේ දැන කිරීමෙහි සමත්ය. උතුම් වූ ව්යක්ත භාවයෙන් පිරිපුන්ය. ඔහුගේ දෙමාපියෝ කුලයෙන්, රූපයෙන්, හැසිරීමෙන් හා වයසින් ඔහුට සුදුසු වූ දැරියක් ගෙනවුත් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග සහවාසයෙන් ගිහි සුව විඳින කල්හි පශ්චිමභවික බැවින් කිසියම් සංවේගාත්මක කරුණක් නිසා සසර කළකිරී ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මය අසා ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි විය. ශාස්තෲන් වහන්සේ ඔහුට කමටහන් දුන්සේක. කමටහන් ගත් නමුත් ඒරක තෙරුන් දින කිහිපයකට පසුව නැවත කාම වසඟ විය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිත දැන අවවාද කිරීම් වශයෙන් “දුක්ඛා කාමා ඒරකා” යන ගාථාව වදාළ සේක. එය ඇසූ තෙරුන් වහන්සේ “මවිසින් මෙබඳු උතුම් ශාස්තෲවරයකු හමුවේ කමටහන් ගෙන, එය අත්හැර දමා මිථ්යා විතර්කයන්ගෙන් යුතුව විසීමෙන් ඉතා නුසුදුසු වූවක් කරන ලදි” යනුවෙන් සංවේගයට පත්ව, වහාම විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“පසැස් ඇති බුදුරජාණන් වහන්සේ කුඩා ගඟකින් එතෙර වී වනයට වැඩම කරන සේක. මම ඒ උතුම් ලකුණු ඇති සිද්ධාර්ථ බුදුරදුන් දුටුවෙමි.
උදැල්ල හා කුඩය ද ගෙන ඒ මාර්ගය සමකළ මම ශාස්තෲන් වහන්සේට වැඳ තම සිත පහදවා ගතිමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් කර්මයක් සිදු කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මාර්ග දානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පනස් හතකට පෙර සුප්පබුද්ධ නාමයෙන් සක්විති රජව සැප වින්දෙමි.