සම්භූත ස්ථවිරගාථා වර්ණනාව
“යො සීතවනං” යනු ආයුෂ්මත් සම්භූත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙයින් කල්ප එක් දහස් අටසීයකට පෙර අත්‍ථදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව ඉපිද, දෙවියන් සහිත ලෝකයා සසර නම් මහ සැඩ පහරින් එතෙර කරවමින්, එක් දිනක් මහත් වූ භික්‍ෂූ සංඝයා සමග ගංගා තීරයට පැමිණි සේක. එසමයෙහි මේ සම්භූත තෙරුන් ගෘහපති කුලයෙහි ඉපිද, එසේ වැඩමවූ බුදුපියාණන් දැක පැහැදී සිත් ඇතිව, සමීපයට පැමිණ වැඳ, “ස්වාමීනි! කිම එතෙරට යනු කැමති සේක්ද?”යි විමසීය. භාග්‍යවතුන් වහන්සේ ද “එසේය, යන්නෙමු”යි වදාළහ. ඔහු එකෙණෙහිම එක්කොට බැඳි නැවක් යෙදවීය. ඔහුට අනුකම්පා කළ ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග නැවට නැඟුණු සේක. ඔහුත් එම නැවට නැඟ සුවසේ භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද එතෙරට වැඩමවා, දෙවැනි දින මහා දානයක් පවත්වා, පසුගමන් කරමින් පැහැදුණු සිතැතිව වැඳගෙනම නැවතුණේය. ඔහු ඒ පින් කමෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මෙයින් කල්ප එක් දහස් තුන්සීයකට පෙර ක්‍ෂත්‍රීය කුලයෙහි ඉපිද, ධාර්මික වූ සක්විති රජකෙනෙකු විය. ඔහු සත්ත්‍වයන් සුගති මගෙහි පිහිටුවා ඉන් චුතව මින් කල්ප අනූ එකකට පෙර පහළ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ සසුනෙහි පැවිදිව ධූතාංග ධර්මයන් සමාදන්ව සොහොනෙහි වසමින් මහණදම් පිරුවේය. නැවත කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ද යහලුවන් තිදෙනෙකු සමග පැවිදිව වසර විසි දාහක් මහණදම් පිරුවේය. එක් බුද්ධාන්තරයක් දෙව් - මිනිස් සැප විඳ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි රජගහ නුවර බමුණු මහසල් පවුලක බමුණු පුතෙක් ලෙස උපන්නේය. ඔහුට “සම්භූත” යන නම තබන ලදි. ඔහු වැඩිවියට පත්වෙත්ම බමුණු සිත් සතරෙහි පරතෙරට ගියේය. භූමිජ, ජෙය්‍යසේන සහ අභිරාධන යන යහලුවන් තිදෙනා සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් ධර්මදේශනාවක් අසා පැහැදී ලබන ලද ශ්‍රද්ධාව ඇතිව පැවිදි විය. ඒ සඳහා මෙය කියන ලදි.
“භූමිජො ජෙය්‍යසෙනො ච සම්භූතො අභිරාධනො,
එතෙ ධම්මං අභිඤ්ඤාසුං සාසනෙ වරතාදිනො”
“භූමිජ, ජෙය්‍යසේන, සම්භූත සහ අභිරාධන යන මොවුහු සසුනෙහි පැවිදි වූ උතුම් තාදී ගුණයන්ට පැමිණ ධර්මයන් අවබෝධ කර ගත්හ.”
