පරිපුණ්ණක ස්ථවිරගාථා වර්ණනාව
“න තථාමතං සතරසං” ආයුෂ්මත් පරිපුණ්ණක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ධම්ම දස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වියට පැමිණියහ. එම ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි සෑදවූ බුදුසෑයට මල් ආදියෙන් මහත් වූ පූජාවක් ඔහු විසින් සිදු කරන ලදි. ඒ පින්කම හේතුවෙන් ඔහු දෙව් ලොව ඉපිද, තව තවත් පින් රැස් කරමින් කාම සුගතීන්හිම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්ය රාජ කුලයෙහි ඉපිද, වියට පැමිණ, පිරිපුන් විභව සම්පත් ඇති බැවින් පරිපුණ්ණක නාමයෙන් ප්රකට විය. මහත් සම්පත් ඇති ඔහු සැම කල්හිම සතරස නම් ආහාරය අනුභව කළේය. තම කුලයෙන් පැවිදි වූ ශාස්තෲන් වහන්සේ මිශ්ර ආහාර වළඳන බව ඇසූ ඒ ශාක්ය කුමරු “ඉතාම සියුමැලි වුවත් භාග්යවතුන් වහන්සේ නිවන් සුව අපේක්ෂාවෙන් යම් සේ යැපෙන සේක් ද, මම කවර හෙයින් ආහාරයට ගිජුව පිරිසිදු ආහාර සොයන්නෙම් ද, අප විසින් නිවන් සුවය ම සෙවිය යුතුයි” යනුවෙන් සසර පිළිබඳව හටගත් සංවේගයෙන්, ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි විය. භාග්යවතුන් වහන්සේ විසින් කායගතාසති කමටහනෙහි යොදවන ලද පරිපුණ්ණක තෙරුන්, එතැන් පටන් තමා ලැබූ ධ්යානය පාදක කරගෙන, විදසුනට සිත යොමා විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පවසති.
“ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සෑයෙහි කොඩි ගසක් නැංවූයෙමි.
ඉණිමඟක් සාදවා උතුම් සෑයට නැගුණෙමි. දෑ සමන් මල් ගෙන එම උතුම් සෑයට පිදුවෙමි.
“බුදුහු ආශ්චර්යය, ධර්මය ආශ්චර්යය, අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය.” මේ පූජාව නිසා මම දුගතියක නූපන්නෙමි. ථූප පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප අනූ හතරකට පෙර ථූපසිඛර නමින් මහ බලවත් සක්විති රජවරු සොළොස් දෙනෙක් ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් උපන් ප්රීති වේගයෙන් එම ප්රීතිය දසත පතුරුවමින් උදන් අනන සේක්; “න තථාමතං සතරසං” යනාදී ගාථාව වදාළ සේක.
එම ගාථාවේ “න තථාමතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං” යන පාඨයේ “තථා” යනු එසේ, ඒ ආකාරයෙන්, “අමතං” යනු අභිමත වූ, කැමති වූ “සතරසං” යනු සතරස නම් භෝජනයයි. එය සියවරක් පිසූ ගිතෙල් ආදියෙන් සැකසූ රසවත් ආහාරයකැයි කියැවේ. නැතිනම් “සත” ශබ්දය අනේකාර්ථයෙහි යෙදේ. සතසො සිය ආකාරයකින්, සහස්සො - දහස් ආකාරයකින් ආදිය මෙනි. එනිසා යම් ආහාරයක් නොයෙක් සිය ගණන් සූප ව්යංජන එක්කර නානාවිධ රසයෙන් යුතුව සාදනු ලැබේද එය “සතරස” නාමයෙන් හැඳින්වේ යැයි ද කියති. “නානාවිධ රස ඇති ආහාරය” යන අර්ථයයි. දෙවියන්ගේ ම ආහාරය සුධා භෝජනයයි. දෙවියන් වළඳනුයේ එයයි. “සුධන්නං” යනු එයයට. “යං මයං අජ්ජ පරිභුත්තං” යම් ආහාරයක් මවිසින් අද පරිභෝජනය කරන ලද ද