පුණ්ණමාස ස්ථවිරගාථා වර්ණනාව
“විහරි අපෙක්ඛං” යන මෙය ආයුෂ්මත් පුණ්ණමාස තෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? ඔහු වනාහි විපස්සී භාග්යවතුන් වහන්සේගේ සමයේ දී සක්වාලිහිණි කුලයෙහි ඉපිද, උන්වහන්සේ වැඩම කරනු දැක, පැහැදුණු සිතින් යුතුව තම මුව තුඩින් සල් මලක් ගෙනවුත් පූජා කළේය. ඔහු එම පින් කමෙන් දෙව් මිනිසුන් අතර සැරි සරා, මෙයින් කල්ප දාහතකට පෙර අට වරක් සක්විති රජය කරවීය. මේ මහා භද්රකල්පයෙහි කාශ්යප භාග්යවතුන් වහන්සේගේ සසුන පිරිහෙන කාලයේ සිටු කුලයෙහි ඉපිද, පැවිදිව මහණදම් නිසි පරිදි පුරා, නැවත ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි හැසිරෙමින් සිට; අප භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර, සමිද්ධි නම් බමුණාගේ පුතා වී උපන්නේය. ඔහු උපන් දිනයෙහි එම ගෙදර සියලුම හිස්ව තිබූ සැලි, රන්වන් මෑ ඇට වලින් පිරුණේය. එනිසා ඔහුට “පුණ්ණ මාස” යන නම තබන ලදි. ඔහු වැඩිවියට පැමිණ බ්රාහ්මණ විද්යාවන්හි පරතෙරට පැමිණ, විවාහ වී එක් පුතෙකු ලැබුවේය. සංසාරික හේතු සම්පත් ඇති බැවින් ගිහිගෙයි විසීම පිළිකුල් කරනුයේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹ, බණ අසා ලබන ලද ශ්රද්ධා ඇතිව පැවිදිව, උපසම්පදාව ද ලැබුවේය. උන්වහන්සේ පූර්ව කෘත්යයන්ගෙන් යුතුව තච පංචක කමටහනෙහි ම යෙදුණු සේක්, විදර්ශනා වඩා රහත් බවට පත් වූ සේක. එනිසා අපදානයෙහි එය මෙසේ කියැවේ. අපදානයේ එන පාලි ගාථාවන්හි සිංහල අර්ථය මෙසේය. (පච්චාගමනියත්ථෙරාපදානං, අපදාන පාළි I)
“මම එකල සින්ධු නදී තීරයෙහි පිරිසිදු දිය සෙවෙල් පමණක් අනුභව කරන, පවින් වැලකුණු සක්වාලිහිණියෙක් වීමි.
එසමයේ කෙලෙස් මල දුරු කළ අහසෙහි ගමන් කරන බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. තුඩින් සල් මලක් ගෙනවුත් ඒ විපස්සි බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
එවිට විපස්සි බුදුරජාණන් වහන්සේ, “යමෙකුගේ ශ්රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි නිශ්චලව පිහිටියේ ද, ඔහු ඒකාන්තයෙන් ම ඒ සිත් පැහැදවීම නිසා දුගතියකට නොයන්නේ ය”යි වදාළ සේක.
ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඉතා යහපත් වූවකි. සක්වාලිහිණියෙකු වූ මවිසින් මනාවූ කුශල බීජයක් රෝපණය කරන ලදි.
මීට කල්ප අනූ එකකට පෙර යම් මලක් මවිසින් පිදුයෙම් ද එහි පින් බෙලෙන් දුගතියක නූපදුනෙමි. පුෂ්ප පූජාවේ විපාකය මෙයයි.
මෙයින් දාහත්වන කල්පයෙහි දී සුචාරුදස්සන නම් එකම නම ඇති මහා බලවත් වූ සක්විති රජවරු අට දෙනෙක්ව ඉපදුනෙමි.
මවිසින් පිළිසිඹියාවෝද...... සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.” (1361-1367)
ඉක්බිති උන්වහන්සේගේ ගිහි කළ භාර්යාව අලංකාරව සැරසී පුතා සමඟ පැමිණ ප්රිය කථා බහින්, ස්ත්රී ලීලා දැක්වීමෙන් උන්වහන්සේගේ සිත් ගැනීමට වෑයම් කළාය. තෙරුන් වහන්සේ ඇගේ උත්සාහය දැක, තමන් වහන්සේ කිසි තැනෙක්හි නො ඇලෙන බව පවසමින් “විහරි අපෙක්ඛං” යන ගාථාව වදාළ සේක.