ඉක්බිති සම්භූත තෙරුන්, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ දී කායගතා සති භාවනා කමටහන ගෙන, නිතර සීතවනයේ වාසය කරයි. එනිසාම මෙ ආයුෂ්මතුන් “සීතාවනිය” යැයි ප්‍රකට විය. එසමයේ දිනක් වෙසවුණු මහරජතුමා කිසියම් කරුණකින් දඹදිව දකුණු දිශාවට යෑම සඳහා අහසින් යන්නේ, තෙරුන් එළිමහනෙහි හිඳිමින්ම කමටහන් සිහිපත් කරනු දැක විමානයෙන් බැස තෙරුන්ට වැඳ, “මේ තෙරුන් වහන්සේ සමාධියෙන් නැගී සිටින අවස්ථාවෙහිදී මාගේ මෙහි පැමිණීම දන්වවු. ඒ දක්වා උන්වහන්සේට ආරක්‍ෂාව ද සපයවු.”යි යක්‍ෂයන් දෙදෙනෙකුට අණකොට ගියේය. එම යක්‍ෂයෝ තෙරුන් වහන්සේ සමීපයේ හිඳිමින්, කමටහනින් නැගිට සිටි කල්හි ඒ බව දැනුම් දුන්හ. එය ඇසූ තෙරණුවෝ, “නුඹලා මගේ වචනයෙන් වෙසවුණු මහරජුට මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි සිටියවුන්ට “සති ආරක්‍ෂාව” (සති ආරක්ඛා) පවතින්නේ ම ය. එම ආරක්ෂාව මා කෙරෙහි ද පවතියි. එනිසා දරුව, නුඹ අල්පෝත්සාහී වෙත්වා. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙහි පිහිටි අයට මෙබඳු ආරක්ෂා විධිවිධාන යෙදීමක් අවශ්‍ය නොවේ.” යනුවෙන් පවසා එම යක්‍ෂයන් දෙදෙනා යවා, එකෙණෙහිම විදසුන් වඩා ත්‍රිවිද්‍යාවන් ප්‍රත්‍යක්‍ෂ කරගත්හ. ඉන්පසු වෙසවුණු මහරජු, නැවත හැරී එනුයේ, තෙරුන් සමීපයට ගොස්, මුවෙහි ආකාරය දැකීමෙන් ම උන්වහන්සේ “නිමවා කටයුතු ඇත්තෙකැ”යි (රහත්වූවෙකැයි) දැන, සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නේය. ඔහු භාග්‍යවතුන් ඉදිරියේ තෙරුන් වර්ණනා කරමින් මෙසේ පැවසීය.
“සති ආරක්ඛා සම්පන්නො ධිතිමා විරිය සමාහිතො,
අනුජාතො සත්‍ථු සම්භූතො තෙවිජ්ජො මච්චු පාරගූ”**
“සති ආරක්ෂාවෙන් යුක්ත වූ ධෛර්යවන්ත වූ වීර්යයෙන් යුක්ත වූ ශාස්තෲන් වහන්සේගේ අනුජාත පුත්‍ර වූ සම්භූත තෙරුන්, ත්‍රිවිද්‍යාලාභී ව මාර විෂය ඉක්මවා පරතෙරට ගියේය.”
යන ගාථාවෙන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළේය.
මෙම තොරතුරුම අපදාන පාළියේ මෙසේ දැක්වේ. පාලි ගාථාවලින් දැක්වෙන එම අපදාන සිංහලාර්ථය මෙසේ දැක්වේ. පාලි ගාථාවලින් දැක්වෙන එම අපදානයේ සිංහලාර්ථය මෙසේය. (අපදාන පාළි I කරණීය ත්‍ථෙරාපදානං)
“දෙපා ඇත්තන්ට උත්තම වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් අත්‍ථ දස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව ගංතෙරට එළඹි සේක.
මුවවිට දක්වා සමව පිරුණු, කපුටන්ට, පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කිරීම දුෂ්කර වූ ඒ ගංගාවෙන් මම බුදුරජාණන් වහන්සේ ද භික්‍ෂු සංඝයා ද එතෙර කරවීමි.
ඒ මීට එක් දහස් අටසිය කපකට කලින් කරන ලද කුසල කර්මයේ බලයෙන් මේ දක්වා දුගතියක නූපදුනෙමි. ගඟින් එතෙර කරවීමේ පිනෙහි විපාකය එසේය.
මීට කල්ප එක්දහස් තුන්සීයකට පෙර සත්රුවනින් හෙබි, මහබලැති සම්භෝගවා නම් පස් සක්විති රජ කෙනෙකු වීම්.
මම මේ අවසන් භවයේදී බමුණු කුලයෙහි ඉපදුනෙමි. යහළුවන් තිදෙනෙකු සමගින් බුදු සසුනෙහි පැවිදිවීමි.
මවිසින් සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.” (2285-2289)
අනතුරුව ආයුෂ්මත් සම්භූත තෙරුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ දැකීමට යන භික්‍ෂූන් දැක, “ඇවැත්නි, මගේ වචනයෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිවු. මෙසේ ද කියවු.”යි පවසා, ධර්මාධිකරණයෙහි තමා විසින් ශාස්තෲන් වහන්සේ නොවෙහෙසුනු ලද බව පවසමින් (දක්වමින්) “යො සීතවනං” යනාදී ගාථා වදාළහ.