ඒ මේ සතරස භෝජනයයි. සුධා ආහාරය ද මෙතැනට යෙදිය යුතුයි. මෙම ගාථාවේ අර්ථය මෙසේය. “මවිසින් දැන් නිරෝධ සමාපත්තියට සමවැදීම් වශයෙන් ද ඵල සමවතට සමවැදීම් වශයෙන් ද අතිශයින් ශාන්ත - ප්රණීත වූ නිවන් සුව කැමති සේ, අභිමත සේ, නුවණැත්තන් විසින් අගය කරන සේ අද විඳිනු ලැබෙත් නම් ද එබඳු වූ සුවයක්; පෙර රජව සිටියදී මා අනුභව කළ සතරස භෝජනයෙන් හෝ දේවාත්මභාවය ලබා සිටියදී අනුභව කළ සුධා භෝජනයෙන් හෝ නොලැබුණි. කුමක් නිසාද? මේ නිවන් සුවය ආර්යයන් විසින් සේවනය කරන ලද්දකි. නිරාමිෂ වූවකි. කෙලෙසුන් නොපවතින තැනකි. සතරස ආදී භෝජන පුහුදුන් පුද්ගලයන් විසින් සේවනය කරන ලදි. ආමිෂ සහිතය. කෙලෙසුන්ගෙන් ගහනය. ඒ ආහාර වළඳන සුවය, මේ නිවන් සුවයෙන් අඩක්වත්, දාසයෙන් කොටසක්වත්, සොළොස් කලාවෙන් කලාවක් වත් නො වටී. සම නොවේ. “දැන් අද මවිසින් යමක් වළඳන ලද ද” යනුවෙන් පැවසූ දහම අප්රමාණ වූ ඥාන සාගරයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ දහමකැයි පවසයි. අප්රමාණ වූ, පිරිසිඳ වෙන් කර නොදැක්විය හැකි, ඉපදීම් - නැසීම් දෙකින් දුරු වූ, අනන්ත වූ, අසංඛත නම් නිර්වාණ ධාතුව සිය නුවණින් තමන් වහන්සේම දැක, අප්රමාණ අනන්ත ඥාන සාගරය අවබෝධ කරගත් බැවින් උන්වහන්සේ “අපරිමිත දස්සිනා ගොතමෙන” නම් වේ. ගෞතම ග්රෝතයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “ඛයං විරාගං අමතං පණීතං” යනාකාරයෙන් මද - ප්රමාද දුරු කරන, පිපාස දුරු කරන, සියලු සංස්කාර ධර්ම සන්සිඳුන ආදී වශයෙන් ශාස්තෲන් වහන්සේ මනාව දෙසන ලද ධර්මය අනුව විස්තර කෙරෙන නුවණ අද මවිසින් අවබෝධ කර ගන්නා ලදි.” යනුවෙන් අර්ථ දත යුතුයි.
පරිපුණ්ණක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
විජය ස්ථවිරගාථා වර්ණනාව
“යස්සාසවා පරික්ඛීණා” යනු ආයුෂ්මත් විජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? විජය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇත්තෙකි. පියදස්සි භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ධනවත් කුලයක උපන් හෙතෙම, වියට පැමිණ; පිරිනිවි බුදුරදුන්ගේ සෑයට මාණික්යමය වූ වේදිකාවක් කරවා එය පූජා කිරීමට මහත් උත්සවයක් කළේය. ඒ පින්කම නිසා එහු නොයෙක් සිය ගණන් ආත්මභාවයන්හි මාණික්ය ලෝකයෙන් ශෝභාමත් වීය. මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර බමුණු පවුලක ඉපිද, විජය නාමයෙන් ප්රකට විය. වියට පත් ඒ බමුණු කුමරු සියලු වෙදා දී විද්යාවන්හි පරතෙර ගියේය. තවුස් පැවිද්දෙන් පැවිදි වූ ඔහු ධ්යානලාභීව ආරණ්යයෙහි වාසය කොට, බුදුරදුන්ගේ පහලවීම අසා උපන් ප්රසාදයෙන් උන්වහන්සේ වෙතට පැමිණ, ශාස්තෲන් වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ඒ ධර්ම දේශනාව අසා පැවිදිව විදසුන් වැඩූ විජය තෙරුන් නොබෝ කලකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේගේ චරිතාපදානය දැක්වේ.
