පිළින්දවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“ස්වාගතං” ආදී මේ ගාථාව ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ විසින් දේශිතය. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ, මීට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි හංසවතී නුවර මහා භෝග සම්පත් ඇති පවුලක ඉපිද, පෙර පැවසූ පරිදිම ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්මය ඇසුවේය. ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් දෙවියන්ගේ ප්‍රියමනාප බව ලබන්නන් අතුරින් අග්‍රස්ථානයෙහි තබනු දුටු ඔහු; එම තනතුරම පතමින්, දිවි ඇති තාක් කුසල් කර, ඉන් චුතව දෙව් මිනිස් අතර සැරිසැරුවේය. සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී මිනිස් ලොව උපන් ඔහු, උන්වහන්සේගේ පිරිනිවණින් පසුව කළ බුදු සෑයට පූජා පවත්වා මහා සංඝයාට මහ දන් දුන්නේය. ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේම සැරිසරමින්, බුදුවරු පහළ නොවූ කාලයේ සක්විති රජෙකුව මහජනයා පන්සිල්හි පිහිටුවා දෙව් ලොව පිහිට කරගත්තන් කළේය. ඉන්පසුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේ ඔහු, සැවැත් නුවර බමුණු කුලයක උපන්නේය. ඔහුට තැබූ නම “පිලින්දි” යන්නයි. “වච්ඡ” යනු ග්‍රෝත නාමයයි. මෙ නිසා පසුකාලයේ ඔහු “පිලින්දිවච්ඡ” යැයි ප්‍රකට වූයේය. සංසාරිකව පුරුදු කළ, කළකිරීම් බහුලතාවය නිසා පිරිවැය පැවිද්දෙකු ලෙස මහණ වූ ඔහු; චුලගන්ධාර නම් විද්‍යාව ඉගෙන එහි බලයෙන් අහසින් යෑමටත් අනුන්ගේ සිත් දැන ගැනීමටත් සමත් ව ලාභයෙන්, කීර්ති ප්‍රශංසාදියෙන් අග්‍රප්‍රාප්තව රජගහ නුවර වාසය කළේය.
ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබාගත් සේක්, අනුක්රමයෙන් රජගහ නුවරට වැඩම කළ සේක. එතැන් පටන් බුද්ධානුභාවයෙන් ඔහුගේ ඒ විද්‍යාව නොසැපිරේ. තමාගේ කටයුතු සිතූ පරිදි ඉටු නොවේ. එනිසා ඔහු මෙසේ සිතුවේය. “යම් තැනක මහගන්ධාර විද්‍යාව පවතී ද එම ප්‍රදේශයේ චුලගන්ධාර විද්‍යාව නො සැපිරෙන බව මවිසින් පෙර ආචාර්ය ප්රාචාර්යයන්ගෙන් අසා ඇත. ශ්‍රමණ භවත් ගෞතමයෝ පැමිණි තැන් පටන් මා හට මෙම විද්‍යාව සම්පූර්ණ නොවේ. එනිසා නිසැකව ම ශ්‍රමණ භවත් ගෞතමයෝ මහා ගන්ධාර විද්‍යාව දන්නේම ය. උන්වහන්සේ ඇසුරු කිරීමෙන්, එතුමන් වෙතින් මේ මහා විද්‍යාව සම්පූර්ණ කරගත හැකි නම් ඉතා මැනවි.” යනුවෙනි. මෙසේ සිතූ ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, “මම ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙන් එක් විද්‍යාවක් ඉගෙන ගනු කැමැත්තෙමි. මට ඊට අවසර දෙනු මැනවි”යි අයැද සිටියේ ය. “එසේ නම් පැවිදි වන්න” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඔහු “විද්‍යාවේ මුලින් කළ කටයුතු නම් පැවිදිවීමයැ”යි සිතා පැවිදි විය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මදේශනා කළ සේක් චරිතයට අනුකූල වූ කමටහනක් දුන් සේක. එම භික්ෂූන් වහන්සේ පෙර දී කළ උපනිශ්‍රය සම්පත් ඇති බැවින්, නොබෝ කලකින් ම විදර්ශනා වඩා රහත් බවට පත් වූ සේක. උන්වහන්සේ පෙර භවයේ දී දුන් අවවාද අනුව ක්‍රියා කොට දෙව්ලොව උපන් දෙවියෝ කළගුණ දන්නා බැවින්, තෙරුන් වහන්සේ කෙරෙහි හටගත් ගෞරවය නිසා උදේ - හවස ඇසුරු කිරීමට පැමිණෙති. මේනිසා උන්වහන්සේ දෙවියන්ගේ ප්‍රිය මනාප බව ලැබීමෙන් අග්‍ර බවට පත් වූ සේක. මේ තොරතුරු අපදාන පාළියේ පාලි ගාථාවන්ගෙන් සවිස්තරව දැක්වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි I පිළින්දිවච්ඡත්ථෙරාපදානය)
“ලෝකනාථ වූ අග්‍ර පුද්ගල වූ සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් වූ සිත් ඇති, මනා වූ සිත් ඇති මම, උන්වහන්සේගේ ස්තූපයට පූජාවක් කළෙමි.
ෂඩ් අභිඥාලාභී සෘද්ධිමත් රහතන් වහන්සේලා රැස්කොට සඟබතක් දුනිමි.
එම සුමේධ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක වූ සුමේධ නම් තෙරණුවෝ මට පුණ්‍යානුමෝදනා කළහ.
එම පින්කමෙහි සිත පැහැද වූ මම දෙව් විමනක ඉපදුනෙමි. අසූ හය දහසක් දෙවඟනෝ මා පිරිවර ගත්හ.
එම අප්සරාවෝ සියලු කාමයන් පිනවා ගැනීමට මා අනුව සිටිති. සැප සම්පතින් අන් දෙවියන් අභිබවා සිටිමි. මෙය ස්තූප පූජාවේ පුණ්‍ය විපාකයයි.
පසුව මම මෙයින් කල්ප විසි පහකට පෙර පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජ වූයෙමි.
එකල්හි සිටි මනුෂ්‍යයෝ බිජු නොව පුරති. නගුල් - සී සෑම් ආදිය නොමැති එසමයේ සිටි මිනිස්සු කැලෑවෙහි වගා නොකළ බිම්හි හටගත්, ස්වයං ජාත (ඉබේ හටගත්) හාල් අනුභව කරති.
මෙසේ රාජ්‍ය කළ මම නැවත දෙව්ලොව උපන්නෙමි. එකල්හි මා හට පහළ වූ සැප සම්පත් මෙසේය.
“මිතුරු - සතුරු සැම ප්‍රාණීහු මා හට හිංසා නොකරති. ඒ සමට මා ප්‍රියවෙති. ස්තූප පූජාවේ පුණ්‍ය විපාකය මෙයයි.
මීට කල්ප එක් දහස් තිහකට පෙර දුන් දානයේ බලයෙන් මම දුගතියකට නොගියෙමි. ස්තූපයේ සුගන්ධාලේප කිරීමේ ඵලය එයයි.