“විහරි අපෙක්ඛං ඉධවා හුරංවා,
යො වෙදගු සමිතො යතත්නො,
සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො,
ලොකස්ස ධඤ්ඤා උදයබ්බයඤ්ඤා”
යො වෙදගු සමිතො යතත්නො,
සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො,
ලොකස්ස ධඤ්ඤා උදයබ්බයඤ්ඤා”
මෙහි “විහරි” යනු විශේෂයෙන් ගෙන ගියේය, දුරු කළේය, පහ කළේය. “අපෙක්ඛං” යනු තණ්හාවයි. “ඉධ” යනු මේ ලෝකයෙහි, මේ අත්බවෙහි “හුරං” යනු පරලොව හෝ අනාගත ආත්මභවයන්හි නැතිනම් “ඉධ” යනු ආධ්යාත්මික ආයතනයන්හි, “හුරං” යනු බාහිර ආයතනයන්හි “වා” ශබ්දය “අපදා වා ද්විපදා වා” යන තැන මෙන් සමුච්චයාර්ථයෙහි එකතු කර දැක්වීමෙහි යෙදේ. “යො” යනුවෙන් තමන් වහන්සේම වෙනත් අයෙකු මෙන් දක්වයි. “වෙදගු” යනු නුවණින් (වෙද) අවබෝධ කළ, මාර්ග ඤාණයෙන් නිවණට ගිය, චතුරාර්ය සත්යය අවබෝධ කළ, විශේෂයෙන් පිරිසිඳ දැනීම - ප්රහාණය - සාක්ෂාත් කිරීම හා වැඩීම යන ක්රමයෙන් චතුරාර්ය සත්ය අවබෝධ කළ, අවබෝධයෙහි පිහිටි “යතත්තො” යනු මාර්ග සංවරයෙන් සංයුත වූ සංවර වූ ස්වභාවයයි. යහපත් වෑයමෙන් (සම්මා වායාම) හෝ සංවර වූ ස්වභාවය “සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො” සියලුම ආරම්මණ ධර්මයන් හි තණ්හා - දිට්ඨි ආලේප වශයෙන් නොගෑවුණු, ස්පර්ශ නොවූ, එයින් ලැබීම් ආදී ලෞකික ධර්මයන්හි සමතික්රමණය, ඉක්මවා යෑම දක්වයි. “ලොකස්ස” යනු උපාදාන (දැඩිවගත්) කරගත් ස්කන්ධ පංචකයේ; ඒවායේ කැඩීම් - බිඳීම් ස්වභාවය නිසා “ලෝක” නම් වේ. “ජඤ්ඤා” යනු දැනගෙන, “උදයබ්බයඤ්ච” යන ඉපදීමත් නැතිවීමත්ය. පහළවීමත් වැය වී යාමත්ය. මෙයින් ඉහත කියන ලද ගුණයන්ගෙන් යුතු පූර්ව භාග ප්රතිපදාව දක්වයි. මෙහි අර්ථය වනාහි මෙසේ දත යුතුයි. “යමෙක් සියලු ම ස්කන්ධ ලෝකයේ ඇතිවීම හා නැතිවීම සම ප්රඥාවෙන් දැන; උසස්ම ඥානය ලබා සංවර වූයේ වේද කිසි තැනෙක නො ඇලෙන ඔහු, සැම තැන්හිම අපේක්ෂාවක් නැතිව, හික්මුණු සිතින් සතුටින් යුක්තව මෙබඳු ස්ත්රීන්ගේ විප්රකාර පිළිබඳව කිසිත් නොසිතා සිටිති. එනිසා අඳ බාල තැනැත්තිය, නුඹ ආවා වූ මගින්ම නැවත හැරී යන්න” යි යනුවෙනි. ඉක්බිති ඒ ස්ත්රිය, “මේ ශ්රමණයා මා කෙරෙහි ද පුතු කෙරෙහි ද අපේක්ෂා රහිතයෙකි. මොහු පොළඹා ගැනීමට නොහැකි”යි සිතා ගියාය.