“ලෝක නායක වූ පියදස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි, මම පැහැදුණු සිතින් සතුටු වීයෙම් එම සෑයට රත්නමය වේදිකාවක් කළෙමි.
මැණික් පිරිවරාගෙන උතුම් වේදිකාවක් සෑදුවෙමි. ඒ වේදිකා පූජෝත්සවය කරවූ මම කලුරිය කළෙමි.
දිව්යමය හෝ මනුෂ්යමය යම් යම් අත්බවෙක උපදිම් ද ඒ හේතුවෙන් අහසේ මිණිරුවන් මට පහළ විය. ඒ පින් විපාකය මෙබඳුය.
මෙයින් එක් දහස් හයසියවන කල්පයේදී මනිප්පභාස නමින් මහබලැති සක්විති රජවරු තිස්හය දෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්වූ විජය තෙරණුවෝ, සිය රහත්බව ප්රකාශ කරමින් “යස්සාසවා පරික්ඛීණා” යන ගාථාව වදාළ සේක.
එම ගාථාවේ “යස්සාසවා පරික්ඛීණා” යනු යම් යම් උතුම් පුද්ගලයෙකුගේ කාමාශ්රවාදී සිවු ආශ්ර ධර්ම සියලුම ආකාරයෙන් ක්ෂය වූයේ ද ආර්ය මාර්ගයෙන් ක්ෂය කරන ලද්දේ ද, “ආහාරෙච අනිස්සිතො” යමෙක් ආහාරයෙහි තණ්හා, දෘෂ්ටියෙන් වෙලී නොමැති ද එහි ගිජු නොවූයේ ද ආහාරයේ ඇලී - ගැලී නොසිටී ද මෙහිදී ආහාරය ගන්නා ලද්දේ නිදසුන් වශයෙනි. ආහාර යන්නෙන් සිවුපස ම මෙතැනදී අදහස් කරන ලදි. සිවුපසයට සමාන වචනයක් ලෙස “ආහාර” ශබ්දය දත යුතුයි. “සුඤ්ඤතො අනිමිත්තොච” යන මෙහිදී අප්රණිහිත (ආශාවන්හි නොපිහිටි) විමෝක්ෂයම (නිවණම) ගන්නා ලදි. මෙහි නිවණට නම් තුනක් යෙදී ඇත. නිවණෙහි රාගාදිය නොමැති බැවින් ශූන්ය වේ. (සුඤ්ඤං යනු නිවණට නමකි). ඒ ශූන්ය විමුක්තිය ඇති බැවින් නිවන “ශූන්ය විමෝක්ෂයකි” එසේම රාගාදී නිමිති ද සංස්කාරාදී නිමිති ද නොමැති බැවින් නිවණ “අනිමිත්ත” (අනිමිත්තං) නම් වේ. නිමිති රහිත වූ විමුක්ති බැවින් “අනිමිත්ත විමෝක්ෂයකි.” එසේම නිවනෙහි රාගාදී ආශාවන්, ප්රාර්ථනා නොමැති බැවින් අප්පණිහිත නම් වේ. රාගාදී ආශාවන්හි නොපිහිටි මිදීම යන අරුතින් නිවණ “අප්රණිහිත විමෝක්ෂයකි”යි කියැවේ. ඵල සමවතට සමවැද, එය අරමුණු කරගෙන වාසය කරන උතුමන්ට මේ ත්රිවිධ විමෝක්ෂයෝම ගෝචර වෙති. “ආකාසෙව සකුන්තානං පදං තස්ස දුරන්නයං” අහසේ පියඹා යන කුරුල්ලන්ගේ පය මෙතැනදී පැකිලුණේය. මෙතැන හිස වැදුණේය. මෙතැන කුස වැදුණේය. පියාපත් මෙහි පිහිටියේය. ආදි වශයෙන් අහසේ ස්ථාන ලකුණු කළ නොහැක. එබඳු ස්ථාන පෙන්විය නොහැක. ඒ ආකාරයෙන් ම මෙම විමෝක්ෂයන්ගෙන් යුතු භික්ෂුව “නිරයාදියට මේ ආකාරයෙන් ගියේ යැ” යි දැක්වීමට, පෙන්වීමට නොහැක.