“යො සීතවනං උපාග භික්ඛු එකො සන්තුසිතො සමාහිතත්තො,
විජිතා වී අපෙත ලොමහංසො රක්ඛං කායගතාසතිං ධිතීමා”
“යම් මහණෙක් විවේකය සොයා සීතා වනයට වැඩි සේක් ද ධෛර්යවන්ත වූ ඒ මහණ, හුදකලාව, සතුට වූයේ, එකඟසිත් ඇතිව කායගතාසතිය වඩන්නේ, දිනන ලද කෙලෙස් ඇතිව පහවූ ලොමුදහ ගැනීම් ඇතිව වෙසෙයි.
ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ සම්භූත තෙරුන්ගේ පණිවුඩය දැනුම් දෙමින් “ස්වාමීනි, ආයුෂ්මත් සම්භූත තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේ ද කියයි.” යනුවෙන් වදාරා ඒ ගාථාව පැවසූහ. ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, ආයුෂ්මත් සම්භූත තෙරුන් ප්‍රත්‍ය ධර්මය පිළිබඳ සූක්‍ෂම ධර්ම කරුණු විවරණයට පැමිණ මා ධර්ම විනිශ්චයෙහි නොවෙහෙසීය. වෛශ්‍රවණ විසින් ඔහුගේ උත්සාහය පිළිබඳව මා හට දැනුම් දුන්නේය” යැයි වදාළහ.
ඒ භික්‍ෂූහු ඒ ඒ තැනදී සම්භූත තෙරුන් විසින් කියන ලද “යො සීතවනං” යන ගාථාව ශාස්තෲන් වහන්සේට පැවසූහ. එහි “සීතවනං” යනු රජගහ නුවර සමීපයේ ඇති මහත්වූ භයානක සොහොනකි. “උපගා” යනු වාසය කිරීම් වශයෙන් එළඹියේය. මේ වදනින් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් පැවිද්දන්ට සුදුසු වූ වාසය කරන තැන් දක්වයි. “භික්ඛු” යනු සසර භය බැලීම් වශයෙන් ද කෙලෙස් බිඳලූ බැවින් ද “භික්ඛු” නම් වන භික්‍ෂුවයි. “එකො” යනු දෙවැනියෙක් නොමැතිව හුදෙකලාව මෙයින් කාය විවේකය දක්වයි. “සන්තුසිතො” යනු සතුටු වූ මෙයින් සිවුපසයෙන් සතුටුවන “ලක්‍ෂණ සහිත ආර්ය වංශය දක්වයි. “සමාහිතත්තො” යනු උපචාර හා අර්පණා භේද ඇති සමාධියෙන් සංසිඳුණු සිත් ඇති මේ “චිත්ත භාවනා” අභිමුඛ වූයේ, “භාවනාවේ ඇලුණු ආර්ය වංශය” දක්වයි. “විජිතාවී” යනු සසුනෙහි මනාව පිළිපැදීමෙන් දිනිය යුතු කෙලෙස් සමූහය පරවා, තමා ජයගෙන සිටියේ, කෙලෙස් දිනූවහු. මෙයින් උපධි විවේකය දක්වයි. භයට හේතු වූ සියලුම කෙලෙස් දුරුකළ - පහ කළ බැවින් “අපෙත ලොමහංසො” නම් වේ. මෙයින් සම්‍යක් (යහපත්) ප්‍රතිපත්තියෙහි (පිළිවෙතේ) විපාක දක්වයි. “රක්ඛං” යනු ආරක්ෂා කරමින් “කායගතාසතිං” යනු කය අරමුණු කරගෙන පවත්වන සිහිය, කායගතාසති කමටහන වැඩීම් වශයෙන් අත් නොහැර, “ධිතිමා” යනු ධෛර්යවන්තයා, එකඟ වූ සිත් ඇති බැවින්, දිනූ ඉඳුරන් ඇති වූ - නුවණැත්තා නැතිනම් උපාය පිළිවෙත් දැක්වීමකි. මේ මෙහි සංක්‍ෂිප්තාර්ථයයි. “ඒ භික්‍ෂුව විවේක සැප කැමතිව හුදකලාව ම සීතවනයට ගියේය. පැමිණ ආහාර ලොල් බව ආදිය දුරුකළ බැවින් සතුටින් යුක්තව ධෛර්යයවන්තව කායගතාසති කමටහන වඩමින්, එසේ ලැබූ ධ්‍යානයම පාදක කරගෙන අරඹන ලද විදර්ශනා ඇතිව, අවබෝධ කළ අග්‍රමාර්ගයෙන් සන්සුන් සිත් [මෙහි කොටසක් අඩුය]