භල්ලිය ස්ථවිරගාථා වර්ණනාව
“යො පානුදී” යනු ආයුෂ්මත් භල්ලිය තෙරුන්ගේ ගාථාවයි. එහි උත්පත්තිය කෙසේද? මේ භල්ලිය තෙරුන් මීට කල්ප තිස් එකකට පෙර බුදුවරු පහළවීමට පෙර කාලයේ දී සුමන නම් එක් පසේ බුදුවරයෙකුට පැහැදුණු සිතින් පලවැල ආදිය පිරිනමා, සුගතීන්හිම සැරි සැරුවේය. සිඛි නම් සම්මා සම්බුදුන් පහළ වූ මුල් කාලයේම අරුණවතී නුවර බමුණු පවුලක උපන්නේය. “උජිත හා ඕජිත” නම් සත්තුවාහක පුත්‍රයෝ දෙදෙන උන්වහන්සේට ප්‍රථමාහාර දානය පිදූහ.”යි අසා, තම යහලුවකු සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගිය මේ බමුණු පුත්‍රයා, උන්වහන්සේට වැඳ හෙට දිනය සඳහා දානයට ආරාධනා කොට, මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් ද කළහ. “ස්වාමීනි, අප දෙදෙනාම අනාගතයේදී නුඹ වහන්සේ වැනිම වූ බුදුවරයෙකුට පළමු ආහාරය දෙන්නෙමු”යි ඒ දෙදෙනම පැතූහ. ඒ දෙදෙන ඒ ඒ භවයන්හි පින්කම් කරමින් දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ, කාශ්‍යප භාග්‍යවතුන්ගේ සමයෙහි ගොපලු සිටු පුතෙකුගේ පුතුන් ලෙස ඉපිද බොහෝ කාලයක් භික්‍ෂු සංඝයාට කිරි ආහාරවලින් උපස්ථාන කළහ. අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණෝ පහළ වූ කල්හි පොක්ඛරවතී නම් නුවර සාත්තුවාහකයකුගේ ගෙදර දෙසොහොයුරන්ව ඉපදුනහ. ඔවුන්ගෙන් වැඩිමලා “තපස්සු” නම් විය. බාලය “භල්ලිය” නම් විය. ඔවුහු පන්සීයක් පමණ ගැල්වල බඩු පුරවාගෙන වෙළඳාම් පිණිස (මධ්‍ය ඉන්දියාවට) පැමිණියහ. අප භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් අලුතම, සත් සතියක් විමුක්ති සුවය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් කල්යැවූ සේක් අටවන සතියෙහි රාජායතන ගස මුල වැඩ විසූ සේක. රාජායතන වෘක්‍ෂයට සමීපයෙහි මහා මාර්ගයක් (වෙළඳුන් යන එන) පවතියි. ඒ වෙළඳ දෙබෑයෝ මේ මාර්ගයේ පැමිණියාහු. රාජායතන ගස සමීපයේදී මඩවතුර නොමැති මඟෙහි කරත්ත ඉබේම නැවතුණහ. “කවර කරුණකින් මෙසේ වීද?” යි සිතන්නාවූ ඒ සොයුරන්ගේ පැරණි සහ ලේ නෑයෙකු වූ දේවතාවෙක්, ගස් අතු අතර පෙනී සිටිමින්, “නිදුකාණෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් නොබෝ කල් ඇති සේක්, සති හතක් නිරාහාරව විමුක්ති සුව විඳිමින් දැන් රාජායතන වෘක්‍ෂ මූලයෙහි හුන් සේක. උන්වහන්සේට ආහාර පිළිගන්වන්න. එය නුඹලාට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නේමය.” යනුවෙන් පැවසීය. එය ඇසූ දෙසොහොයුරෝ මහත් වූ ප්‍රීතියට පැමිණියාහු, “ආහාර සම්පාදනය කිරීමට යාමෙන් පමාවේ.” යැයි සිතා, අත්සුණු (බැඳපු පිටි) ද මී පිඬු ද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. බුද්ධ, ධම්ම යන සරණ දෙකෙහි පිහිටා ඔවුහු, කේශ ධාතූන් ලබාගෙන සිය රටට ගියහ. ඒ දෙදෙන ගෞතම බුදු සසුනෙහි පළමු උපාසකයෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැසට වැඩමවා, දම්සක් සුතුර පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණ වාසය කළ සේක. එම කාලයේ තපස්සු භල්ලික දෙදෙන රජගහ නුවරට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. එය ඇසූ තපස්සු සෝවාන් ඵලයෙහි පිහිටා උපාසකයෙක් විය. භල්ලිය වනාහී පැවිදි ව ෂඩ් අභිඥා ලබා ගත්තේය. එනිසා අපදාන පාළියෙහි එය පාලි ගාථාවලින් මෙසේ දැක්වේ. එම ගාථාවන්හි සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි II වල්ලිකාරඵලදායකත්‍ථෙරාපදානං)
“එකල්හි ‘සුමන’ නම් වූ බුදුරජාණන් වහන්සේ තක්කරා රාජධානියෙහි වැඩවිසූ සේක. මෙයින් තිස් එකක් වූ එම කල්පයෙහි යම් පළතුරු දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මට දුගතියක් නම් නොවීය. පළතුරු දානයේ විපාක මෙබඳුය.
මවිසින් කෙලෙස් දවන ලදි. සියලු භවයන් නසන ලදි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට යහපතක් ම සැලසුවේය. ත්‍රිවිද්‍යාවෝ අවබෝධ කළෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්‍ෂාත් කරන ලදහ. බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.” (5001-5005)
එක් දිනක් මාරයා භල්ලික තෙරුන්ට හිංසා පිණිස අවුත් මහත් භයානක රූපයක් දැක්වීය. ඔහුට තමන් වහන්සේ සියලු භය දුරු කළ බව පෙන්වා දෙමින් භල්ලික රහතන් වහන්සේ “යො පානුදී” යන ගාථාව වදාළ සේක.
“යො පානුදී මච්චුරාජස්ස සෙනං නළ සෙතුං ව සුදුබ්බලං මහොඝො,
විජිතාවී අපෙතභෙරවො හිදන්තො සො පිරිනිබ්බුතො ඨිතත්තො”
“මහත් වූ ඕඝය, ඉතා දුර්වල වූ බට ඒ දණ්ඩක් සුණු විසුණු කරන්නාක් මෙන් යමෙක් කාමාදී මාරසේනාව දුරු කරන ලද්දේ ද. කෙලෙසුන් දිනූ, පහවූ භය ඇති, දැමුණු ඒ කෙලෙස් පරිනිර්වාණයට පත් කළ රහතන් වහන්සේ අකම්පිත වූ සිතැතිව සිටිති.”
එහි “යො පානුදී” යනු පහ කළ, ඉවත දැමූ, දුරු කළ, සුණු විසුණු කළ “මච්චු රාජස්ස” යනු “මච්චු” නම් මරණයයි. ස්කන්‍ධයන්ගේ බිඳී යෑමයි. ඒ මරණය තමාම, තමාගේ විෂයෙහි අනුව ජීවත්වන බැවින්, ‘ප්‍රධානියා’ යන අරුතින් “රාජා” යැයි ගෙන “මච්චු රාජ” නම් වේ. ඔහුගේ “සෙනං” සේනාව, මාර සේනාවයි. දිරා යෑම ආදී රෝගයෙන් මරණ වසඟයට හේතුවන බැවින් “සේනාව” නම් වේ. ඔහුගේ සේනාව ඉතා මහත්ය. නානා ප්‍රකාරව විශාල වේ. එනිසා “මහා සේනාව” යැයි කියැවේ. ඒ බව මෙසේ වදාළහ. “අපට යුද්ධයට එන්නා වූ මාරයාගේ මහ සේනාව සමග යුද්ධයක් නැත.” නැතිනම් මරණයේ ගුණ වශයෙන් “මච්චු” නම් වේ. මෙතැනදී දේවපුත්ත මාරයාම අදහස් කරන ලදි. ඔහුගේ ද උපකාරී බවට ගියාවූ කාමාදී මහා සේනාවක් ඇත. එය මෙසේ දැක්වේ.
