වීර ස්ථවිරගාථා වර්ණනාව
“යො දුද්දමියො” යනු ආයුෂ්මත් වීර තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේට ආවාසයක් සාදා මොහු විසින් පුදන ලදි. තවත් දිනෙක ඉඳුවර මල් වැනි වූ නික ගසේ මල් ගෙන බුදුන්ට පිදුවේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මෙයින් තිස්පස්වන කල්පයෙහි ක්ෂත්රිය රජ කුලයේ ඉපිද මහා ප්රතාප නම් සක්විති රජු විය. ඔහු දැහැමින් සෙමින් රජ කරමින් සත්ත්වයන් දෙව් ලෝ යන මාවතෙහි පිහිටුවීය. නැවත මේ මහා භද්ර කල්පයෙහි කාශ්යප භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙක්ව, දුගී මගී යාචකාදීන්ට දන් දුන්නේය. සංඝයාට ද කිරිබත් පූජා කළේය. මෙසේ ඒ ඒ භවයන්හි දානාදී පුණ්ය සම්භාර ධර්ම රැස් කරමින් සෙස්සන් ද නිර්වාණ මඟට යොමු කරමින්, දෙව් මිනිසුන් අතර සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සැවැත්නුවර පසේනදි කොසොල් රජුගේ ඇමති පවුලක උපන්නේය. “වීර” යැයි ඔහුට නම් තැබීය. ඔහු වැඩිවියට පත්ව නමට අනුවම බලයෙන්, ජවයෙන් යුක්ත වූයේ සංග්රාමයෙහි ශූරයෙක් විය. ඔහුගේ මවුපියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසා විවාහ වූ ඔහු එක් පුතෙකු ලැබ, පෙර කරන ලද පුරුදුතාවය නිසා කාමයන්හි ආදීනව දැක, සංවේග උපදවා පැවිදි විය. උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ නොබෝ දිනකින්ම ඔහු, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. ඒ බව අපදාන පාළියේ ගාථාවලින් විස්තරව දැක්වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි I - නිග්ගුණ්ඩි ප්රප්ඵියත්ථෙරාපදානං)
“මම විපස්සි බුදුරජාණන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. ඒ මම නික මල්ගෙන බුදුරජාණන් වහන්සේට පිදීමි.
මෙයින් අනූ එක්වන කල්පයේ මම යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක් නොදුටුවෙමි. බුදු පුදෙහි මේ මා ලැබූ විපාකයයි.
ඉන්පසුව මීට කල්ප තිස් පහකට පෙර මහත් බල ඇති ජනයන්ට අධිපති වූ මහා ප්රතාප නම් සක්විති රජ වූයෙමි.
සිවුපිළිසිඹියා, අෂ්ට විමෝක්ෂ හා ෂඩ් අභිඥා සාක්ෂාත් කරගත් මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි” (2290-2293)
මෙසේ රහත් බවට පැමිණ ඵලසමවත් සුවයෙන් කල් යවන උන්වහන්සේගේ ගිහි කල භාර්යාව, තෙරණුවන් ගිහිබවට පත් කර ගැනීමේ අදහසින් නිතර නිතර නොයෙක් ක්රම වලින් පොළඹවා ගැනීමට පැමිණෙන්නීය. එක් දිනක් තෙරුන් දවල් වසන තැනට ගිය ඇය, ස්ත්රී ලීලා දැක්වීමට පටන් ගත්තීය. එවිට ආයුෂ්මත් වීර තෙරුන් වහන්සේට “මා පොළඹවා ගනු කැමති වන බාල තැනැත්තිය! නුඹගේ උත්සාහය මහාමේරුව මදුරු පියාපත් සුළඟකින් සෙලවීමට කැමති වන්නාක් මෙනි” යැයි ඇගේ ක්රියාවේ නිරර්ථක භාවය පෙන්වමින්, “යො දුද්දමියො” යන ගාථාව වදාළහ.
“යො දුද්දමියො දමෙන දන්තො වීරො සන්තුසිතො විතිණ්ණකඞ්ඛො,
විජිතා වී අපෙත ලොමහංසො වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො”
විජිතා වී අපෙත ලොමහංසො වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො”
“දුකසේ දමනය කළ යුතු යමෙක්, ආර්ය මාර්ගයෙන් හෝ පුරුෂ දම්ය සාරථීන් වහන්සේ විසින් හෝ දමනය කරන ලද්දේ ද; වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති. කෙලෙසුන් දිනූ පහවූ ලොමුදහ ගැනීම් ඇති ඒ වීර මහණ, පිරිනිවි බැවින් ස්ථිරව පිහිටියේ වේ.”