“නුඹගේ (මාරයාගේ) පළමු සේනාව කාමයයි. දෙවැනි සේනාව නොඇලීමයි. තෙවැනි සේනාව සාපිපාසා දෙකයි. නුඹේ සිවුවන සේනාව තණ්හාව යැයි කියයි.
කය සිත මැලි බව (ථීන මිද්ධ) පස්වන සෙනඟයි. සයවන සේනාව භය වීමයි. නුඹේ සත්වන සේනාව සැකයයි. මානය හා ගුණමකු බව අටවන සේනාවයි.
(සුත්ත නිපාතය - පධාන සූත්‍රය)
“නළ සෙතුංව දුබ්බලං මහොඝො” යනු සාරයෙන් තොර වූ බට ඒ දණ්ඩක් මෙන් වූ; අතිශයින් සැලෙන බැවින් වහා දුර්වල වන කෙලෙස් සේනාව; “නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මහත් වූ බල ඇති බැවින් මහෝඝයක් හා සමානය. ආර්ය වූ මාර්ගයෙන් යමෙක් මේ කෙලෙස් සේනාව (මාර සේනාව) පහ කළ සේක් ද ඒ දිනූ සතුරන් ඇති, පහවූ භය බිරම් ඇති, දමනය කළ ඉඳුරන් ඇති ඒ රහතන් වහන්සේ කෙලෙස් පිරිනිවීමෙන් ස්ථිරව සිටිසේක” යනු පදපිළිවෙලයි. එය ඇසූ මාරයා, “මේ මහා ශ්‍රමණයා මම මාරයා බව දැනගත්තේයැ”යි ලැජ්ජාවෙන් එහිදී ම අතුරුදහන් විය.
භල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වීර ස්ථවිරගාථා වර්ණනාව
“යො දුද්දමියො” යනු ආයුෂ්මත් වීර තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි බුදුරජාණන් වහන්සේට ආවාසයක් සාදා මොහු විසින් පුදන ලදි. තවත් දිනෙක ඉඳුවර මල් වැනි වූ නික ගසේ මල් ගෙන බුදුන්ට පිදුවේය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මෙයින් තිස්පස්වන කල්පයෙහි ක්‍ෂත්‍රිය රජ කුලයේ ඉපිද මහා ප්‍රතාප නම් සක්විති රජු විය. ඔහු දැහැමින් සෙමින් රජ කරමින් සත්ත්‍වයන් දෙව් ලෝ යන මාවතෙහි පිහිටුවීය. නැවත මේ මහා භද්‍ර කල්පයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මහත් සම්පත් ඇති සිටුවරයෙක්ව, දුගී මගී යාචකාදීන්ට දන් දුන්නේය. සංඝයාට ද කිරිබත් පූජා කළේය. මෙසේ ඒ ඒ භවයන්හි දානාදී පුණ්‍ය සම්භාර ධර්ම රැස් කරමින් සෙස්සන් ද නිර්වාණ මඟට යොමු කරමින්, දෙව් මිනිසුන් අතර සැරිසරා, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි සැවැත්නුවර පසේනදි කොසොල් රජුගේ ඇමති පවුලක උපන්නේය. “වීර” යැයි ඔහුට නම් තැබීය. ඔහු වැඩිවියට පත්ව නමට අනුවම බලයෙන්, ජවයෙන් යුක්ත වූයේ සංග්‍රාමයෙහි ශූරයෙක් විය. ඔහුගේ මවුපියන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසා විවාහ වූ ඔහු එක් පුතෙකු ලැබ, පෙර කරන ලද පුරුදුතාවය නිසා කාමයන්හි ආදීනව දැක, සංවේග උපදවා පැවිදි විය. උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ නොබෝ දිනකින්ම ඔහු, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. ඒ බව අපදාන පාළියේ ගාථාවලින් විස්තරව දැක්වේ. එහි සිංහලාර්ථ මෙසේය. (අපදාන පාළි I - නිග්ගුණ්ඩි ප්‍රප්ඵියත්‍ථෙරාපදානං)