එහි “යො දුද්දමියෝ” යන පදයන්ගේ අර්ථය පෙර කියන ලද පරිදිම දත යුතුයි. මේ එහි පදයන්ගේ අර්ථයයි. “යමෙක් පෙර දමනය නොකළ සතුරු කෙලෙස් ඇති බැවින් හෝ සංග්රාමයේ දී දමනය කිරීමට, ජය ගැනීමට අසමත් බැවින් දුකසේ දමනය කළ යුතු වූවෙක් වේද ඔහු; දැන් උත්තම වූ දමනයෙන් සංවර කරන ලදි. චතුර්විධ සම්යක් ප්රධාන වීර්යය සම්පත්තියෙන් යුතු බැවින් වීර වූ පෙර පැවසූ ලෙසට සන්තෝෂයෙන් යුතුව, දුරු කළ සැක ඇත්තේ, කෙලෙසුන් දිනූ, දුරු කළ ලොමුදැහැගැනීම් ඇති වීර නම් වූ තෙරුන් වහන්සේ; වීර නම් තෙරණුවෝ ඉතිරි නොකර කෙලෙස් පිරිනිවනින් පිරිනිව හෙයින් ස්ථිර ස්වභාවයෙන් යුක්ත වූයේමය. ගිහිකල භාර්යාව වැනි ස්ත්රීන් සියක්, දහසක් පැමිණියත් උන්වහන්සේ සෙලවිය නොහැකිමය.” මෙය ඇසූ එම ස්ත්රිය, මගේ සැමියා මෙසේ කටයුතු කරන කල්හි “මට ගිහිගෙයින් කවර ප්රයෝජනයක්ද?” යි හටගත් සංවේග ඇත්තී භික්ෂුණීන් අතර පැවිදි වී, නොබෝ දිනකින් ම ත්රිවිද්යාලාභී භික්ෂුණියක් වූවාය.
වීර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පිළින්දවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
“ස්වාගතං” ආදී මේ ගාථාව ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ විසින් දේශිතය. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ, මීට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයෙහි හංසවතී නුවර මහා භෝග සම්පත් ඇති පවුලක ඉපිද, පෙර පැවසූ පරිදිම ශාස්තෲන් වහන්සේ සමීපයේ සිට ධර්මය ඇසුවේය. ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් දෙවියන්ගේ ප්රියමනාප බව ලබන්නන් අතුරින් අග්රස්ථානයෙහි තබනු දුටු ඔහු; එම තනතුරම පතමින්, දිවි ඇති තාක් කුසල් කර, ඉන් චුතව දෙව් මිනිස් අතර සැරිසැරුවේය. සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයේදී මිනිස් ලොව උපන් ඔහු, උන්වහන්සේගේ පිරිනිවණින් පසුව කළ බුදු සෑයට පූජා පවත්වා මහා සංඝයාට මහ දන් දුන්නේය. ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේම සැරිසරමින්, බුදුවරු පහළ නොවූ කාලයේ සක්විති රජෙකුව මහජනයා පන්සිල්හි පිහිටුවා දෙව් ලොව පිහිට කරගත්තන් කළේය. ඉන්පසුව අපගේ භාග්යවතුන් වහන්සේ ලොව පහළවීමට පෙර කාලයේ ඔහු, සැවැත් නුවර බමුණු කුලයක උපන්නේය. ඔහුට තැබූ නම “පිලින්දි” යන්නයි. “වච්ඡ” යනු ග්රෝත නාමයයි. මෙ නිසා පසුකාලයේ ඔහු “පිලින්දිවච්ඡ” යැයි ප්රකට වූයේය. සංසාරිකව පුරුදු කළ, කළකිරීම් බහුලතාවය නිසා පිරිවැය පැවිද්දෙකු ලෙස මහණ වූ ඔහු; චුලගන්ධාර නම් විද්යාව ඉගෙන එහි බලයෙන් අහසින් යෑමටත් අනුන්ගේ සිත් දැන ගැනීමටත් සමත් ව ලාභයෙන්, කීර්ති ප්රශංසාදියෙන් අග්රප්රාප්තව රජගහ නුවර වාසය කළේය.